වෙසක් සතිය 2 වැනිදා සිට

323

රාජ්‍ය වෙසක් උත්සවය හලාවත කැබැල්ලෑවලදී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව වෙසක් සතිය මැයි 02 වැනිදා සිට මැයි 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කරයි.

වෙසක් සතිය නිමිත්තෙන් කොළඹ නගරය ඇතුළු දිවයින පුරා වෙසක් තොරණ, දන්සල්, භක්ති ගීත ප්‍රසංග, ඇතුළු තවත් ආගමික උත්සව රැසක් සංවිධානය කර තිබේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ වෙසක් දන්සල් 30 ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තවත් අය කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දන්සල් පැවැත්වීමට සූදානමින් සිටින්නේ නම් ඒ සඳහා ද අවස්ථාව ලබාදිය හැකි බව ද හෙතෙම කීය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර තුනක් කොළඹ නගරයේ දන්සල් වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට නොහැකි වූ හෙයින් මෙවර කොළඹ නගරයේ වැඩි වැඩියෙන් දන්සල් පැවැත්වීමට ඉඩ ලබාදිය හැකි බව ද හෙතෙම කීය. කොළඹ නගරයේ දන්සල් පැවැත්වීමට බලාපොරොත්තු වන අය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අබේරත්න මහතා මුණගැසී ලියාපදිංචි විය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

කොළඹ නගරයේ පවත්වන සියලුම දන්සල්වල ආහාර පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 6 ක් පත්කර ඇතැයි ද හෙතෙම කීය. දැනට ලියාපදිංචි වී ඇති දන්සල් අතර බත් දන්සල්, අයිස් ක්‍රීම්, පලතුරු බීම දන්සල්, නූඩ්ල්ස් දන්සල්, ඖෂධ දන්සල් වන බව ද ඒ මහතා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment