නෝක්කාඩුවක් නොවිය යුතු කන්දකාඩුව

461

වැලිකන්දේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබනුයේ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහාය. නමුත් පසුගිය කාලයේදී වරින් වර මෙම මධ්‍යස්ථානයේ සිදුවූ සිදුවීම් දෙස බැලීමේදී එහි යම් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව නිරීක්‍ෂණය කළ හැකිය.

ඊට ආසන්නම සිදුවීම පසුගියේ 12 වැනිදා වාර්තා විය. කඳවුර තුළ රැඳවියන් ආහාර ගන්නා අවස්ථාවේදී දෙපිරිසක් අතර ගැටුමක් සිදු විය. එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 26 දෙනකු වැලිකන්ද සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබිණි. මෙම ගැටුමෙන් පසු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෝ 60 දෙනෙක් පළා ගියහ. මෙසේ පළාගිය රැඳවියන් අතරින් 15 දෙනකු පුලස්තිගම පොලිසිය විසින්ද, 26 දෙනකු වැලිකන්ද පොලිසිය මගින්ද තවත් රැඳවියන් 5 දෙනකු පොළොන්නරුව පොලිසිය මගින්ද අත්අඩංගුවට ගෙන තිබිණි. සැබෑ ලෙසම පුනරුත්ථාපන විය යුතු රැඳවියන් මෙලෙස කඳවුර හැර පළායන්නේ නම් එහි පවතින ගැටලුකාරී ස්වභාවයට අනිවාර්යයෙන්ම පිළිතුරු සොයා ගත යුතුව තිබේ.

මේ පිළිබඳව අදහසක් ලබා ගැනීමට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී ඇතිවූ ගැටුමේදී තුවාල ලබා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ අදහස් වැදගත්ය.

‘කඳවුරේ කෑම කන්න ගිය වෙලාවේදියි මෙම ගැටුම ඇති වුණේ. අපි ඉන්න කඳවුරේ පහේ, දහයේ යනාදී වශයෙන් කියා ගනිමින් කල්ලි බෙදිලා ඉන්නවා. ඔවුන් නිතරම අපට පහර දෙනවා. පොලු මුගුරුවලින් පවා අපට ගැහැව්වා. අපිට ආපහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යන්න බැහැ. කඳවුරුට ගියොත් ඔවුන් අපිව මරණවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉන්න සර්ලා අපට පොල් වළවල් කපන්න කියනවා. ගොවි පළේ වැඩ කරන්න කියනවා. වැඩ නොකළොත් ගහනවා. මේ දුක විඳින්න තියෙන්නේ තව මාස දෙක තුනක්. ඒ ටික කාලය අපට බන්ධනාගාරයේ ඉන්න එක හොඳයි. අපිව උසාවියට දාන්න උදව් කරන්න. අපට මේ ටික කාලයත් බන්ධනාගාරයේ ඉඳලා ගෙදර යන්න පුළුවන්’

බන්ධනාගාරයෙන් යම් රැඳවියකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඉදිරිපත් කරනුයේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඔහුව පුනරුත්ථාපනය කර ඔහුට අලුත් ජීවිතයක් ලබාදීම සඳහාය. එහෙත් අප ඉහතින් ඉදිරිපත් කළ රැඳවියන්ගේ පාපොච්චාරණය අනුව පෙනී යන්නේ එහි තුළ එවැන්නක් සිදු නොවන බවකි. පුනරුත්ථාපනයට ඉදිරිපත් කරන රැඳවියකුට ඔවුනගේ සැබෑ ජීවන රටාවට යළි හුරුවීම සඳහා ඒ තුළ සැබෑ මානුෂීය වැඩපිළිවෙළක් තිබිය යුතුය. මත්ද්‍රව්‍යවලට යොමුවීමෙන් හෝ වෙනත් අපරාධ ක්‍රියාවනට සම්බන්ධ වූවකු ඉන් මුදා ගැනීම සඳහා ක්‍රියා කිරීමේදී එහි සේවය කරන නිලධාරීන් ඔවුනට මව්පියන් සේ සැලකිය යුතුය. ඔවුන්ව මුදාගන්නා මානවහිතවාදීන් ලෙස ක්‍රියා කළ යුතුය. වැරදි කළ අයකු ඉන් මුදා ගැනීම සඳහා ඔවුන් කළ වැරැද්ද සංවේදී අයුරින් ඔවුනට පහදා දීම නිලධාරීන්ගේ යුතුකම විය යුතුය. රැඳවියන්ට මිත්‍රශීලී දෑත් දිගු වන්නේ නම් මෙවැනි කඳවුරු වහල් කඳවුරු සේ ඔවුනට නොදෙනෙනු ඇත.

විශේෂයෙන් පුනරුත්ථාපනයට යොමුවන රැඳවියන් ආගම දහමට නැඹුරු කිරීමේ වැඩපිළිවෙළක් මෙවැනි කඳවුරු තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතුය. බෞද්ධයකු වේවා, කතෝලිකයකු වේවා, මුස්ලිම් බැතිමතකු වේවා, හින්දු ආගමිකයකු වේවා මේ කවර ආගමකට අයත් වුවත් ඔවුන්ට ඔවුනගේ ආගම දහම අනුව හික්මවීම සඳහා සුදුසු ආගමික පරිසරයක් කඳවුරු තුළ තිබිය යුතුය. වඳින්න කියන්න පමණක් නොව ධර්මයෙන් ඔවුනගේ ජීවිත සුවපත් කිරීම සඳහා සුදුසු ආගමික නායකයන් ගෙන්වා ධර්මානුකූල ජීවිතයකට ඔවුන්ව හුරු කිරීමට පියවර ගත යුතුය. මතට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ ඖෂධ දෙන අතරේ ඔවුනගේ මනස සුවපත් කිරීම සඳහා ආගම දහම අතිශය වැදගත්වනු ඇත.

කල්ලිවාදය යනු අතිශය බරපතළ හානි, උවදුරු ගෙන දෙන අවස්ථාවකි. කල්ලියක ස්වභාවය වනුයේ තමන්ගේ මතය පමණක් තහවුරු කිරීමයි. තමන්ගේ මතයට එකඟ නොවන අය මානසිකව ඇද වැට්ටවීම මේ අයගේ ස්වභාවයයි. මානසිකව ඇද වැට්ටවිය නොහැකි නම් ශාරීරික වධ හිංසා පමණුවා හෝ තමන්ගේ මතයට අනුන් යටකර ගැනීමට තරම් මෙවැනි කල්ලිකාරයෝ, දුෂ්ටයෝ වෙති. එනිසා කල්ලි කණ්ඩායම් නිර්මාණය වීමට පුනරුත්ථාපන කඳවුරු තුළ පමණක් නොව සමාජයේ අන්කවර තැනක වුවද සිදු නොවිය යුත්තකි. කල්ලි තුළින් සිදුවන්නේ විපතක් පමණි. විශේෂයෙන් පුනරුත්ථාපන කඳවුරු තුළ මෙවැනි කල්ලි නිර්මාණය වීමෙන් සිදුවිය හැකි හානිය අතිමහත්ය. ඒ සඳහා ඉඩ නොතැබීම පුනරුත්ථාපන බලධාරීන්ගේ වගකීමකි.

මෙහිදී අවධානයට යොමුවිය යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් පුනරුත්ථාපනය වන රැඳවියා යළි සමාජගත වන මොහොතේදී ඔහුට ලබාදිය යුතු තැන පිළිබඳව විමසිලිමත්වීමයි. පුනරුත්ථාපනය වූ රැඳවියකු යළි සමාජයට පිවිසෙන අවස්ථාවේදී ඔහුට පහසුවෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අප සෑම දෙනාගේම වගකීමකි. ඔහුට රැකියාවක් නොමැතිනම් රැකියාවක් ලබාදීම නැතහොත් සුදුසු වෘත්තියකට යොමුකිරීම ද පුනරුත්ථාපනයට සමගාමීව සිදුවිය යුක්තකි. එසේම පුනරුත්ථාපනය වූ රැඳවියන් පිළිබඳව පසු අධීක්‍ෂණය ද අනිවාර්යයෙන්ම කළ යුතුය. ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම බලධාරීන්ගේ වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment