මැයි දින සැමරුමට උණුසුම් සූදානමක්

157

ආර්. ප්‍රේමදාස සැමරුමත් එදින

වතුකරයේත් මැයි රැලි

පොහොට්ටුව කැම්බල්පිටියේ

සජබ පිටකොටුවේ

ජවිපෙ විහාරමහා දේවි උද්‍යානය අසල

ශ්‍රීලනිපය මහනුවර

එජාපය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ

උත්තර ලංකා සභාගය හයිට් පිටියේ

නිදහස් ජනතා සභාවත් මහනුවර

වැඩකරන ජනතාවගේ අභිමානය සමරමින් මෙවර කොළඹ හා තවත් ප්‍රදේශ ගණනාවක මැයි රැලි සහ සමරු උත්සව පැවැත්වීමට දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන කටයුතු යොදා තිබේ. මෙවර මැයි 1 දා සැමරෙන්නේ 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනයයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

එසේම සමගි ජනබලවේගයේ මැයි රැලිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිටකොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ රැලියේ පෙළපාලිය කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කොළඹ විහාරමහා දේවි උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසලදී පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළෙඳ පොළ ඉදිරිපිටදී පැවැත්වේ.

එසේම එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැලිය පෙ.ව. 9.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන බව එම පක්‍ෂයේ උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකයා හැටියට ’දදප තාක්‍ෂණය ඔස්සේ එම රැලියට තම සුභ පැතුම් එක් කිරීමට නියමිතය.

‘එක්ව ජයගමු’ එජාපයේ මෙවර මැයි දින රැලියේ තේමාව වේ.

උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී මැයි 1 දා පස්වරු 2.00 ට පැවැත්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, විජයධරනි ජාතික සභාව, යුතුකම ජනතා පක්‍ෂය ඒ සඳහා එක්වන බව ද හෙතෙම කීය.

විහාරමහා දේවි උද්‍යානය අසලින් එහි පෙළපාලිය ආරම්භ වේ.

නිදහස් ජනතා සභාවේ මැයි දින රැලිය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පස්වරු 2.00 ට පැවැත්වෙන බව එම සභාවේ සභාපති නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ‘දිවයින’ට පැවසීය.

මහනුවර සේනානායක වීදිය අසලට පාගමනින් පැමිණෙන එහි සාමාජිකයන් මහනුවර සහස් උයන දක්වා පැමිණීමට නියමිතය.

මීට අමතරව වතුකරයේ වෘත්තීය සමිති සහ දේශපාලන පක්‍ෂ කීපයක් මැයි දින රැලි එම ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය.

එසේම නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති පවත්වන මැයි දින රැලිය කොළඹ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එමෙන්ම 1993 මැයි 01 වැනිදා කොළඹ ආමර්වීදියේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ගුණ සමරු පිංකම කොළඹ ආමර්වීදියේ පිළිරුව අසලදී හා කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියසදී පැවැත්වේ. එහිදී ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද සිදු කෙරේ.

එසේම ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ.) මැයි රැළිය 01 වැනිදා පෙරවරු 9.30ට කොළඹ 03 ගාලු පාරේ බාලා තම්පෝ පටුමගේ පිහිටි එම සංගම් ශාලාවේදී පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment