මට්ටක්කුලිය ඝාතනයේ සැකකරුවන් රඳවාගෙන දිගට ම ප්‍රශ්න කෙරේ

389

මට්ටක්කුලිය, සාෆියා පටුමගේ දී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් “දිවයින”ට ඊයේ (14 වැනිදා) පැවැසීය.

මෙම ඝාතනයට අදාළව ආධාර හා අනුබල දුන් පුද්ගලයකු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට ආධාර හා අනුබලදුන් තවත් අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදු කරමින් පවතින බවත් හෙතෙම කීය.

ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙස් දෙකක රැඳී සිටිය දී කොටුකරගත් බව ඔහු කියා සිටියේය.

මොවුන් වෑන් රථයකින් රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමින් යුත් මත්කුඩු කතරගමට ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටිය දී වැල්ලම්පිටියේ දී කොටුකරගත් බවද ඒ මහතා කීය. 2022/11/28 වැනිදා මෙම ඝාතන සිද්ධිය සිදුවී තිබිණි. මෙලෙස ඝාතකයට ලක්වී තිබුණේ මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්සාන් නමැති ව්‍යාපාරිකයෙකි.

සැකකරුවෝ අවුරුදු 25ත් 34 ත් අරත වයසේ පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මුදල් ගනු දෙනුවක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් පරීක්‍ෂණවල දී අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්වූ අය ද විවිධ ජාවාරම්වලට සම්බන්ධ අයකු බව ද හෙළිවිනැයි එම නිලධාරියා කීය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය බව හෙළිවිනැයි ද හෙතෙම කියා සිටියේය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඇන්සනම් ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක මධුරංග ප්‍රියමන්ත මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment