නැගෙනහිර සිංහල දරුවන්ගේ මොළ මොට කරන අමුතු සෙල්ලමක්!

1047

සේරුවිල මංගල මහා විහාරයෙන් පඩි ගෙවලා ගුරුවරු 26ක් පාසල්වලට අනුයුක්ත කරලා…

නැගෙනහිර දෙමළ මාධ්‍ය පාසල්වල ගුරු අතිරික්තයක් සිංහල මාධ්‍ය පාසල්වල ප්‍රධාන විෂයයන්වලටත් ගුරුවරු නෑ…

කන්තලේ අධ්‍යාපන කලාපයට විදුහල්පතිවරු 26ක් නෑ…..

නැගෙනහිර අධ්‍යාපන පරිපාලනයේ බොහෝ නිලධාරීන්ට සිංහල භාෂාව කතා කරන්න බෑ…

පිට පළාත්වලින් පැමිණෙන ගුරුවරු වළිකන්නෙ ගමට මාරුවක් හදාගන්න…

සෑම තැනම ගැටලුය. එහෙත් වාර්තා වන මේ ගැටලුව අතිශය බරපතළය. එය අහඹු ලෙස නිර්මාණය වූ ගැටලුවක් නොවේ. කාලයක සිට නිර්මාණය කරගෙන එන ගැටලුවකි. නැගෙනහිර පළාතේ අසරණ සිංහල ළමයින්ගේ අධ්‍යාපනය මොට කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. ඇතැම් අන්තවාදී කණ්ඩායම් විසින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත්තේ මෙසේය.

වාර්තා වන ආකාරයට නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන අනුපාතය ආසන්න වශයෙන් සම තත්ත්වයක පවතී. එමෙන්ම එම පළාතේ ජීවත්වන සියලුම දෙමළ සහ මුස්ලිම් ළමයි අධ්‍යාපනය හදාරනුයේ දෙමළ මාධ්‍යයෙනි. ප්‍රතිශතයක් ලෙස දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබන ළමයි සංඛ්‍යාව 60% – 65% ක් අතර වේ. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන ලබන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 30% කි.

එමෙන්ම නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප දහහතකි. දෙමළ, සිංහල මාධ්‍ය සියලු පාසල් සංඛ්‍යාව තුන්සියයකි. ඒ අතර ජාතික පාසල් දහයකට ආසන්නය. අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, කන්තලේ ගෝමරන්කඩවල සහ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාප හැරුණුකොට සෙසු සියලුම අධ්‍යාපන කලාපවල ක්‍රියාත්මක වනුයේ දෙමළ මාධ්‍ය පාසල්ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය කලාපය, ත්‍රිකුණාමලය උතුරු කලාපය, කින්නයා, මුතුර් කලාප දෙක සහ කන්තලේ කලාපය ඇතුළු අධ්‍යාපන කලාප පහට අයත් අධ්‍යාපන කොට්ඨාස පහළොවකි. කින්නියා කලාපයේ පාසල් අසූඅට සහ මුතුර් කලාපයේ පාසල් හැටහය සම්පූර්ණ දෙමළ මාධ්‍ය පාසල්ය. එමෙන්ම ත්‍රිකුණාමලය කලාපයේ දෙමළ මාධ්‍ය පාසල් හැටතුනක් සහ සිංහල මාධ්‍ය පාසල් පහළොවක් ක්‍රියාත්මක වේ. ත්‍රිකුණාමලය උතුරු කලාපයේ සිංහල මාධ්‍ය පාසල් තිස්හතරක් සහ දෙමළ මාධ්‍ය පාසල් හතරක් ක්‍රියාත්මක වේ. කන්තලේ කලාපයේ සිංහල පාසල් තිස්පහක් සහ දෙමළ පාසල් නවයක් ක්‍රියාත්මක වේ. එම කලාපයේ සම්පූර්ණ පාසල් සංඛ්‍යාව හතළිස් හතරකි. අග්‍රබෝධි ජාතික පාසල හැරුණුකොට සෙසු සියලුම පාසල් පළාත් සභාවෙන් පාලනය කෙරෙන පාසල්ය. එම කලාපයේ සිංහල පාසල් තිස්පහ තුළ කාලයක සිට දැඩි ගුරු හිඟයක් පවතී. ගණිත ගුරුවරු විසිතුනක්, විද්‍යා ගුරුවරු දහනවයක් සහ තොරතුරු තාක්‍ෂණ විෂය උගන්වන ගුරුවරු හයදෙනෙකු පුරප්පාඩු වී පවතින බවත් අදාළ සියලුම ආයතනවලට එම ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත්, තවම කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව නැගෙනහිර පළාත් උසස් අධ්‍යාපන නිලධාරියෙක් අප සමඟ පැවසුවේය.

නැගෙනහිර සිංහල දරුවන්ගේ මොළ මොට කරන අමුතු සෙල්ලමක්!

කලාපයේ ප්‍රධාන පාසලක් වන කන්තලේ මහා විද්‍යාලයේ භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් ඉගැන්වීම සඳහා පසුගිය වසර වන තෙක් ගුරුවරු නොසිටි බව ද වාර්තා විය. එමෙන්ම ප්‍රදේශයේ සිංහල මාධ්‍ය පාසල් අතර පෙරමුණේ සිටින කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ ද උසස් පෙළ විද්‍යා, ගණිත විෂයන් ඉගැන්වීමට ගුරුවරු නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ ළමයි හයසිය ගානක් අධ්‍යාපනය ලබන, හය වසරේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන විශාලතම පාසලක් වන මහවැලිගම මහා විද්‍යාලයේ ද පසුගිය වර්ෂය වන තෙක් ගණිත, ඉංග්‍රීසි, විද්‍යාව සහ තොරතුරු තාක්‍ෂණය විෂයයන් ඉගැන්වීමට එකදු ගුරුවරයෙක් හෝ නොසිටීම මහා ඛේදනීය තත්ත්වයකි. එමෙන්ම කන්තලේ අධ්‍යාපන කලාපයේ ශ්‍රේණිගත විදුහල්පතිවරු විසිහයදෙනෙකු අදට ද හිඟව පවතින බව වාර්තා වේ. පළාතේ පාසල්වලට ලැබෙන සම්පත් බෙදාදීමේ දී සිංහල පාසල්වලට ලබාදෙනුයේ දෙමළ මාධ්‍ය පාසල්වලට බෙදා දී ඉතිරි වන සම්පත් බව කණවැකුනු විට හදවත කම්පනයට පත් විය.

එවැනි පසුබිමක කල්මුණේ, අක්කරපත්තුව, සමන්තුරේ සහ මඩකලපුව අධ්‍යාපන කලාපවල දෙමළ මාධ්‍ය පාසල්වල විශාල ගුරු අතිරික්තයක් පැවැතීම පුදුම සහගතය. එකී ගුරු අතිරික්තය නිසා නැගෙනහිර පළාතේ සමස්ත ගුරුවරු සංඛ්‍යාවේ හිඟයක් නොපෙනෙන බව ද පැහැදිළිය. නැගෙනහිර පළාත් අධ්‍යාපන නිලධාරීන් අදාළ ඉහළ ආයතනවලට පෙන්වාදෙනුයේ ද එම පළාතේ ගුරු හිඟයක් නොමැති බවය. කිසිදු විටක එම පළාතේ සිංහල පාසල්වල පවතින ගුරු හිඟය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ ඉහළ අධ්‍යාපන පරිපාලකයන් කතා නොකරන බව ද වාර්තා වේ. අදාළ ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් සාකච්ඡා කරනවා විනා විසඳුම් ලබාදීමට කටයුතු නොකිරීම ද බරපතළ ගැටලුවක් බව ප්‍රදේශයේ උසස් අධ්‍යාපන නිලධාරීහු අප සමඟ පැවසූහ.

එමෙන්ම කන්තලේ කලාපයේ සිංහල මාධ්‍ය පාසල්වලට අනුයුක්ත කරන ගුරුවරු ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වඩා උනන්දු වනුයේ ස්ථාන මාරුවක් ලබාගෙන පාසල හැර යෑමටය. කන්තලේ අධ්‍යාපන කලාපයේ පමණක් නොව නැගෙනහිර පළාතේ සියලුම සිංහල මාධ්‍ය පාසල්වලට මේ තත්ත්වය පොදුය. නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ නියුක්තව සිටින සිංහල නිලධාරීන් ද අතිශය අල්පය. එම පළාතේ පරිපාලන සේවයේ නියුක්ත බහුතරයක් වූ මුස්ලිම්, දෙමළ අධ්‍යාපන නිලධාරීන්ගෙන් බොහෝ අයට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාවක් නොමැති බව ද වාර්තා වේ. එවැනි පසුබිමක එම පළාතේ සිංහල පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වීම අරුමයක් නොවන බව ද සැබෑය. දේශපාලන වශයෙන් සිංහල ජනතාවට ඉතාම අල්ප නියෝජනයක් තිබෙන නැගෙනහිර සිංහල මිනිසුන්ගේ ගැටලු මෙරට පාර්ලිමේන්තුවේ ද කතා නොකෙරෙන තරම් ය.

එහෙත් ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පවත්වනුයේ සමස්ත රටටම පොදු වූ ක්‍රමවේදයකටය. ප්‍රධාන විෂයන්ට හෝ ගුරුවරු නොමැති නැගෙනහිර සිංහල පාසල්වල දරුවන් අදාළ විභාගයටත් පෙනී සිටිනුයේ කිසිදු විෂය දැනුමකින් තොරවය. එවැනි පසුබිමක මෙරට නිදහස් අධ්‍යාපනයේ සම අයිතීන් නැගෙනහිර පළාතේ සිංහල පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට ලැබී තිබේ ද යන්න බරපතළ ගැටලුවකි. මෙරට වෙනත් පළාත්වල දරුවන්ට මෙන්ම උතුර, නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය ලබන ළමයින්ට ටියුෂන් අධ්‍යාපනය ලබාදීමට තරම් මවුපියන්වත් පොහොසත් නැත. එහෙයින් පළාතේ අධ්‍යාපන නිලධාරීන් අදාළ පාසල්වල විදුහල්පතිවරු, අසරණ මිනිසුන්ට සරණක්වීමට ඉදිරිපත් වී සිටින ගිහි පැවිදි පින්වතුන් යල් පැන ගිය පාසල් ගුරු හිඟය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට, අධ්‍යාපන ඇමැතිවරුන්ට, උසස් අධ්‍යාපන නිලධාරීන්ට දැනුම් දී ඇති වාර අනන්තය. එහෙත් බීරි අලින්ට වයන වීණා වාදනයක් පමණක් ම වී ඇත. එවැනි පසුබිමක උද්ගතව ඇති ගැටලුවේ බරපතළකම හොඳින් අවබෝධ කරගෙන සිටින සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හාමුදුරුවෝ කන්තලේ කලාපයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවලට සාර්ථක විසඳුමක් ලබා දී ඇත. ඒ ලෝකය පුරා ජීවත්වන ඇති හැකි පින්වත් දායක, දායිකාවන්ගේ මූල්‍යමය දායකත්වයෙන් එම පුරප්පාඩුවලට ස්වෙච්ඡා ගුරුවරු අනුයුක්ත කිරීමය. ඒ ගැන විමසා බැලීමට අපි උන්වහන්සේ බැහැදුටුවෙමු. මේ පෙළගැසෙනුයේ ඒ සම්බන්ධයෙන් උන්වහසේ පළ කළ අදහස්ය.

නැගෙනහිර සිංහල දරුවන්ගේ මොළ මොට කරන අමුතු සෙල්ලමක්!
සේරුවිල මංගල මහා විහාරයේ විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හිමි

“පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ රජයට හැම දේම කරන්න පුළුවන්කමක් නෑ. රජය කරනකම් බලාගෙන නොසිට පුරවැසියන් විදිහට අසරණ මිනිසුන් වෙනුවෙන් පුළුවන් උපරිමය කරන්න අපිත් උත්සාහ කරන්න ඕනෑ. ඒ අනුව නැගෙනහිර පළාතේ සිංහල පාසල්වල තිබෙන ශෝචනීය තත්ත්වය ගැන, පෞද්ගලිකව හඳුනන හිතවත් දායක, දායිකාවන්ට දැනුම් දුන්නා. ඒ අය එක, එක ගුරුවරයා සම්බන්ධයෙන් දායකත්වය දැරීමට කැමැති වුණා. ඔවුන්ගේ දායකත්වය ලැබීමත් සමඟ මේ වන විට සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයේ සම්පූර්ණ ගුරු හිඟයට සාර්ථක විසඳුමක් ලබාදෙන්න අපිට පුළුවන් වුණා. කන්තලේ අධ්‍යාපන කොට්ඨාසයේ කන්තලේ මහා විද්‍යාලය, ගන්තලාව මහා විද්‍යාලයේ ගුරු හිඟයටත් විසඳුම් ලබා දීලා තියෙනවා. සුදුසුකම් ලත් ගුරුවරු විසිහයදෙනෙකුට මාසිකව රුපියල් 25000 බැගින් පඩි ගෙවාගෙන ඒ, ඒ පාසල්වලට අනුයුක්ත කරලා තියෙනවා. එම කටයුත්ත සිදු කරගෙන යන්නෙ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට නැගෙනහිර පළාතේ උසස් අධ්‍යාපන නිලධාරීන්ගේ පූර්ණ දැනුවත් භාවය සහ උපදෙස් පිට. ස්වෙච්ඡා ගුරු සේවයට බඳවාගෙන තියෙන්නෙ උපාධිධාරීන් සහ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සම්පූර්ණ කර තිබෙන තරුණ, තරුණියන් පමණයි. අයදුම්පත් කැඳවීමකින් පසුව විශේෂ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයකින් තමයි තෝරාපත් කරගැනීම සිදු කළේ. එම සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ මුලසන දැරුවේ පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිනිය ආචාර්ය මාතරආරච්චි මහත්මිය. එම මණ්ඩලයේ සෙසු සියලුම විනිසුරුවන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු. දහසකට වැඩි අයැදුම්පත් සංඛ්‍යාවක් අතරින් විසිහයදෙනකු තෝරාපත් කරගෙන ස්වෙච්ඡා ගුරුවරු ලෙස පාසල්වලට අනුයුක්ත කරලා තියෙනවා. එම ස්වෙච්ඡා ගුරුවරුන්ව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවා පිළිගෙන තියෙනවා. ඉදිරි බඳවාගැනීමකදී දුෂ්කර පාසල්හි ස්වෙච්ඡා ගුරුවරු විදිහට කටයුතු කරන මේ දරුවන්ට ප්‍රමුඛස්ථානය ලැබෙනවා…”

“අපි කරන මේ වැඩසටහන ඕනෑම සංවිධානයකට ආයතනයකට මැදිහත් වෙලා සමාජ සද්කාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ මඟපෙන්වීම අපට ලබාදෙන්න පුළුවන්. ඒත් මේ ගැටලුවට රජය විසින් ස්ථිර විසඳුමක් ලබාදෙන්න ඕනෑ. කන්තලේ අධ්‍යාපන කලාපයේ විතරක් නෙමෙයි, ත්‍රිකුණාමල උතුර, ගෝමරන්කඩවල කලාපවල පාසල් තුළත් දැඩි ගුරු හිඟයක් තියෙනවා. ඒ හැම පාසලකම ඉගෙන ගන්නෙ සිංහල ළමයි. විවිධ අයුරින් පීඩාවට පත් වී සිටින සිංහල පවුල්වල ළමයි. මේ ළමයි සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනෑ…” අළුදෙණියේ සුබෝධි හාමුදුරුවන්ගේ අදහස් දැක්වීමෙන් අනතුරුව සේරුවිල මංගල මහා විහාරයෙන් මාසික වේතන ලබා දෙමින් ත්‍ර්‍රි/කන්/ මහවැලිගම මහා විද්‍යාලයේ ගුරු සේවයට අනුයුක්ත කර තිබෙන ගුරුවරියන් කිහිපදෙනෙක් සමඟ අපි කතාබහා කළෙමු. ඒ අතරින් කෑගල්ලෙ නාගරික පරිසරයක පදිංචි කලණි ලක්‍ෂිකා සහ අම්පාර ප්‍රදේශයේ පදිංචි සිතරා ගුරුවරිය පළ කළ අදහස් කැටි කොට පෙළගැස්වීමට අප අදහස් කරනුයේ ඔවුන් දෙදෙනාම එකම විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබා ඇති යෙහෙළියන් වන නිසාය. ගුරු වෘත්තියට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටින කලණි ගණිත ගුරුවරියකි. සිතරා විද්‍යා ගුරුවරියකි. කලණිගේ වයස අවුරුදු විසිහතකි. සිතරාගෙ වයස අවුරුදු විසිහයකි. මේ ඔවුන් පළ කළ අදහස්ය.

“මේ පාසල්වල ළමයින්ට විෂය පරිබාහිර ක්‍රියාකාරකම් නොකෙරෙන තරම්. ඒ නිසා ළමයින්ගේ සහජ දක්‍ෂතා ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ වගේම සේරුවිල පාසල්වල මුහුද නොදැකපු ළමයි ඉන්නවා. ඒ දරුවො ගමෙන් එහාට ගිහින් නෑ. කොළඹට, නුවරට යෑම ඔවුන්ට සිහිනයක් වගෙයි. රට තොටේ ඇවිදලා විවිධ සමාජ සමඟ මුහුනොවීම, විෂය පරිබාහිර ක්‍රියාකාරකම් නොමැතිවීම තුළ පෞරුෂ වර්ධනය ඉතාම අඩුයි. සබකෝලය වැඩියි. ඉදිරිපත්වීම අඩුයි. ඒ දරුවන්ට අනාගත බලාපොරොත්තු නෑ. බහුතරය ඉගෙන ගන්න පාසලට එන්නෙ පවුල් ප්‍රශ්නවලින් මනස අවුල් කරගෙන. සමහර විට රෑට, උදේට දේවේලටම කාලා නෑ. ඒ දරුවන්ට ඉගෙන ගන්න පැහැදිලි මනසක් නෑ. ඒත් මේ දරුවො හරිම සුහදශීලී. මවුපියොත් එහෙමයි. ගුරු නිවාසයේ නතර වෙලා ඉන්න අපිට කෑම බීම පවා දරුවන්ගෙ ගෙවල්වලින් ගෙනත් දෙනවා. දැන් මම මේ පාසලට ඇවිත් අවුරුද්දකට කිට්ටුයි. පාසලෙන් ඉවත් වෙන්න හිත හදාගන්න බැරිව ඉන්නෙ. ඒ වගේම නුහුරු පරිසරයක, වෙනස් සමාජ තලයක අලුත් අද්දැකීමක් ලැබීමත් විශේෂ පළපුරුද්දක්. ගුරු වෘත්තීයට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින අපිට හොඳ අවස්ථාවක්. හොඳ ගුරු පුහුණු පාඨමාලාවක්. ඒත් අපිට හැමදාම මේ පාසල්වල රැඳෙන්න බෑ. තව කෙටි කාලයකින් අපිට ගමට යන්න වෙනවා. මේ පාසල්වල පවතින ගුරු හිඟයට ස්ථිර විසඳුමක් ලැබෙන්න නම් මේ ප්‍රදේශවලින් සිංහල මාධ්‍ය ගුරුවරු නිර්මාණය වෙන්න ඕනෑ…” තරුණ ගුරුවරියන්ගේ කතාව සැබෑය. නැගෙනහිර පළාතේ සිංහල පාසල්වල පවතින දැඩි ගුරු හිඟයට ප්‍රධාන එකී කලාපවලින් සිංහල මාධ්‍ය උපාධිධාරී, විද්‍යාපීඨ ගුරුවරු බිහිනොවීම බව පළාතේ උසස් අධ්‍යාපන නිලධාරීහු ද අප සමඟ පැවසූහ. එමෙන්ම මෙරට ගුරුවරු බඳවාගැනීමේ පිළිගත් ක්‍රමවේදයන් දෙකට අනුව බඳවාගන්නා ගුරුවරු පළාත් පාසල්වලට අනුයුක්ත කිරීමේදී දැඩි අසාධාරණයක් වන බවද එම නිලධාරීහු අපට පැවසූහ. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සිංහල මාධ්‍ය පළාත් පාසල්වලට මේ අසාධාරණය නිරන්තරයෙන්ම සිදු වන බවත්, එකී පළාතෙන් බිහිවන විද්‍යා පීඨ ගුරුවරු වෙනත් ප්‍රදේශවල පාසල්වලට අනුයුක්ත කිරීම තුළ ඔවුන් එකී ප්‍රදේශවලින් සහකරුවන්, සහාකාරියන් සොයාගෙන පදිංචිවීම තුළ නැගෙනහිර පළාතේ සිංහල මාධ්‍ය පාසල්වල ගුරු හිඟය උග්‍ර තැනකට තල්ලු වෙමින් තිබෙන බව ඔවුහු අපට පෙන්වා දුන්හ.

නැගෙනහිර සිංහල දරුවන්ගේ මොළ මොට කරන අමුතු සෙල්ලමක්!

පෙළගැසෙන කතාව අතිශය ශෝචනීයයි. අසරණ දරු පවුල් ජීවත්වන කටු මැටි පැල ඉදිකර ඇති පුංචි බිම් කැබැල්ලට හෝ අයිතිවාසිකමක් නැති, එදා වේල සොයාගැනීමට නොවිඳිනා දුක්විඳින බහුතරයක් වූ සිංහල පවුල්වල දරුවන්ට නරා වළෙන් ගොඩ ඒමට ඇති එකම මඟ අධ්‍යාපනය බව සැබෑය. උසස් අධ්‍යාපනයක් ලබාගෙන ජීවත් වන සමාජයෙන් යහපත් මාවතකට නොහැරෙන්න ඔවුන් ද වැටෙනුයේ කුලියක් කරගෙන, වැවක, ඇළක මාළුවෙක් මරාගෙන කා සවසට මත් වතුර, මත්ද්‍රව්‍ය පාවිච්චි කොට කාලකණ්ණි ජීවිත ගත කරන පහත්ම සමාජයට ය. නිසියාකාර අධ්‍යාපනයක් නොලැබෙන නැගෙනහිර පළාතේ සිංහල ගම්මාන ඇසුරෙහි දී මේ වන විටත් විවිධාකාර සමාජ ගැටලු නිර්මාණය වී ඇති බව සැබෑය. එකී සමාජ අර්බුද නිර්මාණයවීම, බෝක්කු උඩ රස්තියාදු වන තාරුණ්‍යයක් බිහිවීම, පාසල් හැර යෑමත් සමඟ දරු පවුල් හදාගෙන ගැටලු සමඟ ජීවත් වන පවුල් සහිත ඒ ගම්මාන දියුණු නොවන බව ද සැබෑය. ගෝත්‍රික අන්තවාදී කණ්ඩායම්වල ප්‍රධාන ඉලක්කය උතුර, නැගෙනහිර සිංහල ගම්මාන දියුණුවීමට තිබෙන ඉඩ ඇහිරීමය. සිංහල දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබානොදීම තුළ නැගෙනහිර සිංහල ගම්මාන සදා වළ පල්ලේය. ප්‍රභාකරන් යුද්ධ කර ලබාගන්න වළි කෑ උතුර, නැගෙනහිර බලය වර්තමානයේ දී මහා ජාතියට නොතේරෙන්න අත්පත් කරගැනීමට දරන මේ වෑයම නොදකින්න මෙරට බලධාරීන් සහ නිලධාරීන් නොදරුවන් නොවේ. එහෙත් උතුර, නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දවලට ඇති කෑදරකමට එම පළාත්වල අසරණ සිංහල ජනතාව පීඩාවට පත් කර ඇති ගෝත්‍රික කුමන්ත්‍රණය නොදැක්කා සේ මෙරට සිංහල බලධාරීන් සිටිති.

කාලයක සිට අතිශය සූක්‍ෂ්මව නිර්මාණය කර ඇති ගැටලුව ගැන සරලව අපි පැහැදිළි කළෙමු. ඒ සරල කියමන තේරුම් ගැනීමට තරම් බුද්ධියක් සහිත අධ්‍යාපන බලධාරීන් සහ නිලධාරීන් ඉහළ ක්‍ෂේත්‍රවල සිටින බව අපගේ විශ්වාසයයි. එමෙන්ම ජාතික ප්‍රශ්න වෙනුවෙන් නිර්භයව පෙනී සිටින දේශපාලනඥයින් සහ ජාතික සංවිධාන උද්ගතව ඇති මේ ගැටලුව ගැන ද හඬක් නැඟීමට පෙරට එන බව අපි විශ්වාස කරමු. එසේ නොවෙන්න එකී දේශප්‍රේමීන්ගෙන් සහ ජාතික සංවිධානවලින් ජාතියට ඇති ඵලක් නැත.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment