එල්ලෙනවද, වහ බොනවද?

856

කළමනාකරණය කරගත නොහැකි යැයි සිතන ප්‍රශ්නයකට මුදලින් හෝ වෙනත් ද්‍රව්‍යමය මාධ්‍යයකින් වන්දියක් ගෙවනවාට වඩා සිය දිවි නසා ගැනීමෙන් ප්‍රශ්නය කෙළවර කරගැනීම ඉතා ලෙහෙසි බව මනුෂ්‍ය ශිෂ්ටාචාරය විසින් අපට පෙන්වා දෙනු ලැබ ඇත. මිනිස්සු සිය කැමැත්තෙන් දිවි නසා ගනිති. නොඑසේ නම් වෙන කෙනකුගේ පෙලඹවීම මත සිය දිවි නසා ගනිති. මුදල් ප්‍රශ්නයක් හෝ ලව් කේස් එකක් හෝ පත්තු වූ විට වස බෝතලයක් බීමෙන්, ගෙල වැලලා ගැනීමෙන්, කෝච්චියට පැනීමෙන්, සිරුරට ගිනි තබා ගැනීමෙන් හෝ ගඟේ මුහුදේ පැනීමෙන් දිවි තොර කරගැනීම මිනිසුන් සලකන්නේ ඉතා පහසු සහ ඉතා මෘදු ක්‍රියාවලියක් ලෙසය. එහෙත් සිය දිවි නසාගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරන කෙනකු මරණාසන්න මොහොතේදී තමන් ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පසුතැවිලි වන බව සොයාගෙන ඇත. සිය දිවි නසා ගැනීමට තැත්කිරීම පිළිබඳ සිද්ධි අධ්‍යයන රැසක් අන්තර්ජාලයෙහි තිබේ.

මේ සිද්ධි අධ්‍යයන තුළ ඇත්තේ සිය දිවි නසාගැනීමට තැත්කර අවසන් මොහොතේදී ජීවිතේ බේරුණු අය සමග කළ සාකච්ඡා ය. අන්තිම මොහොතේදී තේරෙන හැම එකෙක්ම වස පානය කිරීමෙන් පසු බඩේ හටගත් මාරාන්තික දැවිල්ල ගැන මතක් කර වෙව්ලන්නට පටන් ගනී. ඇසිඩ් පානය කළ එකා කියන්නේ පත්තු කළ හුළු අත්තක් ගිල්ලාක් හා සමාන බවය. ගෙල වැලලා ගත් තැනැත්තා කියන හැටියට ලණුවට ගෙල තදවුණු සැණින් තමා කළේ මොනතරම් මෝඩ වැඩක්ද යන්න සිත්වූ බවය. ඔහු ඒ සමගම සොයන්නේ කඹයට ගෙල දමා ගැනීම සඳහා උඩට නැගීමට උපකාරී වූ මේසය හෝ පුටුව යළි සොයාගෙන එයට පය ගසා ජීවිතය බේරා ගැනීමට ය. අප දන්නා ඉතිහාසයේ දිවි නසා ගැනීමේ ක්‍රියාවලියකදී එහි පීඩනය දරා ගනිමින් අවසාන මොහොත තෙක් ගහක් ගලක් මෙන් නොසැලී සිටියේ ක්වාන්ඩක් නමැති මහායාන භික්ෂුන් වහන්සේ පමණි. දකුණු වියට්නාමයේ වැඩ වාසය කළ උන්වහන්සේ එකල සිටි ඩීන් ඩියම් නමැති දුෂ්ට පාලකයාගේ ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා 1963 ජූනි 11 දා රටේ අගනුවරට පැමිණ මුළු ඇඟ පුරාම පෙට්‍රල් වත්කරගෙන මහ පාර මැද පද්මාසනයෙන් හිඳ සිරුරට ගිනි තබා ගත්තේය. සම්පූර්ණයෙන්ම සිරුර දැවී අළුවන තුරුම උන්වහන්සේගේ පද්මාසන ඉරියව්ව වෙනස් වුණේ නැත. ප්‍රාතිහාර්යයකට මෙන් ක්වාන්ඩක් හාමුදුරුවන්ගේ හදවත අවපැහැ ගැන්වුණු නමුදු මස් ගුලියක් මෙන් නොදැවී ඉතිරි විය. එය අදටත් කරඬුවක බහා වන්දනාමාන කරනු ලැබේ. සිය දිවි නසා ගැනීම නමැති භාරදූර කටයුත්ත සඳහා ක්වාන්ඩක් හිමියන් සතුව තිබූ ආත්ම ධෛර්යය අපට නැත. එබැවින් අපේ එකෙක් ඇඟට ගිනි තබා ගත් සැණින් හනුමා ඉන්දියාවට දුවනවාක් මෙන් රට පුරා දුවන්නට පටන් ගනී. එබැවින් ආත්ම ශක්තියෙන් හීන කිසිම මාර්ග ඵලයක් ලබා නැති දුර්වලයන් සිය දිවි නසා ගැනීම වැනි ගොන් වැඩ නොකළ යුතුය. ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩිම ප්‍රතිශතයක් තිබෙන රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ යුතුව තිබේ. සාමාන්‍යයෙන් මේ රටේ වාර්ෂික සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය 47% කි. ඉතාම නන්නත්තාර රටක් වූ සෝමාලියාවේ පවා මෙවැනි සිය දිවි නසාගැනීම් ප්‍රතිශතයක් නැත.

ලෝලුවාගොඩ තලහේනේ පදිංචිව සිටි දෙදරු මාතාවක් හතර වටේටම ණය වී ඒවා ගෙවාගත නොහැකිව තමාත් වස බී සිය පස් හැවිරිදි පුතාටත් නව හැවිරිදි දියණියටත් වස පෙව්වා ය. මෙහිදී මවත් දියණියත් මරණයෙන් බේරුණු නමුදු පුතා මළේය. මව සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ ක්‍රියාවලියේදී සිය පවුල වශයෙන් තෝරාගෙන තිබුණේ තමාත්, දුවත්, පුතාත් ය. සිය සැමියා මේ කුලකයට අයිති බවක් ඇය නොසිතූ බව පෙනේ. එසේම දරුවන් දෙදෙනාට වස දුන්නාට සැමියාට වස දෙන්නට ගියොත් විශාල ඇබැද්දියක් හටගැනීමට ඉඩ ඇති බව ඇය කල්පනා කරන්නට ඇති. මව නැති කාලෙට මේ දරුවන්ට යන කල දසාව මොකක් වේවිද යන සාම්ප්‍රදායික සිංහල සංස්කෘතික චින්තනයට අනුව දරුවන්ද සමග එකටම මිය යෑම ලෙහෙසි යැයි ඇය සිතන්නට ඇති.

මේ සියල්ල අපගේ උපකල්පනයන් ය. එසේම මෙම උපකල්පනයන් සාධනීය උපකල්පනයන් විය හැකිය. මෙහිදී අප කතා කර ඇත්තේ මවගේ පැත්තට ය. ශ්‍රී ලංකාවේ පවුල්වල මව සහ දරුවන් තනි කුලකයක් බවට පත්වීමත් පියා එම කුලකයෙන් පිටස්තරයකු ලෙස සිටීමත් බොහෝ අවස්ථාවල දැකිය හැකිය. දරුවන් සමග ගඟට, ළිඳට හෝ මුහුදට පැන්න මව්වරුන් ගැන ගිය අවුරුද්දේ අපි බොහෝ තොරතුරු ඇසුවෙමු. කෙනෙක් සිය දිවි නසාගන්නේ ගොන්කමට ය. එහෙත් අවසන් විග්‍රහයේදී සිය දිවි නසාගන්නා පුද්ගලයාගේ පැත්තෙන් ඔහුට හෝ ඇයට සාපේක්ෂව ඔහු හෝ ඇය විසින් කරනු ලැබ ඇත්තේ ඒ වෙලාවේදී කරන්නට තිබෙන එකම දේය. සිය දිවි නසා ගැනීම යනු මිනීමැරීම හා සමානම සමාජ ප්‍රශ්නයකි. එමගින් සිදුවන ලොකුම පාඩුව වන්නේ තමන්ගෙන් යැපෙන්නන් අනාථ භාවයට පත්වීමය. සමහරවිට සියදිවි නසාගැනීමක් මගින් ආධ්‍යාත්මික අහිමි වීමක් සිදුවන බව මුලදී කෙනෙක් හිතන්නට ඇති. එහෙත් වැඩේ අන්තිම හරිය බලන විට ආධ්‍යාත්මික පාඩුවකට වඩා භෞතික පාඩුවක් සිදුවෙයි.

සිය දිවි නසා ගැනීමට තැත් කළ එකා බේරා ගැනීමට ලොකු රෝහල් ගාස්තුවක් යයි. මේ රෝහල් ගාස්තුව වැය කෙරෙන්නේ ජනතාවගේ බදු මුදලෙනි. ආණ්ඩුව හෙට අනිද්දාට ඉන්කම් ටැක්ස් වැඩි කිරීමේ අපේක්ෂාවෙන් සිටී. එසේ වූවොත් සිය දිවි නසාගැනීමේ ක්‍රියාවලිය සඳහා වැය කෙරෙන බදු මුදල් තවත් වැඩිවී ඇති නිසා වැඩි වැඩියෙන් සිය දිවි නසා ගැනීමට ජනතාව කල්පනා නොකළ යුතුය. හොඳම දේ ජීවත්වීම මිස දිවි නසා ගැනීම නොවේ. හැබැයි අප කොපමණ බණ කිව්වත් සිය දිවි නසා ගැනීම යන ක්‍රියාවලිය නිර්මාණය කරනු ලබන්නේ යම් යම් කාරණා කෙරෙහි සමාජය මගින් දක්වනු ලබන විභවය මගින් බව ද අප සිත්හි තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment