මිසදිටුවා මානසික ලෙඩෙක් වෛද්‍ය වාර්තාවෙන් කියයි

1984

ආරක්‍ෂකයන් කුලියට ගෙන ‘ප්‍රභූ’ පාට් දාලා

බොදු දහමට අපහාස වන ආකාරයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ මහින්ද කොඩිතුවක්කු හෙවත් අවලෝකිතේෂ්වර නමැත්තාට තවදුරටත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බවට අංගොඩ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනයේ මානසික රෝග පිළිබඳ අධිකරණ විශේෂඥ වෛද්‍ය සී. ඒ. ඩී. ප්‍රනාන්දු මහතා නිර්දේශ කර ඇතැයි කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24 දා) විවෘත අධිකරණය හමුවේ පැවසීය.

එකී වෛද්‍ය නිර්දේශ අනුව ඔහු වහාම යළි එම රෝහලේ මානසික වෛද්‍ය සායනය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

එකී වෛද්‍ය නිර්දේශ අනුව සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිය සේවාදායකයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සුදුසු ඇප කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදාහරින ලෙස, එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. වෛද්‍ය වාර්තාව අනුවම එම සැකකරු යම්කිසි මානසික රෝගයකින් පෙළෙන බව පෙනී යන බැවින්, නිසි ප්‍රතිකාර ලබාදීමට පෙර ඇප මත හුදාහැරියහොත් යළි සමාජයට පිවිස පෙර කළා සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීමේ තර්ජනය පවතින බවත්, එවිට මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවත් පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදානොහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මානසික රෝගියකු බවට නිර්දේශ ඉදිරිපත් වී ඇති ඔහුට අනුකම්පා කර ප්‍රතිකාර ලබාදීම වඩා සුදුසු බව තම අධිකරණය ද පිළිගන්නා බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එය සැබෑ කරුණක් වන නමුත් පසුගිය නඩු දිනයේදී ද එතරම් අවවාද කොට තිබියදීත් ඔහු අධිකරණයෙන් පිටතට රැගෙන යන විට මාධ්‍යයට කර ඇති ප්‍රකාශ අනුව ඔහු රූපවාහිනි කැමරාවක් දුටු සැණින් අනිසි ලෙස හැසිරෙන අයකු බව පෙනී යන්නේ යැයි ද අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, මෙම අවස්ථාවේදී නොව අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසුව විත්තියේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී කරුණු දැක්වීම තම අධිකරණය ද පිළිගන්නේ යැයි පැවසූ මහෙස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනයේදී එම ඇප ඉල්ලීම සලකා බැලීම සිදුකරන්නේ යැයි පැවසීය.

අධිකරණය නියම කරන ඇප කොන්දේසි අනුව කටයුතු කිරීම ඇපකරුවන්ගේ වගකීම බවත් ඔහු වෙනුවෙන් ඇපකරුවකු ලෙස ඉදිරිපත්වීමට එම සැකකරුගේ පියා අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේය. එම දැනුම්දීම අනුව සැකකරුගේ පියා අධිකරණය ඉදිරියට කැඳවූ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ වයස පිළිබඳව විමසා සිටි අතර, තමා වයස අවුරුදු 78 ක අයකු බව ඔහු පැවසීය. එවැනි වයෝවෘද්ධ අයකුට සැකකරුව භාරදීමෙන් සැකකරුට අවශ්‍ය ප්‍රතිකාර හෝ ලබාදීමේ හැකියාව අවම බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

එම සැකකරු පසුගිය 1 වැනිදා කටුනායක ගුවන් තොටුපළේ සිට කුලියට ගත් සුඛෝපභෝගී වාහනයකින් කැලණිය විහාරස්ථානයට කැඳවාගෙන පැමිණි අවස්ථාවේදී ඔහු ප්‍රභූ පුද්ගලයකු ලෙස මවා පෙන්වීමට පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට රුපියල් 85,000 ක මුදලක් ගෙවා ආරක්‍ෂක නිලධාරීන් දසදෙනකු සේවයට ලබාගෙන එම සැකකරුගේ ඉදිරිපසින් පිටුපසින් හා දෙපසින් ගමන් කරවීමට පියවර ගෙන ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.

එම සැකකරුගේ අනුගාමිකයන් යැයි කියන පුද්ගලයන් කිහිපදෙනකු නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් කිපයකම අදාළ විස්තර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා බැංකු ආයතන කීපයකට නියෝග කළේය. ඉදිරි නඩු දිනයේදී සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම සැකකරු කැලණි විහාරස්ථානයට පැමිණ ඇත්තේ කිසිදු අවසරයකින් තොරව බවත්, ඔහු පැමිණ දේශන කරන බව දැනගත් වහාම ඔහුව එම විහාරස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් එම විහාරස්ථානයේ වැඩවාසය කරන භික්‍ෂූන් වහන්සේ නමක් ඇතුළු කීපදෙනකු ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. කෙසේ නමුත් එම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ මුල් බී වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙසට ද මානසික විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කර ඇති බැවින් එහි පිටපතක් ඔහු වෙත යැවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment