සෞඛ්‍ය ආධාර කන්ටේනර් 100 ගන්න ශ්‍රී ලංකාවට මෙලෝ වුවමනාවක් නෑ

187

පරිත්‍යාග අහිමි වෙන්නත් යයි: සති තුනක් තිස්සේ කරන ඉල්ලීම්වලට තවම ප්‍රතිචාර නෑ

එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති SYLVIA Lanka Foundation නමති සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ඩොලර් මිලියන 120ක් වටිනා රෝහල්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ලබා දීමට ඉදිරිපත්ව ඇතත් ශ්‍රී ලංකා බලධාරීන් එම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රිය නොකරන නිසා මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට අහිමි වීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

කන්ටේනර් සියයකින් යුත් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමෙන් සෞඛ්‍යය අංශයේ වියදම අඩු කර ගත හැකි බවත් රෝගීන්ගේ හා වෛද්‍යවරුන්ගේ පහසුකම් වැඩි කර ගත හැකි බවත් මෙරට රෝහල් සේවා සංගමයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියෝ සඳහන් කරති.

මෙරටේ පවතින ආර්ථික දුෂ්කරතාව හමුවේ සෞඛ්‍යය අංශයට රෝහල් උපකරණ ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් තිබියදී එංගලන්තයෙන් ලැබෙන මෙම පරිත්‍යාගය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු නොකර කල් වැරීම මෙරට අසරණ රෝගීන්ට කරන අසාධාරණයක් බව ද සුභූති හිමියෝ කියති.

‘මෙරට රෝහල් සේවා සංගමය විදියට අපි මේ දක්වා විශාල සේවාවක් කර තිබෙනවා. වසරක් දොළහක් තිස්සේ අපි විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ සහයෝගය ඇතිව රුපියල් මිලියන ලක්ෂ ගණනක් වටින වෛද්‍ය උපකරණ හා රෝහල් උපකරණ දිවයින පුරා රෝහල්වලට ලබා දී තිබෙනවා. අපේ නිහඬ සේවය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. වරෙක අපට ලැබුණ මෙවැනි උපකරණ සහිත කන්ටේනර් දොළහක් පමණ සෞඛ්‍යය අමාත්‍යාංශය හරහා ගෙන්වා ගෙන රෝහල් වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙවර අපිට එංගලන්තයේ සිල්වියා ලංකා පදනම මගින් ඩොලර් මිලියන 120 ක පමණ වටිනාකමක් ඇති වෛද්‍ය උපකරණ තොගයක් කර්ටේනර් සියයක මෙරට එවන්න සූදානම් කර තිබෙනවා. ඒ උපකරණ තොගය ඇතුළේ දැඩි සත්කාරක ඇඳන් 2500ක්, සාමාන්‍ය ප්‍රතිකාර කරන ඇඳන් 3500ක්, සේලයින් ස්ටෑන්ඩ් දස දහසක් පමණ, ඖෂධ ගබඩා කර තබන ශීතකරණ 400 ක් පමණ, මෙන්ම නවීන පාවිචිචි නොකළ තවත් උපකරණ රාශියක් තියෙනවා. මේ වෙන කොට අපේ රටේ දැඩි රෝහල් හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාවක් තිබෙනවා. යාපනය රෝහලේ මහචාර්ය ඒකකයට උපකරණ අවශ්‍යව තිබෙනවා. ගාල්ල කරාපිටියේ ඉදි කර ඇති තට්ටු දහයක රෝහල් ගොඩනැගිල්ලට උපකරණ අවශ්‍යව තිබෙනවා. ජාතික රෝහලේ බාහිර රෝගී අංශය උපකරණ හිඟය නිසා තවමත් විවෘත නොකර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා ඇති ග්‍රාමීය රෝහල් බොහෝමයකට දැඩි උපකරණ හිඟයක් තිබෙනවා. එමෙන්ම ජාතික රෝහලේ දැනට ඇති ඇඳන් 4500 න් බොහෝමයක් ඉතාම පරණ අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා. මේ සියලු අඩුපාඩු මඟහරවා ගෙන රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට මෙන්ම ප්‍රතිකාර ලබන රෝගීන්ට ද මෙම උපකරණ තොගය මෙරටට ගෙන්වා ගැනීමෙන් මහත් පහසුවක් ලැබෙනවා. එනිසා මේ වෛද්‍ය උපකරණ තොගය මෙරටට ගෙන්වා ගන්න මැදිහත් වෙන්න කියලා අපි දැන් සති තුනක ඉඳලා රජයේ වගකිවයුත්තන්ට දැනුම් දීලා තිබෙනවා. නමුත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. මේ භාණ්ඩ තොගය ඉදිරි දෙසතියක පමණ කාලයක් තුළ අපේ රටට ගෙන්වා ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයක් නොකළොත් ඒ විශාල පරිත්‍යාගය අපිට අහිමි වෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment