රද්දොළුගම කොස්තාපල්ගේ කන පැලූ එස්අයි ගැන ලොක්කෝ නිහඬලු

368

පොලිස් පොඩ්ඩෝ දුකෙන් සහ කලකිරීමෙන්

දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකුගේ කන හරහා පහරක් එල්ල කළ රද්දොළුගම පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාසයේ පොලිස් පොඩ්ඩෝ දැඩි කලකිරීමටත් අපහසුතාවන්ටත් පත් ව සිටිති.

ඉකුත් 24 වෙනිදා උදේ 7ට පමණරද්දොළුගම නගරයේ බීට්ටු සංචාරය සඳහා එම ස්ථානයට නිල ඇඳුමෙන් සැරසී ආධුනික පොලිස් කොස්තාපල්වරයා රාජකාරි සඳහා ගොස් ඇති බව පොලිස් පොඩ්ඩෝ පවසති. එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයාට ආචාර නොකළ බවත් ප්‍රමාද වී රාජකාරියට වාර්තා කර ඇති බවත් පවසා උප පොලිස් පරීක්ෂකවරයා විසින් දෙනෝදාහක් බලා සිටියදීම ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ කනට වැරෙන් පහරක් එල්ල කර ඇති බව පොලිස් පොඩ්ඩෝ වැඩිදුරටත් සඳහන් කරති. උප පොලිස් පරීක්ෂකවරයා ආධුනික පොලිස් කොස්තාපල් වරයාට එසේ පහර දීම දැක ඇති එම ස්ථානයේ සිටි ත්‍රීවිල් රථ රියදුරෙකු සිද්ධිය ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් රද්දොළුගම පොලිසියට දැනුම් දී ඇති බවද සෙසු පොලිස් නිලධාරීහු පවසති. මෙසේ පහර කෑමට ලක්ව ඇති රද්දොළුගම පොලිසියට අනුයුක්තව සේවය කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයාද සිද්ධිය රද්දොළුගම පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇතත් ස්ථානාධිපතිවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පොලිස් පොඩ්ඩෝ වැඩිදුරටත් සඳහන් කළහ. පහර කෑමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල් වරයා දැඩි ලැජ්ජාවටත් මානසික ආතතියටත් පත්ව සිටින බවත් කනට වැරෙන් පහරක් එල්ල වීම නිසා පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවටත් අනාවරණය වී තිබේ.

මෙවැනි සිද්ධීන්වලදී පොලිස් ලොක්කෝ නිදිකිරා වැටීම හාස්‍යයට කරුණක් බව මේ සම්බන්ධව කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment