චීන විදේශ ඇමැතිවරයා හදිසියේ ඉවතට

212

අභිරහස් ලෙස මසක කාලයක් රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි චීන විදේශ කටයුතු ඇමැති ක්වින් ගන්ග් සිය ධුරයෙන් ඉවත් කිරීමට චීන රජය විසින් පෙරේදා (25දා) පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ දෙසැම්බර් මස චීනයේ විදේශ කටයුතු ඇමැති ධුරයට පත් වූ නැගී ගෙන එන දක්ෂ නිලධාරියෙකු ලෙස හඳුන්වා දී තිබූ 57 හැවිරිදි ක්වින් චීන ජනාධිපති ෂී ජින්පින් ගේ හිටපු සහයකයකු මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සිටි චීන නියෝජිතයා ද වේ. ඔහු ඉකුත් 25 වැනිදා බීජිං අගනුවරට පැමිණි විදෙස් දූත පිරිසක් මුණ ගැසීමෙන් පසු මසක කාලයක් රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටි බව මේ වන විට වාර්තා වී තිබේ.

කෙසේ වුවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ සෞඛ්‍යමය හේතුන් මත ක්වින් මසක කාලයක් රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටි බවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩි දුර විස්තරයක් අමාත්‍යාංශය විසින් හෙළිදරව් කර නොමැත. ක්වින් ගෙන් හිස් වූ චීන විදේශ කටයුතු ඇමැති ධුරයට චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය විසින් 2013-2022 කාලයේදී චීන විදේශ කටයුතු ඇමති ධුරය දැරූ 69 හැවිරිදි වැන්ග් යී පත් කර ඇති අතර ඔහු මෙයට පෙර එම ධුරය දැරූ අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා පෙර නොවූ විරූ අයුරින් පළුදු වී තිබිණි. පෙරේදා (25) පැවති කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීමකදී හිටපු චීන විදේශ කටයුතු ඇමති ක්වින් එම තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇති අතර හේතුවක් නොදන්වා ගෙන ඇති මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ මේ වන විට දැඩි කතාබහක් හටගෙන තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment