ආර්ථික පසුබෑම සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය

255

ආර්ථික පසුබෑම

මෙය අපේ රටේ ආර්ථික වශයෙන් මෙතෙක් අප ගමන් කරමින් සිටින දරුණුතම පරිහානි කාලයක් ලෙස සඳහන් කළ හැකි වේ. මේ අනුව ගිය වර්ෂයේ සියයට 8 ක පමණ ආර්ථික පසුබෑමක් වාර්තා වූ බව අපේක්ෂා කෙරේ. එම අගය පිළිබඳව නිශ්චිතව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ඉදිරි කාලයේ දී ප්‍රකාශයට පත් කරනු ඇත. එසේම මේ වසරේ (2023) වාර්තා කරනු ඇත්තේ ද ඍණ ආර්ථික වර්ධනයකි. එහෙත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ තවමත් මේ වසරේ (2023) ආර්ථික වර්ධන අගය ගැන මහ බැංකුව පුරෝකථනයක් කර නැති බවයි. කෙසේ වෙතත් එම අගය නිල නොවන මට්ටමින් සියයට 3.5 ත් සියයට 4 ත් අතර අගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස මේ වසරේ ද ආර්ථික පසුබෑමෙන් පසු අපගේ ආර්ථිකයේ වර්ධනයක් සිදුවනු ඇත්තේ ලබන වසරේ (2024) සිටය. මේ වන විට සියයට 70 ක් පමණ දක්වා ඉහළ ගිය උද්ධමනය ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. එහෙත් තවමත් උද්ධමන අගයන් තිබෙන්නේ ඉහළ මට්ටම්වලය. මේ වර්ෂය (2023) පුරා ද සාමාන්‍ය වශයෙන් ගත් විට ඉහළ උද්ධමනයකට මුහුණ දීමට අපට සිදුවනු ඇත. මේ නිසා අධික බඩු මිලේ ප්‍රශ්නයට, ජීවන වියදමේ ප්‍රශ්නයට දිගටම මේ වසර පුරා ද මුහුණ දීමට සිදුවනු ඇත. ආර්ථිකමය වශයෙන් පරිහානි කාලයක් නිසා ආර්ථික ක්‍රියාකාරකම් ද පසුබෑමට ලක්වෙන බැවින් ජනයාගේ ආදායම් මට්ටම්වල වර්ධනයක් ද අපේක්ෂා කළ නොහැකිය. මේ පසුබිම තුළ ගිය වසර (2022) මෙන්ම මේ වසර (2023) ද ජනයාට ඉතා දුෂ්කර සහ පීඩාකාරී වසරක් වනු ඇතැයි සිතිය හැකිය.

නිදහස් සමරුවේ වියදම්

විදේශ විනිමය අර්බුදයට අමතරව අප දැඩි රාජ්‍ය මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටිමු. එනම් අපට අත්‍යවශ්‍ය රජයේ වියදම් දැරීමට පවා ප්‍රමාණවත් මුදල් නැත. රජය වියදම් සීමා කරමින් දැඩි මූල්‍ය කළමනාකරණයකින් ගෙන යෑමට සිදුව ඇත. මේ පසුබිම තුළ 75 වන නිදහස් සමරුවට විශාල මුදල් වැය කිරීම ගැන ද විවේචන ඉදිරිපත්ව තිබේ. රජය පැත්තෙන් ඇසෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පවා ප්‍රමාණවත් මුදල් නැති බවකි. එසේ නම් මෙවර 75 වන නිදහස් සමරුවට විශාල මුදලක් වැය නොකර එය චාම් ලෙස පැවැත්විය හැකිව තිබිණි. මේ වන විට නිදහස් දින උළෙල පවත්වා අවසන්ය. ඒ සඳහා රු.කෝටි 39 කට අධික වියදමක් රජය දරා ඇති බව වාර්තා වී තිබේ. මෙය විශාල මුදලකි. පෙරේදා (07) ‘දිවයින’ මුල් පිටුවේ සඳහන් නිදහසේ ‘වියදම කප් ගසයි’ මැයෙන් පළව තිබූ පුවතේ මේ ගැන විස්තර සඳහන්ය. එහි සඳහන් පරිදි 2022 වසරේ නිදහස් දින සමරු උළෙලට වියදම් වී ඇත්තේ රු.කෝටි නවය හමාරක පමණ මුදලකි. මේ තොරතුරුවලට අනුව මෙවර නිදහස් සමරුවට දරන ලද වියදම ගිය වසර (2022) ටත් වඩා බොහෝ අධිකය. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ජංගම වැසිකිළි සඳහා පමණක් දරා තිබූ වියදම රු. 1,4258850 ක් වී ඇත. තවත් වියදම් විස්තරයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයකින් යුත් ලේඛනයක සඳහන් ව තිබිණි. මේ වූ කලී අප ගමන් කරමින් සිටින අති දුෂ්කර කාලයට සාපේක්ෂව විශාල වියදමකි. ජනසමාජයේ මිනිසුන්ගේ අදහස් ගත්ත ද මේ ආකාරයෙන් නිදහස් උළෙලක් පැවැත්වීම ගැන බොහෝ දෙනෙක්ගේ ප්‍රසාදයක් නොමැති බව පෙනේ. ඇතැම් අය පවසන්නේ ඒ වියදම වෙනත් කටයුත්තකට යෙදීමට කටයුතු කළා නම් වඩාත් හොඳ බවයි. නිදහස් සැමරුම කළ යුතු වුවත් එය මීට වඩා චාම් හා සරල ලෙස පැවැත්වූවා නම් එය වඩාත් හොඳ බව බොහෝ දෙනෙක්ගේ අදහස වී ඇත. එසේ කළා නම් එය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට විශාල ගෞරවයක් ද වනු ඇත. මේ ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ දී අප සියලු දෙනාටම අඩුවැඩි වශයෙන් විශාල කැප කිරීම් කිරීමට සිදු වේ. එහිදී රජය පැත්තෙන් ජනාධිපතිවරයාගේ සිටම උපරිම ආදර්ශ ලබා දිය යුතු වේ.

බදු ප්‍රතිපත්තියට විරෝධය

රජයේ බදු ප්‍රතිසංස්කරණවලට බොහෝ පාර්ශ්වයන්ගේ විරෝධය පළ වෙමින් තිබේ. මෙය වඩාත්ම මතුව ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන්ගේ උපයන විට ගෙවීම් බද්ද මුල්‍යමය නොවන නොයෙකුත් දීමනා සඳහා ද අය කිරීම සමබන්ධයෙනි. ඊයේ (08) මේ සම්බන්ධයෙන් දැවැන්ත විරෝධතා සහ එක්දින වෘත්තීය ක්‍රියාමාර්ග ද පැවැත්විණි. රජයට බදු මුදල් අවශ්‍ය බවට තර්කයක් නැත. බදු ආදායම පසුගිය කාලයේ හොඳටම අඩු වී ඇති නිසා බදු ආදායම් වර්ධනය කරගත යුතු බව කව්රුත් පිළිගන්නා දෙයකි. මේ නිසා විරෝධතා දක්වන නිලධාරීන් සහ වෘත්තීය සමිති මේ බොහෝ දෙනෙක් කියා සිටින්නේ රජයේ බදු යෝජනා හකුලා ගන්නා ලෙස නොව එය කිසියම් සාධාරණ සංශෝධනයකට ලක් විය යුතුව ඇති බවයි. එම ඉල්ලීම අසාධාරණ යැයි අපට ද කිව හැකි නොවේ. මේ අනුව රජය ද මේ කාරණයට සවන් දී කිසියම් බදු සංශෝධනයක් කිරීමට ඉඩ තිබේ. ඒ පිළිබඳ ඉඟි දැනටමත් පළ වී තිබේ.මේ අතර ජනාධිපතිවරයා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ පැවැත්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියා සිටියේ උපයනවිට ගෙවීමේ බද්ධ අහෝසි කළහොත් රටට රු. බිලියන 100ක් ද බදු අයකරන සීමාව රු. ලක්‍ෂ 2ක දක්වා වැඩි කළහොත් රටට තවත් රු. බිලියන 63ක් ද අහිමිවන බවයි.

රාජ්‍ය ආදායමේ වර්ධනය

මේ අතර පසුගිය බදු වැඩි කිරීම්වල ප්‍රතිපල ලැබෙමින් රාජ්‍ය බදු ආදායම් වර්ධනය වෙමින් ද තිබේ. මේ අනුව රාජ්‍ය ආදායම ඉදිරි කාලය තුළ තවත් වර්ධනය වනු ඇතැයි අපට සිතිය හැකිය. ගිය වසර (2022) ගත්තත් එය අපට දැකගත හැකිය. එනම් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ 2022 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ රජයේ ආදායම (ප්‍රදාන හැර) රු. බිලියන 1,806.7 ක් දක්වා වර්ධනය වී ඇති බවයි. මෙය 2021 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ රු. බිලියන 1,322.0 ක් වූ රාජ්‍ය ආදායමට වඩා සියයට 36 ක වැඩිවීමක් වේ. මේ අතරම 2022 නොවැම්බර් මාසයේ දී රාජ්‍ය ආදායම රු. බිලියන 220.7 ක් වේ. 2022 ඔක්තෝබර් මාසයේ දී එය සටහන්ව තිබුණේ රු. බිලියන 138 ක් ලෙසිනි. මේ අනුව 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ රාජ්‍ය ආදායම සියයට 60 කින් වර්ධනය වී ඇත. රජයේ බදු ආදායම ඉහළ යෑම, රජයේ මුළු ආදායම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ බදු ආදායම රු. බිලියන 120.3 ක් වූ අතර එය 2022 නොවැම්බර් මාසයේ දී රු. බිලියන 205.1 ක් දක්වා සියයට 70 කින් වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබුණි.

ආර්ථික අර්බුදය සහ කර්මාන්ත

අපේ මෙන්ම ලෝකයේ ද ආර්ථික අර්බුදයක් තිබේ. මේ ලොව පුරා පවතින ආර්ථික අර්බුදය මෙරට නිෂ්පාදන හා අපනයන කර්මාන්තයන්ට ද දැඩි බලපෑමක් ඇති කරයි. එහෙත් පවතින තත්ත්වය හමුවේ මෙම කර්මාන්ත රැක ගැනීම සඳහා අවශ්‍ය සියලු මැදිහත්වීම් තම අමාත්‍යාංශය මැදිහත් වීම මත ක්‍රියාත්මක කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මහනුවර පල්ලෙකැලේ පිහිටි අපනයන සැකසුම් කලාපයේ පැවති ආයෝජක හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම ආයෝජන කලාපයේ කර්මාන්ත 24ක් ක්‍රියාත්මකව පවතී. ඒ තුළින් 10ල000කට අධික පිරිසකට රැකියා සපයා දී ඇත. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පවසා තිබේ.

‘මෙම ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට කෙටි මධ්‍යම හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරමින් පවතිනවා. රාජ්‍ය ආයතන සතු නීතිරීති අණපනත් හා රෙගුලාසි පවතින අර්බුද හමුවේ වෙනස් විය යුතුයි. මෙය සැබැවින්ම සාමාන්‍ය තත්ත්වයක් නොවන බැවින් නීති හා අණ පනත් ඔවුන්ගේ රාමුවලින් බැහැරව ක්‍රියා කළ යුතු වෙනවා. රට තුළට සත්‍ය වශයෙන්ම විදේශ විනිමය ලැබෙන ආයෝජන සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සෘජු විදේශ ආයෝජන ලබා ගැනීම සහ අපනයන ආදායම ඉහළ නැංවීමට ද කටයුතු කරනවා මෙන්ම, විදේශ විනිමය වැය කරමින් මෙරටට ආනයනය කරන නිෂ්පාදන මෙරට දී නිෂ්පාදනය කිරීමට වැඩි අවධානය යොමු කරවන බව පැවසුවාය. පල්ලේකැලේ අපනයන සැකසුම් කලාපයේ දැනට ක්‍රියාත්මක ඖෂධ නිෂ්පාදන ආයතනය මගින් මෙරට සේලයින් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් මේ වන විටත් සපුරන බවත්, ඒ වෙනුවෙන් මෙතෙක් වියදම් කළ රුපියල් බිලියන1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ඇය පැවසුවාය.

මෙහිදි ආයෝජකයන් වෙතින් ඉදිරිපත් වූ ගැටලු සියල්ල පිළිබඳව අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍යවරයා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත නිරාකරණය කර ගත හැකි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දුනි. අනෙකුත් ගැටලු සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කොට කඩිනමින් විසඳුම් ලබා දීමට තම අමාත්‍යාංශ මැදිහත් වී කටයුතු කරන බව ද ඇමැතිවරයා දැනුම් දී ඇත. මේ ආකාරයෙන් කඩිනමින් ආයෝජකයන්ගේ ප්‍රශ්න ඔවුන් අපහසුවට, කරදරයට පත් නොකර විසඳා දිය හැකි නම් එය ඉතාම වටිනා සේවයකි.

විදේශ විනිමය වැය කරමින් මෙරටට ආනයනය කරන නිෂ්පාදන මෙරට දී නිෂ්පාදනය කිරීම අප රට බරපතල විනිමය අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ ඉතාමත් හොඳ පණිවිඩයකි. පල්ලේකැලේ අපනයන සැකසුම් කලාපයේ ආයෝජන මගින් මෙසේ රටේ අපනයන ආදායම් වර්ධනය කරගන්නා අතර ඖෂධ වැනි දේ දේශීයව නිපදවීම හරහා විදේශ විනිමය වැය වීම සීමා කර ගැනීම ද මේ මොහොතේ රටට අවශ්‍යම දෙයකි. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු පිරිස පල්ලේකැලේ අපනයන සැකසුම් කලාපය තුළ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී ඖෂධ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය ද ඔහුගේ නිරීක්ෂණයට ලක් විය.

පැරිස් සමාජයෙන් සුබ පණිවිඩයක්

මේ වන විට අප වඩාත්ම බලා සිටින කරුණක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම අපට ලැබෙන්නේ කවදාද යන්නයි. ඒ ගැන තවමත් නිශ්චිත දිනයක් සඳහන් කිරීමට අපහසු නමුත් පෙරේදා වන විට පැරිස් සමාජයෙන් අපට සුබ පණිවිඩයක් ලැබී තිබේ. මේ අනුව පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටින මූල්‍ය සහතිකය ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අදාළ මූල්‍ය සහතිකය අත්‍යවශ්‍ය වේ.

මේ අනුව පැරිස් සමාජයේ සාමාජිකයින් 2023 ජනවාරි 25 වන දින හංගේරියාව, සෞදි අරාබිය, අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල සහ ඉන්දියාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් ඉදිරියේ අප වෙත මූල්‍ය සහතික ලබා දීම සඳහා රැස්වීමක් පවත්වා තිබේ. රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසන, ශ්‍රී ලංකාව සඳහා අපේක්ෂා කරන මූල්‍ය අරමුදලේ වැඩසටහනට අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතියට සහාය වීම සඳහා මෙම මූල්‍ය සහතික වීම පැරිස් සමාජයෙන් ලබා දී ඇත. මේ නිසා මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සඳහා වන තවත් තීරණාත්මක කඩඉමක් අප පසු කර තිබේ.

චීනයේ මූල්‍ය සහතික වීම

ඉන්දියාව ද මෑතදී ඔවුන්ගෙන් අප ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුල්‍යකරණ සහතික වීම් ලබා දුන් අතර එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පිළිගෙන තිබේ. මීළඟට ප්‍රශ්නය තිබෙන්නේ චීනය සම්බන්ධයෙනි. චීනයේ ආනයන සහ අපනයන බැංකුව හෙවත් චීන එක්සිම් බැංකුව ද වසර දෙකක ණය සහනයක් ලබාදෙන බවට වන ලිපියක් අපට ලබා දී ඇත. එහෙත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි මට්ටමේ ප්‍රමාණවත් ණය සහනයක් එනම් මුල්‍යකරණ සහතික වීමක් නොවන බවට අදහස් ඉදිරිපත්ව ඇත. ඒ නිසා දැන් තීරණාත්මක සාධකය වන්නේ චීනයේ මූල්‍ය සහතිකය ලබා ගැනීමයි. ඒ සඳහා ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා කර එකඟතාවකට එළඹීමට සිදුවනු ඇත. එය කඩිනමින් ලබාගැනීමට අප සමත් වුවහොත් අප අපේක්ෂා කරන පරිදි මේ වසරේ (2023) පළමු කාර්තුවට පෙර (මාර්තු මාසයට පෙර) අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභා අනුමැතිය ලබාගත හැකිවනු ඇත. අපගේ ණය සම්බන්ධයෙන් චීනය ප්‍රමාණවත් පරිදි මුල්‍යකරණ සහතික වීමක් අප වෙත ලබා දීම මත එය රඳා පවතිනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment