අඳුරු යුගයක බිහිවූ සීතාවක සාහිත්‍යය

378

සීතාවක රාජ්‍යය උදාවූයේ ක්‍රි.ව. 1521 විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙනි. මායාදුන්නේ රජු සීතාවක පළමු පාලකයා ය. 1521 පටන් 1593 දක්වා අවුරුදු 72 සීතාවක රාජ්‍යය පැවතුණු අතර 1565 පටන් 1592 දක්වා ලංකාවේ අගනුවර මෙන් ද සැලකුණි. සැමොරින්ගේ ආධාර මායාදුන්නේ රජුට වෙදලායි සටනින් පසු අහිමි වූ පසු රයිගම් බංඩාර මියගියෙන් රයිගම ද ඈඳා ගත්තේය. ධර්මපාල රජු 1557 ක්‍රිස්තියානිය වැළඳගත් පසු ඔහු බෞද්ධාගමේ ආරක්ෂකයා මෙන් නැගී සිටියේය. දළදාව ද ඔහුට පැවරුණි. ඔහුගේ දක්ෂකම, බෞද්ධයන්ගේ හා භික්ෂූන්ගේ සහයෝගය ලැබීම, ධර්මපාල ක්‍රිස්තියානිය වැළඳ ගැනීම, දළදාව සීතාවකට ලැබීම, ටිකිරි කුමරුගේ දක්ෂකම සීතාවක නැගීමට හේතුය. 1581 මායාදුන්නේ ඇවෑමෙන් I රාජසිංහ රජු (1581-92) රජ විය. ඔහු තම පියා මරා රජ වූ බව චූලවංශය (93:4-5) හා ‘මන්දාරම් පුරපුවත’ (42 කව) කියයි. ඔහු පියා වසදී මරා රජ වූ බව ‘කොඩ්රිංටං’ පෙන්වා දෙයි. (A.S.H. of Ceylon chap. VII) පසුව ශිවාගම වැළඳගෙන බුදු දහම වැනසූ රාජසිංහ රජුගේ කොළඹ ආක්‍රමණ අසාර්ථක විය. ඔහු දෙවන වර කොළඹ වැටලීමට පෙර ළමුන් 500 ක් මරා නරබිලි පූජාවක් කළ බව ‘කූටෝ’ කියයි. උඩරට විමලධර්මසූරය රජු සමග බලනේ සටනේදී පැරදුණු රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී උණකටුවක් ඇනී ලේ විෂවී මළේය. රජු මළේ ශකවර්ෂ 1514 බව ‘අලකේශ්වර යුද්ධය’ (42 පිට) කියයි.

රාජසිංහ රජුගේ මරණින් පසු අවුල් වූ සීතාවක රජ වූයේ රාජසූරිය කුමරුයි (රාජාවලිය 69 – පිට). මේ අවුල් අවධියේ තොරතුරු රාජාවලිය, අලකේෂ්වර යුද්ධය හා ක්ව්රෝස් අපට කියයි. අන්තිමේ පෘතුගීසීහු සීතාවක ජය ගත්හ. රාජසිංහ රජු භික්ෂූන් මරවා, පොත් පත් ගිනිතබා, බුදුසසුන වැනසීය (චූල 93:11), මායාදුන්නේට උදව් කළ ‘බුද්ධවංශ’ නම් භික්ෂුවක් ගැන ‘ක්ව්රෝස්’ කියයි. සබරගමු වෙහෙර හා දෙල්ගමු වෙහෙර භික්ෂූන් දෙනමක් ගැන සැවුල් සන්දේශය වර්ණනා කරයි.

සීතාවක සාහිත්‍යයේ ලක්ෂණ

  1. කෘති හා ලේඛකයන් ඉතා අඩු අඳුරු යුගයකි.
  2. ඒ අතර ද ගද්‍ය ග්‍රන්ථ විරලය.
  3. පද්‍ය ග්‍රන්ථ කීපය නිර්මාණත්වයෙන් හීන, පැරණි කෘති ආභාෂයෙන් ලියැවුණු ඒවාය.
  4. භික්ෂූන් සාහිත්‍යයට අතනොගැසීම-ගිහියන්ට සීමාවීම.

ශිලා ලිපි

සීතාවක යුගයේ ශිලා ලිපි විරලයි. I රාජසිංහ රජුගේ මැදගොඩ විහාර ලිපිය මෙකලට වැටෙයි. නවීන සිංහල අකුරුවල ආරම්භය දක්නට ලැබෙන්නේ 16 සියවස පමණ බව ඩබ්ලිව්. ඇස්. කරුණාරත්න පෙන්වා දෙයි. (සිංහල ශිලාලේඛන, 18 පිට). දෙමළ හා සිංහල අකුරින් ලිවූ ශිලා ලිපියක් හඟුරන්කෙත මහ මළුව සමීපයේ ඇත. (උඩරට විත්ති, 10 පිට). එය සීතාවක අවධියට වැටෙයි. විමලධර්ම රජු කලට අයත් දෙවනගල ශිලා ලිපිය (Kegalle Report Beal p.-59) සීතාවක ගැන ද තොරතුරු හැදෑරීමේදී වැදගත්ය. රත්නාලංකාර තෙර ගැන දෙවනගල ලිපියේ එයි. මේ හිමි ශාසන හා ඉතිහාස පක්ෂයෙන් වැදගත් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි. (සාහිත්‍යය 1964:3 කලාපය 11-14 පිටු).

ධර්මද්වජ පඬිතුමා

සීතාවක අඳුරු යුගය තුළ ජීවත්වූ එකම ප්‍රසිද්ධ කවියා අලගියවන්නයි. අලගියවන්නගේ පියා වූයේ ධර්මද්වජ පඬිතුමාය. අලගියවන්නගේ කෘතිවල ඔහුගේ පියා ගැන එයි. ඔහු සියනෑ කෝරළයේ හිස්සැල්ලේ ගමේ විසූ උගතෙකි. අලගියවන්න තම පියා ගැන සුභාෂිතය (99) දහම්සොඬ දාකව (162) කුසජාතක කව (684) හි සඳහන් කරයි. පියා උගතකු බව දහම් සොඬ දාකවේ කියවෙයි. දහම්සොඬ දාකව ලීවේ ධර්මද්වජ පඬිතුමා බව සමහරු සිතති. ඒ වැරදියි. එය අලගියවන්නගේ කෘතියකි.

අලගියවන්න

හිස්සැල්ලේ ධර්මද්වජ පඬිතුමන්ගේ පුතා වූ අලගියවන්න 1552 උපන් බව එස්. ජී. පෙරේරා පියතුමා කියයි (Portugese & Dutch Periods chap XII). පියාගේ පාණ්ඩිත්‍යය ඔස්සේ ගිය ඔහු I රාජසිංහ රජුගේ සේවයට බැඳුණි. සුභාෂිතයේදී ඔහු “සිරි රජසිහ රජුගෙ සිරිපද සෙවන වැඩි” (98) යනුවෙන් කියයි. ඔහුට රජවාසල මුකවෙට්ටි ධුරයක් විය. කෝට්ටේ අවධියේ පවා මුකවෙට්ටිවරුන් වූ බව හංස සංදේශය (53) කියන අතර I රාජසිංහ රජුට ද මුකවෙටිවරුන් වූ බව සැවුල් සන්දේශය (80) කියයි. දහම්සොඬදා කව ලිවීමට ඔහුට ආරාධනා කළේ ද සමරදිවාකාර මුකවෙටිය. මුකවෙටි යනු රජයේ ලේකම් පදවියයි (සිංහල සා.වංශය – 297 පිට). රජයේ අධිකරණ ලේඛක පදවියක් යනු තව අදහසකි (සිංහල ලේඛක පරපුර 463 පිට). අලගියවන්න සමකාලීන අන් කවීන් අබිබවා සිටි බව සුභාෂිතයේදී, සැවුල් සන්දේශයේදී කියයි. ස්ථිරවම ඔහුගේ යැයි සැලකෙන පොත් 4කි. එනම් සැවුල් සන්දේශය, සුභාෂිතය, දහම්සොඬදා කව හා කුසජාතක කවයි. ඔහුගේ යැයි සලකන ඉතිරි පොත්වල කර්තෘ නොසඳහන්ය. I රාජසිංහ කල රාජ සේවයට බැඳුණු ඔහු රාජසිංහ රජු මහත් භක්තියෙන් වර්ණනාකොට සැවුල් සන්දේශය ලිවීය.

රාජසිංහ රජු මියගිය පසු උඩරට I විමලධර්මසූරිය (1592-1604) සෙනරත් (1604-1636) හා II රාජසිංහ (1636-1686) යන රජුන් කල ඔහු විසූව ද කිසිම විට උඩරට රජුන්ගේ සහාය පැතූ බවක් නොපෙනෙයි. ඔහුගේ යැයි සලකන පොත් නම් නීතිසාරය, මහහටන, පරංගිහටන, මුණිගුණ රත්නමාලය, දුශ්ශීලවත, ශෘංගාරය හා කුන්ස්තන්තීනුහටනයි. ඒවා ඔහුගේ බව සනාථ කිරීමට සාක්‍ෂ්‍ය නැත. පසුකල පෘතුගීසීන් යටතේ සේවයට බැඳුණු ඔහු දොන් ජොරනිමෝ නමින් ද ඔහුගේ බිරිඳ දෝන ලුයිෂා නමින් ද බෞතිස්ම ලැබූහ. කොළඹ කතෝලික විද්‍යාලයේ ශිල්ප හැදෑරූ ඔහු තමා ලැබූ ගම්බිම් නැතිවී ගිය බැවින් ඒවා ලබාගැනීමට පෘතුගාලයේ III පිලිප් රජු වෙත ඉදිරිපත් කළ පෙත්සමක් ලැබී ඇත (සි.සා.ව. 305 පිට). අලගියවන්න හා දහම්සොඬදා කවේ සඳහන් සමරදිවාකර මුකවෙටි 1618 වන විට පෘතුගීසීන් යටතේ සේවයේ වූ පෘතුගීසි ලිපිවල එයි. පෘතුගීසි තෝම්බු සකස් කළ ඔහු “දොන් ජොරනිමෝ අලගියවන්න පරණ මොහොට්ටාල” නමින් එයි. (එෛ. ලේ. සංග්‍රහය – 4-91 පිට). ඔහු කුන්ස්තන්තීනුහටන ලියා ඇත්තේ මෙකලය. කුන්ස්තන්තීනුහටන අරඹා ඇත්තේ ත්‍රිත්වයට නමැදීමෙනි. එය ඔහුම ලීවා දැයි අස්ථිරයි. මරණ මංචකයේ දී ඔහු කීවා යැයි සලකන කවි අනුව නම් බුදු දහම අත්හළ බව නොපෙනෙයි.

සැවුල් සන්දේශය

අලගියවන්නගේ මුල්ම පොත වූ සැවුල් සන්දේශය I රාජසිංහ රජුට ශුභපතා සමන් දෙවිඳු යත යවනසේ රචිතයි. 1581-85 අතර මෙය ලියැවුණු බව සන්නස්ගල සිතයි. පද්‍ය 203 කි. පැරණි සන්දේශ කාව්‍යවල අවසාන කෘතියයි. රජු මිසදිටුගෙන බුදුදහම වැනසීමට පෙර ලියැවුණි. මෙයට පෙර රචිත මයුර, තිසර හා සැලළිහිණි, කව්සිළුමිණ ආභාෂය ලබා ඇත. නිර්මාණාත්මක කෘතියක් නොවූවත් තත්කාලීන සමාජ තොරතුරු සෙවීමේදී වැදගත්ය. දෙල්ගමු වෙහෙර මහින්දාලංකාර හිමි, සබරගමු වෙහෙර, ධර්මාලංකාර හිමි, දෙල්ගමු වෙහෙර දළදා, මහ ඇමති වික්‍රමසිංහ, භෛරව කෝවිල, රාජසභාවේ මුකවෙට්ටි, සේනානායකවරු, නොයෙක් රටවල රජුන්, වන්නීන් වූ බව වැදගත්ය. සැවුලා සමන්දෙවි වෙත ගිය පළමු දූතයා ය.

දහම්සොඬ දාකව

ධර්මය ඇසීමට බෝසතුන් රකුසකුගේ කටට පැනීම කථා පුවතයි. සමහරු මෙය ධර්මද්වජ පඬිතුමා කළ බව කියති. දහම්සොඬ දාකව අලගියවන්නගේ බව ස්ථිරය (Sinhalese Literature Page 174) සමරදිවාකර මුකවෙටිගේ ආරාධනාවෙන් ලියා ඇත. මේ සමරදිවාකර මුකවෙටි යනු I රාජසිංහ රජුගේ අගමැති වික්‍රමසිංහ ලෙස චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා හඳුනා ගනියි. (Sin. Lit P. 225). සමහර පිටපත්වල කර්තෘ ගැන නොඑයි. කව්සිළුමිණ, තිසර, මයුර ආදිය ආශ්‍රය කොට ලියූ මෙහි පද්‍ය 163 කි. මෙහි ශක්‍රයා රකුස් වෙස් ගත් හැටි කියන වැණුම රසවත්ය. සුලභ ගණයේ කවි දෙකකි මේ.

“රතදරිනි නාලිය – ගමනින් සදිසි නාලිය
එපුර සරණා ලිය – කවුරුනම් වෙති හැකි වනාලිය” (34)

මේ කව ඔහුගේ කුසජාතක කවේද එසේම එයි.
“තන යුගැති සිටිනා – ඉඟ සුඟ ගතැකි මිටිනා” (35)

කවියා තමා ගැන

“අලගියවන්න නම් – මුකවෙටිතුමා ගුණතුම්
දකිනුව සසර හිම් – මෙකව කළෙ හෙළු බසින් මනරම්” (163)

කුසජාතක කාව්‍යය

කව්සිළුමිණට ද පසුබිම් වූ කුසජාතකය කවියට නැගීමකි. කවි 686 කි. මහා කාව්‍යයක් වූ මෙහි සර්ග 13කි. පොත ලීවේ අලගියවන්න මැණික් සාමිගේ ආරාධනාවෙනි (5-10 කවි). මෙය ලියැවුණේ ශකවර්ෂ 1532 හෙවත් ක්‍රි.ව. 1610 බව 686 කවේ කියැවෙයි. මයුර, කාව්‍යශේඛරය, ගුත්තිල කව, ආශ්‍රයෙන් රචිතයි. මෙය ලීවේ තම සොහොයුරියකගේ අනාචාරයක් අමතක කරවීමට බව ජනප්‍රවාදයකි. (සි.සා. වංශය – 302), 307-315 පද්‍යවල උයන් වැණුම රසවත්ය. පූර්වකථාව 330 – 356 පද්‍යවල විස්තර වෙයි. 346 පටන් පබවතී වැළපීමේ වෘත්තය උචිතයි. කුසදාකව ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙසේ කියයි. “මෙය ව්‍යාජ සංස්කෘත කාව්‍ය ගුරුකොටගත් පැරණි සිංහල කාව්‍යයන්ගේ ආභාෂය ලැබූ ගතානුගතික කාව්‍යයකි.” (සිංහල සාහිත්‍යයේ නැගීම 315 පිට). ඇතැම් තැන ජනකවි ආර වැටී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. “අලගියවන්න වචන සෙවීමටත් දුකසේ වචන ගැළපීමටත් වෑයම් කළ බවත් කුසදා කව ජනප්‍රිය වූයේ කථාවස්තුවේ උත්කර්ෂය නිසා බවත්” මාර්ටින් වික්‍රමසිංහ කියයි (සාහිත්‍යොදය කථා 83-84 පිටු). අලගියවන්න තමා ගැන 685 කවේ විස්තර කියයි.

(ඉතිරි කොටස ලබන සතියේ)

● එස්. කේ. ජයවර්ධන
(1966 ‘සාහිත්‍ය’ සඟරාවට ලේඛකයා ලියන ලද්දකි)

advertistmentadvertistment
advertistmentadvertistment