පාසල්, සරසවි ඇදුරු අර්බුදය

630

පවතින ආර්ථික අර්බුදය අප රටට හැම අතින්ම බැට දෙමින් සිටී. එහි අලුත්ම පුවත වාර්තා වනුයේ විශ්වවිද්‍යාල පද්ධතියෙනි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දෙන පරිදි සරසවි ඇදුරු පුටුවලින් භාගයක්ම හිස්ය. රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන් 12992ක් සිටිය යුතු වුවත් දැනට සිටිනුයේ 6548ක් පමණි. වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල සඳහා ආචාර්යවරුන් දහසක්වත් බඳවා නොගතහොත් සරසවි පද්ධතිය අඩාල වීමේ අවදානමක් පවතින බව සම්පත් අමරතුංග මහතා කියා සිටී.

මෙම කාරණය සැහැල්ලුවෙන් බැහැර කළ හැකි කාරණයක් නොවේ. විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටුණ හොත් එහි අනිටු ප්‍රතිවිපාක විඳීමට සිදුවන්නේ අපටමය. රටට අවශ්‍ය වෘත්තියවේදීහු බිහිකරන මහගෙදර හෙවත් සරසවි පද්ධතිය රැක ගැනීම සඳහා ප්‍රායෝගික සහ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය ය.

විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් සති දෙකක් ඇතුළත කාර්ය සාධක බළකායක් පත්කර ඒ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබේ.

මේ අතර රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව සඳහන් ය. කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ කළමනාකරණය සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ඇති නිසා එම කාර්ය මෙම විශ්වවිද්‍යාල වෙත භාරදුන් බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදය අධික ලෙස බදු පැනවීම මෙන්ම අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතභාවය නිසා විශ්වවිද්‍යාල ඇදුරන් රට හැර යෑමට ප්‍රධාන හේතුව බව පසුගිය දිනවල වාර්තා වූ සිද්ධීන් අනුව නිරීක්‍ෂණය කළ හැකිය. වරෙක විශ්වවිද්‍යාල ඇදුරන් උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීමෙන් පවා ඉවත්ව සිටියේ එහිම ප්‍රතිඵලයක් නිසාවෙනි. කවරක් නමුත් මෙම අර්බුදය විසඳීමේදී පාලක පක්‍ෂයට මෙන්ම විශ්වවිද්‍යාල ඇදුරන් යන දෙපාර්ශ්වයටම එකඟ විය හැකි සාධාරණ පදනමක් සකසා ගැනීම මෙහිදී අතිශය වැදගත්ය. දිගින් දිගටම විශ්වවිද්‍යාල ඇදුරන් රට හැර යන ප්‍රවණතාවක් මතුවුවහොත් ඉන් වැටී තිබෙන රට තවත් අසීරුතාවට පත්වෙන එක වැළැක්විය නොහැක.

විශ්වවිද්‍යාල ඇදුරන් පමණක් නොව මේ වනවිට සමහර පාසල් ගුරුවරුන් ද පාසල් හැර යෑමේ ප්‍රවණතාවයක් පැන නැගී තිබීම අතිශය කනගාටුදායකය. එය බරපතළ ඛේදවාචකයකි. ඉකුත් මාස නවය ඇතුළත වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සහ විදේශගත වී ඇති ගුරුවරුන්ගේ සංඛ්‍යාව 5000ක් පමණ වන බව සමස්ත ලංකා ගුරු සංගමය පවසයි. මෙසේ සේවයෙන් ඉවත් වී ඇති ගුරුවරු අතර ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය සහ තොරතුරු තාක්‍ෂණය අයත් ගුරුවරුන් ද සිටින බව එම සංගමය පවසයි. මෙම තත්ත්වය දුෂ්කර පාසල්වලට දැඩි බලපෑම් එල්ල කර ඇති බවද එම සංගමය කියා සිටී. මෙම වසර අගදී තවත් ගුරුවරු 5000ක් විශ්‍රාම යෑමට නියමිත අතර අලුතින් ඒ සඳහා ගුරුවරු බඳවා නොගතහොත් පාසල් පද්ධතියට ද එය අනිසි ලෙස බලපානු ඇතැයි සමස්ත ලංකා ගුරු සංගමය පවසයි. සමස්තයක් ලෙස රටේ ගුරුවරුන් 40,000ක් පමණ හිඟයක් පවතින මොහොතක දැනට සේවයේ සිටින එක් ගුරුවරයකු හෝ සේවයෙන් ඉවත්වීමේ අවදානමක් තිබේ නම් එයද බරපතළ ලෙස අවධානය යොමු කරන්නැයි අපි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

රටක පාසල් පද්ධතිය මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය යනු රටේ ඊළඟ දිශානතිය තීරණය කෙරෙන මූලික සාධකයන් ය. මෙම පද්ධතීන් කඩා වැටුණහොත් තවත් පරම්පරාවකදී හෝ දෙකකදී අප රටට ඉතිරිවනුයේ අමනෝඥයන් පිරිසක් පමණි. රටක් තැකීමක් නැති, රටට ආදරයක් නැති, දැනුමෙන් හා තාක්‍ෂණයෙන් සන්නද්ධ නොවූ පිරිසකට මේ රට ඉදිරියට ගෙනයා නොහැකි වනු ඇත. එනිසාම මෙම පද්ධතීන් දෙකේ පවතින අර්බුද නිසි ලෙස වටහාගෙන ඊට සැබෑ ප්‍රායෝගික විසඳුම් සෙවීමට තවත් ප්‍රමාද නොකළ යුතුය. ගුරුවරුන්ට, සරසවි ඇදුරන්ට, වෛද්‍ය වරුන්ට පමණක් නොව අනෙකුත් වෘත්තියවේදීන්ට ද විශ්වාසයෙන් වාසය කළ හැකි ඉන්න හිතෙන රටක් නිර්මාණය කිරීම අදාළ බලධාරීන්ගේ පරම වගකීම බව අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment