වෙසක් පහන – ජී. බී. සේනානායක

1601

උසස් පෙළට සිංහල -8

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වයි. ඊට අමතරව ඔහු කවියකු, විචාරකයකු ලෙසද කටයුතු කරයි.

උසස් පෙළට නියමිත කෙටි කතා අතර ජී- බී- සේනානායක ගේ වෙසක් පහන කෙටි කතාව සිත් ගන්නාසුලු කෙටි කතාවකි- වෙසක් පහන කෙටි කතාව අන්තර්ගත වනුයේ දුප්පතුන් නැති ලෝකය කෙටි කතා සංග්‍රහයෙහි ය.

ජී- බී- සේනානායක ( 1913 – 1985 )

1913 ජූලි මස 10 වැනි දින කොළඹ මුල්ලේරියාවේ උපන් ජී- බී- සේනානායක කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ ය. පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ ඔහු දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම, මිතුරිය, ගමන, මුළාව, යන කෙටි කතා සංග්‍රහ පළ කළේ ය. මේධා, වරදත්ත, චාරුමුඛ, අවරගිර, රළ බිඳුම, මළ පුඩුව, කැකෑරිල්ල, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, මදුපාණී, කෙලෙස් සයුර, යන පොත් පළ කළේ ය. මහ ලෝබයා, හාල් මැස්සා, මල් කුමාරි, හීනය, රත් හඳුන් රූපය, අඹ කතාව ආදී පොතපත රචනා කරමින් ළමා සාහිත්‍යය පෝෂණය කළේ ය. රණරාල සහ රුබයියාට්, ඔහු ගේ පරිවර්තන කෘතීන් ය- නවකථා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකථා, විචාර ප්‍රවේශය, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය දර්ශන සිතුවිලි, සාහිත්‍ය ධර්මතාව යන විචාර පොත් ද නිදහස් කවිය හඳුන්වාදුන් පළිගැනීම කෘතිය ද වැදගත් ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සූරී සම්මානය ලද ජී. බී. සේනානායකයෝ 1985 මැදින් මස 16 දා සදහට ම අපෙන් සමු ගත් හ.

වෙසක් පහන කෙටි කතාවට පදනම් වූ සමාජ, සංස්කෘතික පසුබිම

වෙසක් පහන කෙටි කතාවට පසුබිම් වනුයේ ඉහළ මධ්‍යම පාන්තික පවුල් පරිසරය යි. දරුවන් පාසල් රැගෙන යෑමට තිබෙන බක්කි කරත්තයත් නිවසේ ඇති භාණ්ඩවල සොබාවයත් ගැන කතාකරුවා සපයන විස්තර ඇසුරින් ඒ මධ්‍යම පන්තියේ පසුබිම පාඨකයාට දැනෙයි. බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු ඒ මධ්‍යම පාන්තිකයන් ගේ දිවි පෙවෙත අනුකම්පාව, දයාව, සෙනෙහස බඳු උතුම් ගුණ දහමින් පිරුණි- මේ මධ්‍ය ම පාන්තික පවුල් පරිසරය මැවීමට එහි සේවකයකු වන කිරා ගේ චරිතය ද යොදා ගෙන තිබේ.

වික්‍රමසිංහ ගේ වහල්ලු කතාවට පසුබිම් වූයේ ගැමි සමාජය වන අතර ජී. බී. සේනානායක ගේ වෙසක් පහන කෙටි කතාවට පසුබිම් වනුයේ ඉහළ මධ්‍ය ම පන්තිය යි- වහල්ලු කතාවේ එන උපාලිස් මෙන් සතුන්ට දක්වන කරුණාව හා සංවේදී බව මධ්‍ය ම පාන්තිකයන් ඇසුරේ වෙසෙන කිරා ගේ සිතෙහි පැවැතිය ද එය උපාලිස් ගෙන් වෙනස් වූවකි. ජී. බී. සේනානායක ගේ බොහෝ කෙටි කතාවලට පසුබිම් වූයේ මැද පන්තියේ ජීවිතය යි.

වෙසක් පහන කෙටි කතාවේ හරය සහ අන්තර්ගතය

උසස් පෙළට නියමිත සිංහල කෙටි කතා කියවන දරුවන් කෙටි කතාවේ අන්තර්ගතය මෙන් ම එහි හරය කෙරෙහි ද වෙසෙස් අවධානය යොමු කළ යුතුය- වෙසක් කූඩුවක් තැනීමට සහෝදර සහෝදරියන් තිදෙනකු එකතු වීමත් කූඩුව පිළිස්සී යෑමත් යනාදී ලෙස කතාවේ ඇති දෑ එහි අන්තර්ගතය යි. මේ කතාව කියවන ඔබ පසක් කර ගත යුතු වැදගත් කරුණ වන්නේ ජීවිතයේ පවතින වහා වෙනස් වන සුලු ගතිය යි. විටෙක පවතින සතුට මොහොතකින් වෙනස් ව දුකක් බවට පත් වේ- ඒ දුක ද තිර නැත. නිතර වෙනස් වන සුලු බව අවබෝධ කර ගැනීමට රුකුල් දෙන මේ කතාව විදසුන් සිතින් කියවන කල කිසියම් දාර්ශනික තලයකට ඔබ ව ඔසවා තැබීමට සමත් නිර්මාණයකි. ඔබ ලබන ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය, ජීවිතය විමසුම් ව හා නැණ හුරුව වටහා ගැනීමට ඉවහල් වේ. කෙටි කලකින් ඔබේ ජීවිත පරිඥානය පුළුල් කර ගැනීමට මෙයින් ලැබෙනුයේ මහ රුකුලකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කල්පනා ලෝකය පොතෙහි වෙසක් පහන කෙටි කතාව ගැන අදහස් පළ කරයි- ඇතැම් සිදුවීම් කෙරෙහි ළමා මනස වැඩිහිටියනට වඩා සංවේදී වන බව සඳහන් කරයි. වැඩිහිටියකුට වෙසක් පහනක් ගිනි ගැනීම එතරම් සංවේගයට කරුණක් නො වන නමුත් කුඩා දරුවකුට එය දැඩි වේදනාවක් දෙන කරුණක් විය හැකිය. අත පිළිස්සීම නිසා මරණයට පත් නො වන බව කුඩා දරුවකු නොදන්නා බවත් ඒ නිසා මරණය පිළිබඳ ව දරුවකු තුළ හටගන්නා බිය වැඩිහිටියකු ගෙන් වෙනස් වන බවත් සරච්චන්ද්‍රයන් ගේ අදහස යි. මා ගේ සතුටට හේතු වූයේ ජී. බී. සේනානායකයන් ගේ වෙසක් පහන ගැන අදහස් දක්වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අනිත්‍ය ගැන වැඩි අවධානයක් යොමු නො කර ළමා සිත ගැන සඳහන් කිරීම යි.

දෘෂ්ටි කෝණය

උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් වෙසක් පහන කෙටි කතාව රචනා කිරීම නිසා අත්දැකීම වඩාත් පාඨකයාට සමීප වේ. ‘ම’ ශබ්ද කාරකය කතාවේ ප්‍රධාන චරිතය බවට පත්ව කතාව ඉදිරිපත් කිරීම නිසා අපට කුඩා දරුවකු ගේ සිත වඩා හොඳින් අඳුනාගත හැකිය.

වෙසක් පහන - ජී. බී. සේනානායක

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment