පානදුර සුමංගල සහ මොරටු මහා විදුහල අතර රන් මහ සටන හෙට සහ අනිද්දා

36

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා මොරටුව මහා විද්‍යාලය අතර 72 වන වරටත් රන් හටන මහා ක්‍රිකට් තරගය හෙට (29 වැනිදා) සහ අනිද්දා (30 වැනිදා) දෙදින තුළ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

රන් හටන ක්‍රිකට් සංග්‍රාමයේ මෙතෙක් පැවති තරග 71 න් පානදුර සුමංගල විදුහල් කණ්ඩායම තරග 8ක් ද මොරටු මහා විදුහල් කණ්ඩායම තරග 7 ක් ද ජයගෙන ඇති අතර ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන්වී ඇත.

සුමංගල විද්‍යාලය අවසන් වරට ජයගෙන ඇත්තේ ඉරිස් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් 2007 වසරේ වන අතර මොරටු මහා විදුහල් කණ්ඩායම 2010 වසරේ අනුරුද්ධික කාහාරගේ නායකත්වයෙන් ජයග්‍රහණය ලබා ගෙන ඇත.

විදුෂ පීරිස් මෙවර ශ්‍රී සුමංගල කාණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර මහිත අප්පුහාමි මොරටු විද්‍යාලයේ නායකත්වය දරනු ලබයි.

සුමංගල විදුහල වෙනුවෙන් මෙවර ක්‍රිකට් වාරයෙදී දුරංක සිල්වා පිත්තෙන් දස්කම් දක්වමින් ශතක 2 ක් සමඟ ලකුණු 500 ඉක්මවා ඇත. ක්‍රිෂාත් රංග ලකුණු 400 ඉක්මවා ඇති අතර රුසිත් ජයවර්ධන එක් ශතකයක් සමගින් මුළු ලකුණු 400 ක් ඉක්මවා ලබා ගෙන ඇත. ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන හිටපු නායක විශ්ව ලහිරු ද ශතක 2 ක් සමඟින් ලකුණු 400 ලබා ගෙන ඇත. එයට අමතරව තෙක්ෂ ඉද්දමල්ගොඩ එක් ශතකයක් සමගින් මුළු ලකුණු 400 ඉක්මවා ලබා ගෙන ඇති අතර උප නායක කරිදු ගයාතු 1ක් ශතකයක් සමග ලකුණු 300 ඉක්මවමින් පිත්තෙන් දස්කම් දක්වා ඇත.

පන්දු යැවීමේදී විශ්ව ළහිරු සහ මෙවිඳු කුමාරසිරි කඩුලු 50 සීමාවන් ඉක්මවා පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් මෙවර ක්‍රිකට් වාරයේදී උපනායක ඉසුරු විදර්ශන පිත්තෙන් දස්කම් දක්වමින් මුළු ලකුණු 600 ඉක්මවා ලබා තිබෙන අතර දෙනෙත් සිතුමිණ මුළු ලකුණු 500 ඉක්මවා පිත්තෙන් දස්කම් දක්වා ඇත.

එසෙම යාවත නිමිෂාන් ලකුණු 400 ක් ද නායක මහිත් අප්පුහාමි ලකුණු 300 ඉක්මවා පිත්තෙන් දස්කම් දක්වා ඇත. උපනායක ඉසුරු විදර්ශන සහ නිශිත ප්‍රනාන්දු කඩුලු 40 සීමාවන් ඉක්මවා යමින් පන්දුවෙන් දස්කම් දක්වා තිබේ.

දෙවිදුහල් අතර එක් දින තරගය මාර්තු මස 31 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
පානදුර – සමන් කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment