උන් ඔක්කොම යාළුවෝ මල්ලී

145

ප්‍රසංගවල අඩුවක් නෑ

රන්ජන් රාමනායක කියන්නේ ජනප්‍රිය නළුවෙක් වගේම දේශපාලනඥයෙක්, ගායකයෙක්. හැබැයි අද අපි කතාබහ කරන්න හදන්නේ මේ දවස්වල හැමෝම කතාබහ වෙන ඔහුගේ ගායක හැකියාව ගැනය. රන්ජන් කිව්ව ගමන් අද හැමෝටම මතක් වෙනනේ ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ කියන ගීතය ගැනය. ඉතිං ඔහුගේ අලුත්ම ගීතය ගැන අපි ඔහුත් සමග සංවාදයක පැටලුණා.

උන් ඔක්කොම යාළුවෝ මල්ලී

‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ ගීතය ගැන මුලින්ම කතා කළොත් ?

මේ සින්දුවම ඉතිහාසයක් තිබෙනවා. මේ සින්දුව මම පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක්. ඒක හැන්සාඩ්ගතවෙලා තිබෙනවා. ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ ප්‍රකාශය ගැන ගොඩක් දෙනෙක් වර්ණනා කළා. කාලයක් තිස්සේ මගේ හිතේ අදහසක් තිබුණා මේ ප්‍රකාශයත් එක්ක ගීතයක් කරන්න ඕනෑ කියලත්. චිත්‍රපටයක් කරන්නත් හිතේ අදහසක් තිබුණා. ඒකේ නම් පිටපත පවා ලියලා ඉවරයි. බොහෝ මහාචාර්යවරු පවා ලංකාවේ තිබුණ වැඩසටහන්වලට ඇවිත් කිව්වා ලංකාවේ තිබුණ දේශපාලනය ඉතාම කැටි කරලා ලඝු කරලා කිව්ව හොඳ ප්‍රකාශයක් මේක කියලා. මේ ප්‍රකාශයේ සියලු දේම අඩංගුවෙලා තිබෙනවා.

රූප රචනාවත් වෙනස්ම විදිහට කරන්න හිතුවේ ඇයි?

මම කලාකාරයෙක් විදිහට මුලින්ම මගේ සිනමා ඉතිහාසය බැලුවත් පවතින සමාජයේ දේවල් මගේ චිත්‍රපට හරහා පෙන්වපු කෙනෙක්. කතාව, දෙබස් තිරපිටපත, අධ්‍යක්ෂණය හා රංගනය සිදුකළේ මගේ පළමු චිත්‍රපටය තමයි පාර්ලිමන්ට්ස් ජෝක්ස් වන්. පසුගිය කාලයේ මම ලෝකයේ බොහෝ රටවලට සහභාගි වුණා. හැබැයි ලංකාවේ ඉන්නේ හරිම සංවේදී මිනිස්සු. ඉතිං මම හිතුවා මෙවැනි චිත්‍රපට මෙවැනි ගීත හරහා ජනතාව දැනුවත් කරන්න පුළුවන් කියලා. මුලින්ම කරපු ‘පාර්ලිමන්ට් ජෝක්ස් වන්’ ඉතාම ආදරයෙන් මිනිස්සු වැළඳගත්තා.

ඊට පසුව මම නිර්මාණය කළේ වන් ෂොට්, වන්ෂොට් එකෙත් තියෙන්නේ ඒක. ඉතිං ඒකෙම දිගුවක් තමයි මේ

උනුත් එකයි මුනත් එකයි
හොරු කවදත් හොරුම තමයි
මුන් ඔක්කොම යාළුවෝ මල්ලී
එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවෙ මුන්ම තමයි
හොරු අල්ලන් නෑ මල්ලී

කියලා මම ගීතයෙන් කිව්වා. මේ සාකච්ඡාව සිදුකරන මොහොත වෙන විටත් ලක්ෂ හතරහමාරක් මේ වීඩියෝව නරඹලා තියෙනවා. ජනතාව ඒක අනුමත කරලා තිබෙනවා කියලා මම හිතනවා.

මේ ගීතයේ රූප රචනාවේ පිටපත ලිව්වේ කවුද?

ඉතිං මේ ගීතය කියන්න ඕනෑ සහ චිත්‍රපටයක් කරන්න ඕනෑ කියලා අදහසක් ආවහම ලංකාවේ නමගිය ගීත පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් ගණනාවකට මම මගේ අදහස ලබාදුන්නා. නමුත් ඔවුන්ගෙන් මට අවශ්‍ය දේ ලැබුණේ නැහැ. අන්තිමේ ඔවුන්ට ගෙවීම් කරලා වැඩේ නැවැත්තුවා. ඊට පස්සේ මට හිතුණා මේක මම නිර්මාණය කරන්න ඕනෑ කියලා. මොකද පාර්ලිමේන්තුවෙන් හැන්සාඩ් ගතවෙලා තිබෙන්නේ මගේ නමනේ. ඉතිං එක එක්කෙනාගෙන් අදහස් අරගෙන තනුවක් හොය හොයා ඉන්නකොට ගී ගණනාවක් කරපු චමිඳු මල්ලීට කිව්වහම ඔහු එවලා තිබුණ මෙලඩියට මගේ හිත ගියා. මට මුලින් ලැබුණු මෙලඩි සියල්ලන්ටම වඩා මේකට කැමැතිවෙලා චමිඳු මල්ලී හරහාම සංගීතය නිර්මාණය කළා. ඉරේෂ් මල්ලිගෙන් අහලා චාරුක මල්ලිට රූපරචනාව නිර්මාණය කරන්න භාරදුන්නා. ඊට පස්සේ දවසක් තිස්සේ ෂූට් කරලා වැඩේ රිලීස් කළා.

මේ ගීතයට නළු නිළියොත් එක්ක ඩාන්ස් කරන ටික්ටොක් කිහිපයකුත් දැක්කා?

රූපවාහිනි වැඩසටහනකට සහභාගි වුණහම මම එතැන කට්ටියට කිව්වා අනේ මගේ ගීතය පොඩ්ඩක් ජනප්‍රිය කරලා දෙන්න කියලා. ඊට පස්සේ කරපු ටික්ටොක් වීඩියෝ එකක් වන්පොයින්ට් වන් මිලියන් නරඹලා තිබුණා.

කොහොම හරි මට රෙක්ස්ටික්ෂන් ගොඩක් තිබෙනවා. මට ඒ ගැන දුකයි. වීසා ගන්න ගියත් ඒ බිහිසුණු ඉතිහාසය මා පස්සෙන් එනවා. මේ ගීතය ටේ‍රන්ඩින් නොගියත් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා කියලා තේරෙනවා. ටික්ටොකවල, රිඟින් ටෝන්වල වගේම බොහෝ ෆ්ලැට්ෆෝම්වල මේ ගීතය ජනප්‍රිය වෙලා තියෙනවා.

මේ ටිකේ තිබෙන විදෙස් සංචාරවල ප්‍රසංගවලටත් නම යොදලා තියෙන්නේ ‘උන් ඔක්කොම යාළුවෝ මල්ලී’ කියන නමින් තමයි. මේ දවස්වල මට භාරගන්න බැරිතරමටම ප්‍රසංග ලැබිලා තිබෙනවා. ඉතිං මේ ටිකේ ඒ රටවලට ගිහිල්ලා ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලී’ කියලා කියනවා.

උන් ඔක්කොම යාළුවෝ මල්ලී

කොහොමද මේ තරුණකම මේ විදිහට පවත්වාගෙන යන්නේ. මොකක්ද ඒකේ රහස?

ගොඩක් දෙනෙක් ඒ ගැන මගෙන් අහනවා. විජය කුමාරතුංග මහත්මයා නම් නැතිවුණේ අවුරුදු 43 දී. 1988 පෙබරවාරි 18 එතුමා ඉන්නකම් ජනප්‍රිය නළුවා. රූපය තියාගෙන හිටියා තරුණයෙක් වගේ. එතකොට ගාමිණී ෆොන්සේකා මහත්මයා තරුණයාගේ චරිතවලින් අයින් වුණේ එතුමාට වයස අවුරුදු පනහ වෙද්දී. හැබැයි හොලිවුඩ් බොලිවුඩ් නළුවෝ තරුණ චරිත රඟපානවා. මම අන්තර්ජාලය හරහා ඒ සියලුම වැඩසටහටන් නරඹනවා. හොඳට ව්‍යායාම් කරනවා, හොඳට කෑමබීම ගන්නවා. ඒ වගේම හොඳ විවේකයක් ගන්නවා. ප්‍රශ්න අඩු අයට තමයි තරුණකම තියාගන්න පුළුවන්. මම විවාහවෙලා නැති හින්දා තරුණයා වගේ ඉන්න පුළුවන්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment