සංහිඳියාවට හානි වන ප්‍රකාශ කළැයි අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියෝ රිමාන්ඩ්

504

උන්වහන්සේ සමාජය කළඹවන ප්‍රචණ්ඩ ප්‍රකාශ කර නැහැ – සැකකරුගේ නීතිඥ
බෞද්ධ භික්‍ෂුවක් ලෙස මීට වඩා සංවරව කටයුතු කළ යුතුයි – මහෙස්ත්‍රාත්

ජාතික හා ආගමික සංහිඳියාවට හානි වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළේය.

උන්වහන්සේ සිදු කර ඇති එකී ප්‍රචණ්ඩ ප්‍රකාශ විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට වීඩියෝ දර්ශන සහිතව මුදාහැර ඇති බවත්, එවැනි එක් ප්‍රකාශයක් අවම වශයෙන් ලක්ෂයක පමණ පිරිසක් නරඹා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය. එක් ප්‍රකාශයකට අවම වශයෙන් පහළොස් දහසක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා මහෙස්ත්‍රාත්වරයාට පැවසීය.

ජාතීන් අතර හා ආගමික සංහිඳියාවට හානිකර අන්දමින් පමණක් නොව නිශ්චිත පුද්ගලයන් ඉල්ක්ක කර ඇති එකී ප්‍රකාශ මගින් ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බව අධිකරණයට පැවසූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා 2022 වසරේදී අලුත්ගම ප්‍රදේශයේ සිදුවූ මුස්ලිම් සිංහල ගැටුමට මුල්වී ඇත්තේ ද සැකකාර හිමියන් සිදුකර ඇති එවැනි ප්‍රකාශයක් බව අධිකරණය හමුවේ පැවසීය.

ඒවා ලංකා දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක පනත පමණක් නොව සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශ බවත් අධිකරණයට පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිමියන් පිටුපස විශාල පිරිසක් සිටින්නාසේම එමගින් අතිවිශාල මුදලක් සංසරණය වී ඇති බැවින් ඊට අදාළ ගිණුම් වාර්තා ලබාගෙන විමර්ශන සිදුකරන බව ද පැවසීය.

මාතර ආනන්දසාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ආරම්භ කළ එම විමර්ශන මේ වනවිට මුල් අවස්ථාවේ පවතින බැවින් සැකකරු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් වන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට පැවසීය.

එවැනි ප්‍රකාශ ගැටලු සහගත බව තම අධිකරණයට ද පෙනී යන බවත් බෞද්ධ භික්ෂුවක් ලෙස මෙයට වඩා සංවරව කටයුතු කළ යුතු බවත් පෙන්වාදුන් මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සැකකරු සිදුකර ඇති බවක් පෙනී නොයන නමුත් විමර්ශනවලට බාධාවක් වන බවට තොරතුරු ඉදිරිපත් වන බැවින් ඇප ලබාදීමේ හැකියාවක් තම අධිකරණයට නොමැති බව ද කීවේය.

අප රටේ විවිධ උප සංස්කෘතීන් පවතින බවත් ඒවාට ආවේනික භාෂා ඇති බවත් සැකකාර හිමියන් වෙනුවෙන් පෙනෙී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අධිකරණයට පැවසීය.

සැකකාර හිමියන් සමාජය ආමන්ත්‍රණය කරන භාෂා ශෛලිය තමන් ද පිළිනොගන්නා නමුත් උන්වහන්සේ කිසිවිටෙක සමාජය කැළඹීමකට ලක්වන ආකාරයේ ප්‍රචණ්ඩ ප්‍රකාශ සිදුකර නොමැති නිසා දැඩිව අවවාද කර සැකකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල අලුත්ගම සිද්ධිය පිළිබඳ අධිකරණයට පැවසුවත් සැකකාර හිමියන්ගේ ප්‍රකාශයක් නිසා එවැනි ගැටුම්කාරී තත්ත්වයක් උදාවූ බවට සනාථ කළ හැකි කිසිදු සාධකයක් ඉදිරිපත් කර නොමැති බව ද අධිකරණයට පැවසූ නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා සාමාන්‍ය සිද්ධියකදී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත වැනි බරපතළ පනත් යොදා ගැනීම නුසුදුසු වන බව ද අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරු බෞද්ධ විනයේ පිහිටා කටයුතු නොකරන්නේ නම් ඒ සඳහා කටයුතු කළ හැකි ආයතන ඇතැයි ද නීතිඥවරයා අධිකරණයට පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment