ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කියමු

786

විදුලි බිල හා ජල බිල තුන් හතර ගුණයකින් වැඩිවී, වැඩි කලක් යන්නට මත්තෙන් නැවත විදුලි අර්බුදයක හා ජල අර්බුදයක බර ජනතාවගේ හිස මත කඩා වැටී ඇත. මේ ඊයේ පෙරේදා දෙවනවරටත් ජල ගාස්තු සියයට 50 කට වැඩි ගණනකින් වැඩිකර ඇත. එසේම, නුදුරු අනාගතයේම විදුලි කප්පාදුවකට රජය අර අඳින බව පෙනෙන්නට තිබේ. අමාත්‍ය කංචන විජේසේකරගේ කතා බහෙන්ද ඒ බව ඉඟි කෙරේ. මීට හේතුව රටට බලපා ඇති දැඩි නියං තත්ත්වයයි. මේ නිසා ජල සහ විදුලි කප්පාදුවක් ළඟ ළඟම එන බව අප සියල්ලෝම තේරුම් ගත යුතුව ඇත. ජල සම්පාදන මණ්ඩලය ජලය කපා නොදමනවා කිව්වත් ඇත්ත නම්, පවතින නියඟය තව තව උග්‍ර වුවහොත්, ජල සම්පාදන හා පිරිපහදු මධ්‍යස්ථානවලට පානීය ජලය ලබාගැනීමේ දැඩි ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙනිසා ජලය, විදුලිය දැන් සිටම අරපිරිමැස්මෙන් භාවිත කිරීම අප කාගේත් යුතුකම වන අතර, උඩවලවේ අර්බුදය මෙන් විදුලි හා කෘෂිකර්ම ඇමැතිවරු කා කොටා නොගෙන පවතින ජලය කළමනාකරණය කර ගැනීම රජයේ වගකීම ය.

සැබැවින්ම පවතින තත්ත්වයට හේතුව පවතින අයහපත් කාලගුණය බව අප කවුරුත් තේරුම් ගත යුතුය. නමුත් මේ කාලගුණ අනාවැකිය කලින් නොකී බවට කාලගුණ දෙපාර්තමේන්තුවට ද චෝදනා එල්ලවී ඇත. පවතින අයහපත් වියළි කාලගුණික තත්ත්වය අප රටට පමණක් බලපා ඇති එකක් නොවන බව ගෝලීය තත්ත්වය විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කාරණයකි. මෙවර දැඩි ගිනියම යුරෝපයට කළින්ම බලපෑවේය. මීට මාසයකට එක හමාරකට පෙර සිටම ඉතාලිය, ජර්මනිය, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපාකරය දැවෙන්නට වූ අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 42 ඉක්මවූ අවස්ථා ද වාර්තා විය. මෙහි ඊළඟ බලපෑම ධ්‍රැව ප්‍රදේශවල (ආර්ක්ටික් සහ ඇන්ටාර්ක්ටික්) හිම කඳු දියවී මුහුදු මට්ටම ඉහළ යෑමයි. එහි බලපෑම මුහුදු මට්ටම ඉහළ ගොස්, පහත් බිම් යටවීම හා ගංගා දිගේ කරදිය ඉහළට ගලා යෑමයි. ඒ මගින් ද නැවත පානීය ජල අර්බුදයක් නිර්මාණය වේ. නොහොත් ජල අර්බුදය උග්‍ර වේ.

ශාන්තිකර සාගරය රත්වීමෙන් උණුසුම් වාත දහරා ලෝකය පුරා සංසරණය වීම නොහොත් වසර කිහිපයකට වරක් සිදුවන “එල්නිනෝ” සංසිද්ධිය ලෝකයේ මේ දිනවල පවතින මෙම වියළි තත්ත්වයට හේතුව බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. එබැවින් සොබාදහමේ මේ රීතීන්ට යටත්ව අපගේ කටයුතු කරගෙන යෑමට සිදුව ඇත. එනිසා නියඟයක් ආ පමණින් ආණ්ඩුවටම බැණ අඬගැසීමෙන් ඵලක් නැත. ඒ සඳහා පෙර සූදානම අප කා තුළත් පුරුදු පුහුණු කර තිබිය යුතුය. එම පෙර පුහුණුව සඳහා කාලගුණයෙන් හෝ ආපදා කළමනාකරණයෙන් අපට සූදානමක් ලබානොදීම වෙනම කතාවකි. එසේ පෙර සූදානමක් රජයට තිබුණා නම් උඩවලව ව්‍යාපාරයේ ගොවීන් කුලප්පු වන්නට කළින් යහපත් ලෙස එම අර්බුදය කළමනාකරණය කරන්නට රජයට හැකිව තිබිණි. නමුත්, කෘෂිකර්ම ඇමැති එක පැත්තක, විදුලි බල ඇමැති එක පැත්තක, වාරිමාර්ග ඇමැති එක පැත්තක යන සාමූහික නොවන ගමනක් තවම යන ආණ්ඩු ක්‍රමවේදයක රට පවතින බව අපට ඉතා හොඳින් පැහැදිලිය.

රටේ ප්‍රධාන ගංගා 103 ක් හා වැව් 35,000 ක් තිබුණද මාස දෙකක් රටට වැසි නොවැටුණොත් ජලය නැති රටක් බවට රට මේ වන විට පත්වීම මහා අර්බුදයකි. එක ජලාශයක් පවතින ඊශ්‍රායලය හා මෙතරම් ගංගා, දිය කඳුරු, වැව්, පොකුණු ඇති රටක සෞභාග්‍යය ගැන අපට කියන්නට ඇත්තේ දුකම දුක හිතෙන කතාවකි. ඒ තරමටම මැති සබේ 225 ක නියෝජනය රටට හොඳටම කර ඇත.

මේ වන විට සහල්, එළවළු, බිත්තර, මස්, මාළු යනාදී අත්‍යවශ්‍ය ආහාර සියල්ලේම මිල ගණන් කොතරම් ඉහළ ද යන්න අපි සැවොම දන්නා කාරණයකි. මේ සියල්ලටම තාමත් දමන ගැලවිජ්ජාව ඩොලර් අර්බුදය ය. නමුත්, රට යම් තාක් දුරට යථා තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබීම හා එළවළු, මස්, මාළු ටික පවා පිටරටින් ගෙන එන්නට ක්‍රියාකිරීම ජලය, විදුලිය ඇතුළු රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකරන බවට කදිම සාධකයකි,

මේ වන විට බොහෝ ජනයා ජීවත්වීම සඳහා අපමණ දුකක් විඳිති. ඇතැමුන්ට රැකියා අහිමිව ඇත. බොහෝ කම්හල් සේවකයින්ගේ සේවා කාලය හාම්පුතුන් විසින් සීමා කර ඇත. ඇතැම් ප්‍රකට ගාමන්ට් ෆැක්ටරිවල පවා තම සේවකයින්ට මාසයකට වැඩ දෙන්නේ දින 15 ක පමණ කාලයකි. බොහෝ ආයතනවල වාර්ෂික පඩි වැඩිකිරීම්, පාරිතෝෂික දීමනා කිසිවක් ලබාදෙන්නේ නැත. රුපියල් ලක්ෂයක් – දෙකක් පඩි ගත් විධායක ශ්‍රේණිවල, බැංකු සේවකයින්ගේ වැනි අයගෙන් බදු කැපීම නිසා මාසෙකට දෙකකට ඔවුන් හෝටලයකට ගොස් ගත් ෆන් එක පවා නතරකිරීම නිසා රට පුරා දේශීය සංචාරකයින්ගෙන් යැපුණු හෝටල්, අවන්හල් පද්ධතිය ද නැට්ටටම කඩාවැටී ඇත. මෙනිසා ජනතාවගේ ජීවන මාර්ග ඇහිරී, ආදායම් මාර්ග සීමාවී හොඳටම පටි තදකරගන්නට සිදුවී දැන් මාස හත – අටක් ගෙවී ගොස් ඇත. එවන් විටෙක විටින් විට වැඩිවන විදුලි බිල්පත, ජල බිල්පත මහත් කොඩිවිනයක් බවට පත්වෙමින් තිබේ.

මේ සඳහා රජය තිරසාර විසඳුමකට යෑම අවශ්‍ය වන අතර, රටේ ජලය, වනාන්තර ඇතුළු රක්ෂිත ජල පෝෂක භූමි ප්‍රදේශ සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර අඩු නැතිව ගත යුතුය. නමුත් අපට දකින්නට ඇත්තේ ජල, විදුලි අර්බුද ඇතිවන්නේ නැති තාක්, රටේ ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා ඇහැට ඇඟිල්ලෙන් ඇනලා කිව්වත් ගණන් නොගන්නා බලධාරීන් ප්‍රශ්නයක් උග්‍රවූ විට පමණක් රෙදි උනාගෙන කෑමොර දෙන බවක් පමණි. මේ නිසා සැබෑ සිස්ටම් චේන්ජ් එකක් රටට අත්‍යවශ්‍ය ම ය.

advertistmentadvertistment
advertistmentadvertistment