නළුවෙක් වුණ මාරිස්ටෙලා ෆුට්බෝල් කෝච් – සුරන් දසනායක

104

බෝට්ටුවෙන් ඔසට්‍රේලියා යන්න ගිහින් නූලෙන් ජීවිතේ බේරුණා

ස්වර්ණවාහිනියේ විකාශය වන අළුපාට දේදුනු හි කේසර” උන්මාදනී හි සුරවීර සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු හි ධනුෂ්ක ලෙසින්ද ඔබ හමුවට එන සුරන් දසනායක සමග මීවිත කෙටි සංවාදයක යෙදුණා.

මේ එහි පෙළගැස්මයි.

● සුරන් මේ දිනවල අතිශය කාර්යබහුල නළුවෙක් වෙලා?

ඔව්. මේ දිනවල ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා. ස්වර්ණවාහිනියේ අළුපාට දේදුනු හි කේසර” උන්මාදනී හි සුරවීර සහ ස්වාධීන රූපවාහිනියේ ජානු හි ධනුෂ්ක ලෙසින් ද මාව දකින්න ලැබෙනවා.

නළුවෙක් වුණ මාරිස්ටෙලා ෆුට්බෝල් කෝච් - සුරන් දසනායක

● මේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර?

අවංකවම සතුටුවෙනවා. ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ නාට්‍ය තුනේම මම රඟපාන්නේ චරිත තුනක්. විදෙස් රටවල පදිංචි ලාංකිකයන්ගෙනුත් මට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.

● වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන ටෙලිනාට්‍යයටද?

ඇත්තටම මේ දවස්වල ජානු ටෙලිනාට්‍යයට වගේම අලුපාට දේදුනු ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

● මේ අතරින් ඔබට වඩාත් සමීප චරිතය ගැන කිව්වොත්?

මට වඩාත්ම සමීප අළුපාට දේදුනු හි ධනුෂ්කගේ චරිතය.

● මෙතෙක් පැමිණි ගමන ගැන කතා කළොත්?

මේ ගමන රෝසමල් යහනාවකින් ආවේ නැහැ. මෙතැනට ආවේ මාර කට්ටක් කාලා. තව ගොඩක් දුර ගමනක් යන්න තියෙනවා. මේ පොඩ්ඩ දුර එන්නත් මම සෑහෙන දුක්වින්දා. අවංකම බොහොම දුකක් වින්දා. මොකද මේ කේෂ්ත්‍රයේ මගේ කවුරුවත් නෑ. මම හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ ගමන ආවේ.

● ඔබ රංගනයෙන් දායක වුණු මාරියා සිනමා නිර්මාණය ගැන අදහස මොන වගේද?

මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි මාරියා චිත්‍රපටය. මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙන්න කලින් ජාත්‍යන්තර සම්මාන රැසකට පාත්‍රවුණා.

● මේ චිත්‍රපටයට සම්බන්ධවෙන්න ලැබුණේ කොහොමද?

මෙහි අධ්‍යක්ෂවරයා වන අරුණ ජයවර්ධනගේ ආරාධනාවකට අනුව තමයි මට සහභාගි වෙන්න ලැබුණේ. ඊටත් අමතරව මෙහි නිෂ්පාදකවරයා පවා මම හොඳින් දන්නවා. අනික මේ චිත්‍රපටය රූගත කළෙත් මීගමුව ප්‍රදේශයේ. මීගමුව කියන්නේ අපේ පරිසරය.

● මාරියා චිත්‍රපටය ඔබේ පුද්ගලික ජීවිතයට හරි සම්බන්ධයි නේද?

මට මාරියා ගොඩක් සම්බන්ධයි. අනික මට මේ වැඩේ කරගන්න ගොඩක් පහසු වුණා. මමත් ඔසට්‍රේලියාවේ යන්න ගිහිල්ලා ගොඩක් කට්ටක් කාලා ආපහු ලංකාවට ආවා.

● බෝට්ටුවෙන් ඔසට්‍රේලියාවේ යන්න ගිහිල්ලා ප්‍රශ්න ගොඩකට මැදිවුණා?

ඇත්තටම ඔව්. මම මුහුදුකරයේ හිටියට මුහුදු ගිහිල්ලා නෑ. අපිව ඔසට්‍රේලියාවේ යවන්න හැදුවේ මාළු අල්ලන බෝට්ටුවකම තමයි. මේ ඔසට්‍රේලියා ගමනේදී අපේ ජීවිත නැතිවෙන්න ගොඩක් ඉඩකඩ තිබුණා. අපිත් එක්ක ගිය ගොඩක් කට්ටිය මරණාසන්න තත්ත්වයට පවා ආවා.

● ඔසට්‍රේලියාවට යන්නත් බැරිවුණා?

අපිට යන්න බැරිවුණා. අන්තිමේ බෝට්ටුව මගින් හරවලා ආවා. අපි අරගෙන ගිය බෝට්ටුකාරයත් අපිට බොරුවක් කරලා තියෙන්නේ.

● ඊට පස්සේ මොනවාද කළේ?

ලංකාවට ඇවිත් දවස් ගාණක් යනකම් සී සික් එකේ හිටියේ. ආපහු ලංකාවේ ටික කාලයක් ඉඳලා දකුණු කොරියාවට විදෙස්ගත වුණා. ඒ ගිහිල්ලා අවුරුදු පහකින් විතර ලංකාවට ඇවිල්ලා අහම්බයෙන් මේ ක්ෂේත්‍රයට ආවේ.

● මේ වෙනකොට පාපන්දු පුහුණුකරුවෙක් කියලත් ආරංචියි?

මම ඉස්කෝලේ ගියේ මීගමුව මාරිස්ටෙලා විදුහලට. මම පාපන්දු ක්‍රීඩාවෙන් ලංකාවේ හොඳ තැනකට ආවා. කනිෂ්ඨ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරලා සංචාරයකට එක්වෙන්න සතියකට කලින් මගේ කකුල කැඩුණා. එතැනින් පස්සේ මගේ පාපන්දු ගමන අඩාල වුණා. ඊට පස්සේ මම දකුණු කොරියාවේදී පාපන්දු ක්‍රීඩා කළා. ඒ ලැබුණ අත්දැකීමක් එක්ක තමයි ලංකාවට ඇවිත් පුහුණුකරුවෙක් විදිහට මාරිස්ටෙලා විදුහලේ කටයුතු කරන්නේ. සාර්ථක ලෙස ඒක දැනට කරගෙන යනවා.

● දැන් පාපන්දු ක්‍රීඩාවෙන් ඈත්වෙලාද?

රඟපෑමේ වැඩකටයුතු හින්දා කාල වේලාව ටිකක් වෙන් කරගන්න අමාරුයි. හැබැයි මම දැනට මීගමුවේ ක්‍රීඩා සමාජයකටත් ක්‍රීඩා කරනවා. නමුත් ගොඩක් මුල්තැන දෙන්නේ පුහුණුකරුවාගේ භූමිකාවට.

● රඟපෑමයි” දරුවන්ට ෆුට්බෝල් ඉගැන්වීමයි කරන එක ලේසි නැහැ නේද?

දරුවන්ට කිසිම අසාධාරණයක් කරන්නේ නෑ. ඒ දවස් ටික මම දරුවන්ට දීලයි තියෙන්නේ. අනෙක් දවස් ටික තමයි රඟපෑමට වෙන් කරලා තියෙන්නේ. සහයෝගයෙන් වැඩ කරනකොට මේ දේවල් කරන්න පුළුවන්.

ඔබත් කවදාහරි දවසක නළුවෙක් වෙනවා කියන හීනයේද හිටියේ?

මගේ තුන්හිතකවත් රඟපාන්න අදහසක් තිබුණේ නෑ. මොකද ඉස්කෝලේ යන කාලෙවත් මම කිසිම කලා වැඩකට සම්බන්ධවෙලා නැහැ.

නළුවාගේ භූමිකාව ගැන හිතවතුන් මොකද කියන්නේ?

ගොඩක් දෙනෙක් කියනවා මුල් කාලයට වඩා දැන් දියුණුවෙලා කියලා. පාසල් කාලයේ හැදෑරුවේ නැති වුණත් ක්‍රීඩාවෙන් මම සියලු දේ ඉගෙන ගත්තා.

අලුත් නිර්මාණ භාරගත්තාද?

මේ දවස්වල අරුණ ජයවර්ධන අයියාගේ රසරහසක් කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරනවා. ඒ වගේම රිචඩ් මානමුදලි අයියාගේ චක්‍ර කියලා ටෙලිනාට්‍යයකත් රූගත කිරීම් සිදුකරනවා. ඒවා තවම විකාශනය වුණේ නැහැ. හැබැයි රූගත කිරීම් ආරම්භ කරලයි තියෙන්නේ.

● ක්ෂේත්‍රය ගැන අදහස?

ඇත්තටම මේක ඒකාකාරී නැති හොඳ ක්ෂේත්‍රයක්නේ. ඒවගේම සතුටුදායක දේවල් වගේම කනගාටුදායක දේවල් රැසක් සිද්ධවෙන තැනක්. ඒ ගැන මට පැහැදිලි කරන්න අමාරුයි. අනික ඒ වගේ දේවල් හැම තැනකම තියෙනවානේ.

● ඇත්තද ගම අමතක කළා කියන්නේ?

අපොයි නැහැ. මීගමුවේ හැමෝම මට කියන්නේ අපේ එකා කියලයි. මම කවදාවත් ගම අමතක කරලා නැහැ. මම මුලින්ම ගිය ගමේ ඉස්කෝලෙට ලොකු ව්‍යාපෘතියක් කරනවා. එක වසරට එන හැම ළමයෙකුටම පොත්පත් නිල ඇඳුම් ඇතුළු සියල්ලම නොමිලේ ලබාදෙනවා.

● මාරියා රූගත කරන්න ගිහිල්ලා බිහිසුණු අත්දැකීම්වලට පවා මුහුණදුන්නා නේද?

මට මාරියා එක්ක ලංකාවේ පට්ට පොරවල් ටිකක් එක්ක වැඩකරන්න ලැබුණා. දර්ශන් අයියාගේ වියෝව මට දරාගන්න හරිම අමාරුයි. තත්ත්පර ගාණක් පරක්කු වුණා නම් අපි පස්දෙනකුගේ ජීවිත ඉවරයි. අපි කරපු දර්ශනයකදි අරුණ අයියා කිව්වා ඒක මදි තව පාරක් කරමුද කියලා. අපි ඒ වෙලාවේ ගොඩක් මහන්සිවෙලා හිටියේ. අන්තිමේ අපි ඒ අභියෝගය භාරගත්තා. මටයි” අශාන්” හේමාල්” දර්ශන් කියන හතර දෙනාට තමයි දසුන් මුහුදට පැන්නාම ගොඩට ගන්න තියෙන්නේ. එතනදි වුණ සිද්ධියකදි තව තත්ත්පර ගාණක් පරක්කු වුණා නම් ජීවිත හතරක් ඉවරයි. ඒක මාර බිහිසුණු අත්දැකීමක්.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment