අපේ ප්‍රින්සිපල් බලද්දී මටත් ඇඩුණා – රුක්ෂාන්ති පෙරේරා

204

මම රඟපානවාට මහත්තයා කැමතියි

ක්‍රිස් ඇන්තනී අධ්‍යක්‍ෂණය කරනු ලැබූ, මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වන ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා නිර්මාණය හරහා රුක්ෂාන්ති පෙරේරා අපට මුණගැසෙනවා. රුක්ෂාන්ති අපත් සමග කතාබහ කළේ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමා අත්දැකීම ගැන ය.

● ‘අපේ ප්‍රින්සිපල්’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

අපේ ප්‍රින්සිපල් හි කාංචනා කියන චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අපේ ප්‍රින්සිපල් බලද්දී මටත් ඇඩුණා - රුක්ෂාන්ති පෙරේරා

● කාංචනාගේ චරිතයට ආරාධනාව ලැබුණේ කොහොමද?

අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණයේ පිටපත ලලිත් අරුණ රාජපක්‍ෂගේ. මම ඔහුත් සමග වෙළෙඳ දැන්වීම් කිහිපයක වැඩ කරල තියෙනවා. ඒ හරහා තමයි මට කාංචනාගේ චරිතයට ආරාධනාව ලැබුණේ.

● කාංචනා ගැන ඇත්තටම මොකද හිතෙන්නේ?

කාංචනා කියන්නෙ ගොඩාක් සංවේදී අම්ම කෙනකුගේ චරිතයක්. මම මීට කලින් ටෙලි චිත්‍රපටවල මේ වගේ චරිත කිහිපයක් කරල තිබුණා. ඒක මට තවත් පහසු වුණා. අනික එක පැත්තකින් මටත් අම්මා කෙනකු විදිහට මේ චරිතය ගොඩාක් සංවේදීව දැනුණා.

● අපේ ප්‍රින්සිපල් ඔබේ පළමු සිනමා නිර්මාණය ද?

නැහැ. මේක මගේ දෙවැනි සිනමා නිර්මාණය. මම රඟපෑ පළමු සිනමා නිර්මාණය තවම තිරගත වුණේ නැහැ. රොහාන් රවීන්ද්‍ර කියන අධ්‍යක්‍ෂවරයාගේ ‘නීලම්’ කියන චිත්‍රපටයේ තමයි මම රඟපෑවේ. එහි මම දර්ශන් ධර්මරාජ් එක්ක තමයි වැඩ කළේ. මගේ සැමියා විදිහට රඟපෑවේ දර්ශන් අයියා. ඒකත් ගොඩක් ආසාවෙන් කරපු චිත්‍රපටයක්.

අපේ ප්‍රින්සිපල් බලද්දී මටත් ඇඩුණා - රුක්ෂාන්ති පෙරේරා

● රුක්ෂාන්තිව ටෙලි නාට්‍යවලින් ද දකින්න ලැබෙනවා?

මම අවුරුදු හතරක් එක දිගට වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. ඊට පසුව තමයි මම ටෙලි නාට්‍ය රංගනයට යොමුවුණේ. ඒත් එක්කම මම සකල ගුරු ටෙලි නාට්‍යයේ වැඩ කළා. මේ ටෙලි නාට්‍යයේ රඟපාන කොට තමයි ‘නීලම්’ චිත්‍රපටයට ආරාධනා ලැබුණේ.

● තවමත් සංගීතේ ටෙලි නාට්‍යයේ රඟපානවා නේද?

ඔව්. මම දැන් අවුරුදු තුනහමාරක් තිස්සෙ සංගීතේ ටෙලි නාට්‍යයේ රඟපානවා. මෑතක සිට නීල පබළු ටෙලි නාට්‍යයට පවා සම්බන්ධ වුණා.

අපේ ප්‍රින්සිපල් බලද්දී මටත් ඇඩුණා - රුක්ෂාන්ති පෙරේරා

● සංගීතේ මාලි ගැන කතා කළොත්?

මාලි කියන්නෙ සුරංජිත් ඇමැතිතුමාගේ බිරිඳ මාලිටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

  • සැබෑ ජීවිතයේදී කාංචනා වගේ චරිත මුණගැසිල තියෙනවාද?

කාංචනා කියන්නෙ ප්‍රශ්න රැසකට මැදිවුණු අම්මා කෙනෙක්. තමන්ගේ දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්න චරිතයක්. මට ඒ වගේ චරිත ලොකුවට මුණගැසිල නැහැ. මම රඟපෑවට චිත්‍රපටය බලද්දී මටම ඇඬෙනවා.

● දරුවො ඉන්න අම්මලා බලන්නම ඕනෑ චිත්‍රපටයක් ද?

අනිවාර්යයෙන්ම. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු දරුවකුගේ ජීවිතයට අත්වන ඉරණම ගැන මෙහි හොඳින් පෙන්වනවා. සමාජ මාධ්‍ය ගැන පවා මෙහි කතා කරනවා. මේක ඇත්තටම පවුලේ චිත්‍රපටයක්.

● රූගත කිරීම්වලදී මුහුණ දුන්න අභියෝග මොනවාද?

මාලෙ කඩාගෙන යන දර්ශනය රූගත කිරීමේදී පෙර පුහුණුවීම් ගොඩක් කරන්න සිද්ධ වුණා. ෂූටින් ඉවර වෙනකොට මගේ අතේ ලොකු තැල්මක්. අන්තිමේ ෂූටින් ඉවරවෙන කොට අතට ලේ බැහැලා. බෙහෙතුත් කරල තමයි මාව ගෙදර යැව්වේ.

● මේ දවස්වල මොනවද කරන්නේ?

මේ ටිකේ සංගීතේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. ඊට අමතරව නීල පබළු ටෙලි නාට්‍යයට රංගනයෙන් එකතු වුණා.

● ඔබේ වෘත්තිය රංගනය ද?

ඔව්. මගේ වෘත්තිය රංගනය.

● පවුලේ විස්තර එහෙම?

මම විවාහකයි. මට දුවෙක් ඉන්නවා.

● සැමියාගෙන් රංගන වැඩකටයුතුවලට ලැබෙන සහයෝගය?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර ප්‍රශ්න දර්ශන තලයට අරගෙන යන්න බැහැනේ. ඒ හින්දා මට මහත්තයා වගේම දුවගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

● රඟපාන්න එපා කියල කියන්නේ නැතිද?

නැහැ. මහත්තයා මම රඟපානවාට කැමතියි. එයාගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. සමහර වෙලාවට මම එක දිගට ගෙදර ඉන්නවා නම් මොකද ෂූටින් නැතිද කියලත් අහනවා.

● මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

මම හැම ටෙලි නාට්‍යයකම හැම චිත්‍රපටයකම නැහැ. හැමතැනම පේන්න නැහැ. බොහොම හෙමින් ගමනක් යන්නේ. මම ක්‍ෂේත්‍රයට ආවෙ 2015 වසරේ. අනික මට ලොකු තරගයක් නැහැ. එළියට බැස්සහම මිනිස්සු කතාබහ කරද්දී මේ ඔයා නේද කියලා අහද්දී ලොකු සතුටක් තියෙනවා.

● අම්මාගේ රංගනය ගැන දුව මොනවද කියන්නේ?

දුවත් සතුටුයි මම රඟපානවාට. දුවගේ අකැමැත්තක් නෑ. මහත්තයටයි දුවටයි තවම චිත්‍රපටය බලන්න හම්බවුණේ නෑ. දුවනම් කියනවා අම්මා අඬන චරිතයක්නේ කර්න්නෙ, මට නම් බලන් ඉන්න බැහැ කියලත්.

● දැන් වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් ඈත්වෙලා ද?

නැහැ. නැහැ. මම රඟපෑමට එක් වුණා කියලා වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් ඈත්වෙලා නැහැ. එක දිගට අපි වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්න කොට ඔවුන් ආපහු අලුත් මුහුණු බලාපොරොත්තු වෙනවා. ඔය ප්‍රශ්නය හින්දයි අවුරුදු හතරක් එක දිගට වෙළෙඳ දැන්වීම් රඟපෑවත් අන්තිමේ නිතර දකින මුහුණක් වුණේ. ඒක හින්දයි පොඩි විරාමයක් අරගෙන රංගනයට අවතීර්ණ වුණේ. එහෙමයි කියලා වෙළෙඳ දැන්වීම් රංගනයෙන් ඈත්වෙලා නැහැ. අදටත් මම රඟපෑ වෙළෙඳ දැන්වීම් විකාශය වෙනවා.

දිනේෂ් විතාන
ඡායාරූප – උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment