මීට පෙර අප විසින් අපගේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කර ගැනීම සඳහා 16 වතාවක් අයිඑම්එෆ් සහාය ලබාගෙන ඇත. මෙවර අප ඇතුළත්ව සිටින්නේ අයිඑම්එෆ් 17 වැනි මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහාය. මේ අවස්ථාවේ අප අයිඑම්එෆ් සහාය පැතුවේ අප මුහුණ දී සිටින ලංකා ඉතිහාසයේ වඩාත් උග්‍රම විනිමය අර්බුදය සමනය කර ගැනීම සඳහාය. එසේම අපේ ණය තිරසාරත්වය (ණය ගෙවීමේ හැකියාව) නැතිව තිබියදීය. මේ අනුව ගිය වසරේ (2022) අප්‍රේල් මස මුලදී රජය විසින් විසින් කළ ඉල්ලීමට අනුව අපගේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි මූල්‍යකරණ සහතික ලැබීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වසරේ (2023) මාර්තු 20 වන දින අප වෙත විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළේය. ඒ අනුව එස්ඩීආර් බිලියන 2.3 ක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය පහසුකමක් අපට ලබා දීම සඳහා අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය අප වෙත ලැබිණි. එහෙත් එම මුදල අප වෙත එක්වරම නොලැබේ. එය ලැබෙන්නේ එම අරමුදල විසින් කරන සමාලෝචන ක්‍රියාවලියකින් පසු වාරික වශයෙන් වර්ෂ හතරක කාලයකදීය.

අපටත් පාවාවිද සූර්යයා…IMF දෙවන වාරිකය ගොඩ?

මේ වන විට අප වෙත අනුමත වී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ණය වාරිකය අප ලබාගෙන ඇත. ඉන් පසු එම මූල්‍ය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සිදු කිරීමෙන් පසු දැන් අප අපේක්ෂාවෙන් සිටින්නේ එහි දෙවන ණය වාරිකය ලැබෙන තෙක්ය. මේ සම්බන්ධයෙන් වන සුබ පණිවිඩයක් මේ වන විට අප වෙත ලැබී තිබේ. එනම් එම ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ වන දෙවන ණය වාරිකය අප වෙත ලබා දීම සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟත්වය ලැබී ඇත. එහෙත් එහි අදහස වහාම එම දෙවන වාරිකය අප වෙත ලැබෙන බව නම් නොවේ. එම දෙවන වාරික මුදල අපට ලැබීම සඳහා අයිඑම්එෆ් කළමනාකාරිත්වයේ සහ අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම අවශ්‍ය වේ. ඒ සඳහා තවදුරටත් අප කළ යුතු දේවල් ද තිබේ.

අප වෙත අයිඑම්එෆ් එක අනුමත කළ ණය පහසුකම යටතේ වූ වැඩසටහනෙහි ප්‍රථම සමාලෝචනයෙහි අනුමැතිය සඳහා ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමට පසුගිය සැප්තැම්බර් 14 දින සිට 27 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත විය. මෙම දූත මෙහෙයුම අවසානයේ දී පීටර් බ්රුවර් මහතා සහ කත්සියර්නා ස්විරීඩ්සෙන්කා මහත්මිය විසින් නිල ප්‍රකාශයක් ද නිකුත් කරන ලදී. එසේම පසුගිය සැප්තැම්බර් 27 වැනිදා මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි නියෝජිත පිරිස විසින් මාධ්‍ය හමුක්වක් ද පවත්වනු ලැබිණි. එය පවත්වනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රුවර් මහතාගේ සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කත්සියර්නා ස්විරීඩ්සෙන්කා මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මේ දෙදෙනා ප්‍රධාන කොටගත් මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කළේය. රටක් වෙත කරන සංචාරයෙන් පසු සිදු කළ මූලික සොයා ගැනීම් පිළිබිඹු කරන මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමේ ප්‍රකාශයන්ට එම දූත මෙහෙවර අවසානයේ දී නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදනයක් සහ මාධ්‍ය හමුවක් ද ඇතුළත් වේ. ඒ අනුව එම සංචාරයේ අවසන් දිනය වූ ඉකුත් 27 දින නිකුත් කළ ප්‍රකාශයෙහි ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩලයෙහි අදහස් වන අතර, එම අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන්ම නියෝජනය නොකරයි. මේ අනුව මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම මූලික වශයෙන් පවසන ලද්දේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිදු කළ ප්‍රථම සමාලෝචනය තහවුරු කරමින් ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඵලදායී සහ සාරවත් සාකච්ඡාවන් පවත්වන ලද බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ එම ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලාංකික ප්‍රජාව සුවිශේෂී ලෙස ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කර ඇති අතර, වැදගත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බලධාරීන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවට එහි උග්‍ර ආර්ථික අර්බුදයෙන් නැඟී සිටීමට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ වේග ශක්තිය පවත්වා ගෙන යනු ඇති අතර නුදුරු කාලය තුළ කාර්ය මණ්ඩල එකඟතාවක් කරා මෙම සාකච්ඡාවන් අඛණ්ඩව සිදු කෙරෙනු ඇත.

මේ අනුව පැහැදිලි වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය ඉකුත් සැප්තැම්බර් 27 දින නිමා කළත් අදාළ ණය මුදල සම්බන්ධයෙන් වන සමාලෝචනය අවසන් නොවූ බවයි. ඒ නිසාම එම ණය මුදලට අදාළ දෙවන වාරිකය අප වෙත ලබා දෙන දිනයක් ද නිශ්චිත නොවූ අතර ඒ සඳහා පළමු සමාලෝචනයට කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව ලැබීමෙන් පසුව අයිඑම්එෆ් විධායක සභාවේ අනුමැතිය ද ලැබිය යුතු වේ. මේ අනුව අපට අයිඑම්එෆ් ණය මුදලේ දෙවන වාරිකය ලබා ගැනීම සඳහා අප විසින් මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය තවදුරටත් වර්ධනය කරගත යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණක් වන්නේ අප විසින් ණය තිරසාර බව තවදුරටත් තහවුරු කරගත යුතුව තිබීමයි. ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල ඉකුත් සැප්තැම්බර් 27 දින මෙසේ කියා සිටියේය.

‘ශ්‍රී ලංකාව ගෙවිය යුතු රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින බැවින්, මූල්‍යන සහතික කිරීමේ සමාලෝචන සම්පූර්ණ පළමු වැඩසටහන් සමාලෝචනයෙහි විධායක මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය වේ.’

එසේම එදින පැවති මාධ්‍ය හමුවේ දී පීටර් බ්රූවර් මහතා සඳහන් කළ අනිත් කරුණ නම් ආදායම් ඉලක්ක අපුරා ගැනීමේ ප්‍රගතියයි. ඒ සම්බන්ධයෙන් වන ඉලක්කවලට සාපේක්ෂව අප සිටින්නේ තවමත් පසුපසිනි. මේ අනුව පසුගිය වසරට සාපේක්ෂව අර්ධ වශයෙන් ආර්ථික සාධක හේතුවෙන් ඉහළ ගිය ආදායම් සංචලන ලාභ මේ වසර (2022) අවසානයේ දී මූලික පුරෝකථනවලට වඩා ආසන්න වශයෙන් සියයට15 කින් පහළ යනු ඇතැයි යන්න මූල්‍ය අරමුදලේ අපේක්ෂාව විය. මේ නිසා අප වෙත අයිඑම්එෆ් ණය මුදලේ දෙවන වාරිකය මුදාහැරීමට මේ ප්‍රධාන කාරණා දෙක සම්බන්ධයෙන් එම අරමුදලේ විධායක සභාව සෑහීමට පත් විය යුතුව තිබේ.

ඒ අනුව මේ සඳහා වන සාකච්ඡා මූල්‍ය අරමුදල සමග තවදුරටත් පැවැති අතර ඒ අනුව මෙම ණය වැඩසටහනේ පළමු සමාලෝචනයට අදාළ අයිඑම්එෆ් කාර්ය මණ්ඩලයේ තීරණය දැන් ප්‍රකාශයට පත්ව ඇත. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය මත,

ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254ක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ වෙත ප්‍රවේශය හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙරේදා (20) ප්‍රකාශයට පත් කළේය. එනම් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බවයි. ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු මෙම එකඟතාවට පැමිණ ඇති අතර මේ සඳහා තවදුරටත් එම අරමුදලේ විධායක සභාවේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ.

මේ අනුව අයිඑම්එෆ් කාර්යමණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48ක විස්තීරණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය අවසන් කර, ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි ඇති අතර ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක එම ණය මුදලේ දෙවන වාරිකය මුදා හැරෙනු ඇත්තේ අයිඑම්එෆ් කළමනාකාරිත්වය සහ අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් එම පළමු සමාලෝචනය අනුමත කිරීමෙන් පසුවය. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම අරමුදල පවසන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බවත් ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවත්ය. එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ පාලන දුර්වලතා සහ දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම, ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීමට සහ ස්ථාවර සහ පැතිරුණු ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මේ ණය වැඩසටහන සඳහා අදාළ සියලුම පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම යන ප්‍රධාන කරුණු දෙක අයිඑම්එෆ් විධායක මණ්ඩලයට සිය පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන බව එම අරමුදල පෙරේදා (20) නිකුත් කළ නවතම මාධ්‍ය ප්‍රකාශයේ දක්වා ඇත. ණය හිමියන්ගේ මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලානුරූපීව සහ ණය වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවට තහවුරු කිරීම අවශ්‍ය වන බව ද මූල්‍ය අරමුදල තවදුරටත් කියා සිටී. මේ නිසා මේ කියන ප්‍රධාන කරුණු දෙක සපුරන තෙක් තවමත් අපට මෙම ණය මුදලේ දෙවන ණය වාරිකය ලබා දෙන දිනයක් ගැන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නොවේ. මේ නිසා අප වෙත එම දෙවන ණය වාරික මුදල ලැබීම තවදුරටත් ප්‍රමාදයකට ලක්වෙනු ඇත. කෙසේ හෝ දෙවන ණය වාරිකය ලැබුණහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 660 ක් පමණ වනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කොළඹදී පැවති ඵලදායී සාකච්ඡාවලින් පසුව සහ මොරොක්කෝවේ දී පැවති අයිඑම්එෆ් වාර්ෂික රැස්වීම් අතරතුර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රූවර් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කත්ස්යානා ස්විරිඩ්සෙන්කා මහත්මිය විසින් පෙරේදා (20) නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ මේ බව සඳහන් වේ. එමගින් කියා සිටින්නේ මෙම ණය වැඩසටහන යටතේ ඇති අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා බලධාරීන් කැපවී සිටින අතර, වේගවත් නිර්උද්ධමනය සහ මෙම වසර අවසන් වන විට අපේක්ෂිත සැලකිය යුතු මූල්‍ය ගැලපීමක් ඇතුළුව අපගේ ප්‍රතිසංස්කරණ උත්සහයන් ප්‍රශංසනීය බවයි. එහි සඳහන් වන පරිදි හිඟ වියදම් යන කරුණ හැර, ජූනි අග සඳහා වූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරාලීමත් සමඟ ජුනි අවසානයේ වැඩසටහනේ කාර්යසාධනය සතුටුදායක වී ඇති අතර බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ද සපුරා ගෙන තිබේ. බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු පසුගිය සැප්තැම්බර් මස අවසානය වන විට ප්‍රමාදයක් සහිතව සපුරාගෙන හෝ ක්‍රියාත්මක කර ඇත. කෙසේ හෝ අයිඑම්එෆ් වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව, 2024 තුළ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා ආදායම් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය තවදුරටත් රජය විසින් වර්ධනය කරගත යුතුව පවතී.

මේ අනුව පැහැදිලි වන්නේ අප සිටින්නේ අයිඑම්එෆ් එක සමග එකඟ වූ එම ඉලක්කගත රාජ්‍ය බදු ආදායම් ඉලක්කවලට පසුපසින් බවයි. එසේ නම් අප විසින් තවදුරටත් අපගේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව සහ බදු පරිපාලනය ශක්තිමත් කරගත යුතු වනු ඇත. මේ සඳහා බදු පරිපාලනය ශක්තිමත් කර ගැනීමට ප්‍රධාන ආදායම් උපයන දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු සමග ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළ යුතු අතර හිඟ බදු එකතු කර ගැනීම ද කඩිනම් කර ගැනීම වැදගත් වනු ඇත. බදු ගෙවිය හැකි එහෙත් තවමත් බදු නොගෙවන විශාල පිරිසක් රටේ සිටින බව රහසක් නොවේ. ඒ අය ද බදු දැලට කොටු කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු අතර මෙසේ සෘජු බදු එකතු කිරීම වර්ධනය කර ගැනීමෙන් අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට බලපාන වක්‍ර බදු බර වර්ධනය වීම වළක්වා ගත හැකිවනු ඇත. කෙසේ හෝ තවදුරටත් වක්‍ර බදු බර මහජනයා පිට පැටවීම මහජනයා තවදුරටත් පීඩාවට පත් කිරීමක් වනු ඇති බැවින් අවශ්‍ය කරන්නේ වෙනත් ක්‍රියාමාර්ග මගින් රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල කියන්නේ ආදායම් ඉහළ නැංවීමට සහ මනා පාලනයක් ඇති කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම, බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ සක්‍රීය බදු පැහැර හැරීම් තුරන් කිරීම වැදගත් වන බවයි. මේ අනුව එකඟ වූ ආදායම් ඉලක්කවලට පසුපසින් අප සිටින බැවින් මෙම ආදායම් හිඟය පිරිමසා ගැනීමට සාර්ථක ප්‍රයත්නයක් නොයෙදුවහොත් වන්නේ රාජ්‍ය මූල්‍ය තුළ රාජ්‍ය වියදම ඉහළ අගයක් ගැනීමෙන් අයවැය හිඟය වර්ධනය වීමයි. නැතහොත් එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය පොදු සේවාවන් සැපයීමට රජයට තිබෙන හැකියාව දුර්වල වනු ඇත. මූල්‍ය අරමුදල පවසන පරිදි ඉන් ණය තිරසර බව කරා ළඟා වීමට තිබෙන මාර්ගයට ද බාධා එල්ල වනු ඇත. මේ පසුබිම තුළ අපට තවදුරටත් රාජ්‍ය අදායම් වර්ධනය කර ගැනීමට පියවර ගැනීමට සිදු වේ. මේ පණිවිඩය සමග ජනතාව බියපත් වන්නේ ඔවුන් වෙත තවදුරටත් බදු බර පැටවෙනු ඇති බවටයි.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ කැපවීම සාදරයෙන් පිළිගන්නා පියවරක් බව ද මූල්‍ය අරමුදල කියයි. එසේම ආර්ථික විශ්වාසය යළි ගොඩනැඟීමට සහ ආර්ථික වර්ධනය වඩාත් ශක්තිමත් සහ සියල්ලන් ඇතුළත් වන එකක් බවට පත්කර ගැනීම සඳහා දූෂණ අවදානම්වලට පිළියම් යෙදීම සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා ස්ථිර පියවරයන් අත්‍යවශ්‍ය බව මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබේ.

අයිඑම්එෆ් වැඩසටහන ගැන අප මේ කතා කරන්නේ එය අපගේ ආර්ථික අර්බුදයට එකම විසඳුම ලෙස සිතාගෙන නොවේ. එනම් අයිඑම්එෆ් වැඩසටහන අප වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ උත්සාහයේ එකම විසඳුම් මග නොවේ. එය බහුවිධ විසඳුම් මාර්ගවල එක් (වැදගත්) විසඳුම් මාර්ගයක් පමණක් විය යුතු බව අපගේ අදහසයි. එහෙත් අපට පෙනෙන්නේ නම් රජය විසින් අයිඑම්එෆ් පිහිට පැතීම එකම විසඳුම ලෙස සිතා කටයුතු කරමින් සිටින බවයි. මේ නිසා අප වැටී සිටින වළෙන් ගොඩ ඒමට නම් අපට තවත් බොහෝ කළ යුතු දේවල් තිබේ. ඒ සඳහා රජය යොමු වී ඇති බවක් අපට පෙනෙන්නට නැත. එය කනගාටුවට කරුණකි. මූලික වශයෙන් අප විසින් අපගේ විදේශ විනිමය ලැබීම් මාර්ග වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා ණය නොවෙන විදේශ විනිමය ආදායම් ලැබීම වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා රටට ආයෝජන ආකර්ෂණය කර ගැනීම ද ඉතාමත් වැදගත්ය. ඒ සඳහා කදිම අවස්ථාවක් ද අප සතුව තිබේ. එය නම් වරාය නගර ව්‍යාපෘතියයි. මේ සඳහා අයිඑම්එෆ් වැඩසටහනට දක්වන මහන්සිය සහ ප්‍රමුඛත්වයෙන් යම් තරමක් හෝ දැරුවහොත් මෙය රටට විශාල විදේශ විනිමය ලැබීම් මාර්ගයක් කර ගැනීමට හොඳටම හැකියාව තිබේ. එසේ වරාය නගර ව්‍යාපෘතියේ භූමිය බදු ගනිමින් ලැබෙන ආයෝජන මුදල් ණය මුදල් නොවෙන නිසා ඒවා නිසා රටේ ණය බර තවදුරටත් වර්ධනය වන්නේ ද නැත. මේ නිසා මේ ගැන ද රජයේ කඩිනම් අවධානය යොමුකර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය වාතාවරණය සහ පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් වැදගත් බවත් අපි රජයට සහ ආර්ථික බලධාරීන්ට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment