හීන හැබෑ වේවි කියලා ජීවිතේටවත් හිතුවේ නෑ – දසුනි නවෝද්‍යා

210

දසුනි අනුකි තරම් සැර නෑ

ඇය නමින් දසුනි නවෝද්‍යා. මේ දිනවල ඇයව අපට මුණගැසෙන්නේ ‘සර්කස් කාරයෝහි’ අනුකි ලෙසිනි. ඉතිං මේ දිනවල සර්කස්කාරයෝ නරඹන හැමෝම වගේ කවුද මේ අනුකි කියලා හොයලා බලනවා ඔන්න ඉතිං අපි ඔයාලට අනුකිගේ විස්තර දැනගන්න දසුනිට කතා කළා.

දසුනිට අනුකිව කොහොමද හම්බවුණේ?

මම කලින් රඟපෑ නාට්‍යයක් දැකලා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා මගේ උපන් දිනය දවසේම මට කථා කරනවා.

කථා කරලා මට කියනවා අනුකිගේ චරිතය ගැන කියන්නේ, ඊට පස්සේ තමයි මාව ඒ චරිතයට තෝරගත්තේ.

හීන හැබෑ වේවි කියලා ජීවිතේටවත් හිතුවේ නෑ - දසුනි නවෝද්‍යා

මේ වෙනකොට අනුකිට ලැබෙන ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා මගතොටේදීත් මේ අනුකි නේද කියලත් අහනවා. නාට්‍යයට ආපු මුල් කාලයේ ගොඩක් දෙනෙක් බැන්න මෙයා කොල්ලෙක් වගේ කියලා දැන්නම් බැණුම් පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා.

අනුකිගේ කසාදයට මොකද වෙන්නේ

අපි ඉස්සරහට බලමුනේද අනුකිගේ කසාදයට හොඳ හොද දේවල් ටිකක් වෙයි.

දසුනිත් අනුකි වගේමද?

මම ඇත්තටම චුට්ටක් සැරයි. හැබැයි හැම වෙලාවෙම සැර නෑ. අනුකි තරම් සැර නෑ. අනුකිට පුදුම සැරක්නේ තියෙන්නේ. නාහෙට අහන්නේ නෑ කීකරු නෑ හරිම දඩබ්බර චරිතයක්නේ. දසුනි එහෙම නෑ. හැබැයි ටිකක් සැරයි.

හීන හැබෑ වේවි කියලා ජීවිතේටවත් හිතුවේ නෑ - දසුනි නවෝද්‍යා

ඇත්තටම දසුනි මොන වගේද?

මම හරිම නිදහසේ ජීවත් වෙන්න කැමැති හරිම සරල කෙනෙක්. හිතේ නිදහසේ ඉන්න හරි ආසයි මගේ පාඩුවේ ඉන්නත් කැමැතියි. කාගෙවත් දේවල් මම හොයන්න යන්නේ නෑ. කාටවත් කරදරයක් නැතිව මට මගේ පාඩුවේ ජීවත්වෙන්න තිබුණා නම් ඒ හොඳටම ඇති.

අනුකිව හම්බ නොවුණා නම් දසුනි මොනවා කරාවිද?

මම කොහොමත් කලා ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතු තමයි කරන්නේ. මම නිවේදිකාවක් විදිහට තමයි වැඩ කටයුතු කරමින් හිටියේ. බොහොම මෑත කාලයක තමයි රඟපාන්න ගත්තේ. මීට කලින් මම නාට්‍ය දෙකක විතරයි රඟපාලා තියෙන්නේ. ඒක දැකලනේ අනුකිට කථා කළෙත් දැන් ඉතිං නිවේදනය සහ රංගනය කියන දෙකම කරගෙන ඉඳීවි.

ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩා එහෙම කරලා තියෙනවාද?

නැහැ. මම හරිම අඩුවෙන් තමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. මේ චරිතය හින්දා මට සෑහෙන දුවන දර්ශන තියෙනවානේ. කමෙන්ට් වලත් තියෙනවා අනුකිගේ වැඩේම දුවනවා කියලා. 10 වසරේදී නෙට්බෝල් ගැහැව්වා එච්චරම තමයි.

ඔබේ පවුලේ විස්තර එහෙම?

අම්මයි තාත්තයි මමයි විතරයි ඉන්නේ. මම පවුලේ එකම දරුවා.

රඟපෑමට ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?

අම්මට වැඩිය තාත්තා තමයි ගොඩක් විරුද්ධ වුණේ. මොකද මම අවුරුදු කුමාරියක් වෙලා තමයි ක්‍ෂේත්‍රයට එන්නේ. මම අවුරුදු කුමාරිය තරගයට යන දවසේවත් තාත්තා මට යන්න දුන්නේ නෑ. අඬල අඬල තමයි ඒකට ගියෙත්. මේවට එනවටත් කැමැත්තක් තිබුණේ නෑ. අම්මා හැමවෙලාවේම මගේ පිටුපසින් ඉන්නවා. තාත්තා දැන් මම ටීවී එකේ ඉන්නවා බලන්න හරි ආසයි.

අනුකි නිසා තවත් අවස්ථා ලැබුණද?

ඔව් ඔව් සෑහෙන හම්බවුණා. මගේ තවත් අලුත්ම ටෙලි නාට්‍යයක් මේ දවස්වල පටන් ගත්තා.

ඒ මොකක්ද?

අසංක සායක්කාර මහත්මයාගේ ‘උඩ තට්ටුව’ කියන ටෙලි නාට්‍ය පටන් ගත්තා. මම එහි රඟපාන්නේ ඩිස්නිගේ චරිතය. ඩිස්නි කියන්නේ අලුතෙන් විවාහ වුණ දෙපළකගේ බිරිඳගේ චරිතය තමයි මම රඟපාන්නේ. මම ජගත් චමිල, හිමාලි සුයරංගි වැනි ප්‍රවීණයන් සමඟ තමයි මට වැඩකරන්න හම්බවුණේ.

අනුකිට වඩා ඩිස්නි හරි වෙනස්?

අනිවාර්යයෙන්ම. ඩිස්නි හරි වෙනස්. ඒකෙත් තරහා යන දර්ශන තියෙනවා. හැබැයි ඒ තරහා යෑම අනුකිගේ තරහ යෑමට වඩා හාත්පසින්ම වෙනස්.

සිනමාවට එහෙම ආරාධනා ලැබුණද?

සිනමා නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබුණ ඒකෙන් මම එකක් භාරගත්තා. එහි රූගත කිරීම් එළැඹෙන පෙබරවාරි මාසයේ ආරම්භ කරනවා.

මේකත් පුංචි කාලෙ දැකපු හීනයක්ද?

අනිවාර්යයෙන්ම. මේකත් මගේ පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක්. මට හීන තුනක් තිබුණා. අවුරුදු කුමාරියක් වෙන්න. නිවේදිකාවක් වෙන්න සහ රංගන ශිල්පිනියක් වෙන්න තමයි හීන මැව්වේ. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ ඒ හීන සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා. ජීවිතේටවත් හිතුවේ නෑ.

මගේ හීන සැබෑවේවි කියලා. මොකද ගෙදරින් අකමැති හින්ද ඒ පැත්තට යන්නම මට අවස්ථාවක් තිබුණේ නෑ. ඇත්තටම හරි සතුටුයි. පිට ඉඳන් බලන අය කලා ක්‍ෂේත්‍රය ගැන විවිධ කතා කියනවා. හැබැයි කලා ක්‍ෂේත්‍රය කියන්නේ හරිම නිදහසේ හරිම විනෝදයෙන් තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන් තැනක්.

මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?

මම ගැන සහ මගේ ගමන ගැන මට හරි තෘප්තිමත්. ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ක්‍ෂේත්‍රයට ඇවිල්ල තවම අවුරුදු දෙකයි වෙන්නේ. නිවේදිකාවක් රංගන ශිල්පිනියක් විදිහට මම ගොඩක් දේවල් දැනටමත් ලබාගෙන ඉවරයි.

දැන් නිවේදනයෙන් ඈත්වෙලාද?

නැහැ. නැහැ. දැන් නිවේදනයෙන් ඈත්වෙලා නෑ. නිවේදනයයි රංගනයයි දෙකම සමබරව කරගෙන යනවා. මට නිවේදනයෙන් ඈත් වෙන්න බෑ. මාව හැදුවේ අයිටීඑන් එක. මම දැනටත් අයිටීඑන් එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment