දකුණු පතාලයේ කිරුළට ඉව අල්ලන සලිඳුගේ ඕඩරයට ගැහැණියක් කපා කොටා දමයි…!

2773

කැපුවේ අබ්බයි…. ලහිරුයි…! මන්නා පිහියෙන් කැපුවත් ජීවිතය බේරිලා

පි‍්‍රයානිගේ ජංගම දුරකථනය දිගින් දිගටම නාදවන්නට විය. ඇමතුම ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කීප දෙනාගෙන් එකකු වන පානදුරේ සාලිඳුගෙන්ය.

සැලෙන හදින් යුතුව පි‍්‍රයානි දුරකථන ඇමතුම ලබා ගත්තාය. ‘‘පි‍්‍රයානි මං මේ උඹෙන් කරන අන්තිම ඉල්ලීම මේක. උඹ ඔය හැම දෙයක්ම අතඇරලා මා එක්ක ජීවත් වෙන්න ඩුබායිවලට එන්න ඕනෙ. එහෙම නොකළොත් මං නරක මිනිහා කියන්න එපා.’’

සලිඳු කෝපයෙන් කෑගැසුවේය. දැඩි ලෙස භීතියට පත්ව සිටි පි‍්‍රයානි බියෙන් ගැහෙන්න වූවාය. ඇගේ සිරුර දහදියෙන් තෙත්ව ගොසින්ය.

මෙහොතක් නිහඬව සිටි පි‍්‍රයානි ආයාසයෙන් සිය හඬ අවදි කළාය.

‘‘අනේ සලිඳු මට කරදර කරන්න එපා. මං දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්. මං කොහොමද දරුවෝ දාලා එන්නෙ. උන් තාම පුංචියි. මට උන් දෙන්න දාලා කොහෙවත් යන්න බැහැ. ඔයා ඒක තේරුම් ගන්න…’’

පි‍්‍රයානි කියූ කිසිවක් සලිඳු ගණනකට ගත්තේ නැත. ඔහු දිගින් දිගටම කියා සිටියේ තම ඉල්ලීම ඉටු කරන ලෙසය.

‘‘අනික උඹ එක එකා එක්ක රවුම් ගහනවා කියලා මට ආරංචි වුණා. මගේ අතට අහුවෙන්න එපා. පි‍්‍රයානි උඹ දන්නවනෙ මං උඹට කොයි තරම් ආදරෙයි ද කියලා. ඒ නිසා මං කියන විදිහට වැඩ කරපං මං හැමදෙයක්ම බලාගන්නම් මගේ ළඟට වරෙන්….’’

සලිඳුගේ තර්ජන ගර්ජන නිමක් නැත.

දකුණු පතාලයේ කිරුළට ඉව අල්ලන සලිඳුගේ ඕඩරයට ගැහැණියක් කපා කොටා දමයි…!
පානදුර සලිඳු

කොයි තරම් තර්ජනය කළ ද බලපෑම් කළ ද පි‍්‍රයානිගේ සිත තම අභිප‍්‍රායන් ඉටුකර ගැනීම සඳහා නම්මවා ගැනීමට හැකි වුණේ නැත. මේ ප‍්‍රශ්න මුල්කරගෙන පි‍්‍රයානි සහ සලිඳු අතර මාස ගණනක් තිස්සේ ආරවුල් පැවතුණේය. පි‍්‍රයානි 27 හැවිරිදි වියේ පසු වන රූමත් කාන්තාවක වූවාය. මොරටුව එගොඩඋයනේ පදිංචිව සිටි ඇය දෙදරු මවකි. කුඩා කල සිට ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ පි‍්‍රයානි අපොස උසස් පෙළ විභාගය ද හොඳින් සමත් වූවාය. ඇය අපොස උසස් පෙළ විභාගය ලියද්දී ධර්මාචාර්ය විභාගයට ද ඉදිරිපත් වූවාය. එවර ධර්මාචාර්ය විභාගයෙන් ශී‍්‍ර ලංකාවෙන්ම දෙවැනි ස්ථානය ලබා ගැනීමට ඇයට හැකි විය. ඒ ඇගේ උපන් හපන්කම් නිසාය. හොඳ අධ්‍යාපනයක් ලැබුව ද හොඳ රැකියාවක් ලබා ගැනීමට ඇය වාසනාවන්ත නොවූවාය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවක් කළ පි‍්‍රයානි ජීවිතේ වාසනාවන්ත කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූවාය. එහෙත් ජීවිතය වාසනාවන්ත කර ගැනීමට ඇයට දෛවය ඉඩ දුන්නේ නැත. මොරටුව ප‍්‍රදේශයේ වඩු කාර්මිකයකු සමඟ ඇති කරගත් හොඳකමක් අවසානයේ විවාහය දක්වා රැගෙන යෑමට පි‍්‍රයානිට සිදු වුණේ දෛවෝපගත සිදුවීම් නිසාය. තම විවාහය රෝසමල් යහනාවක් වනු ඇතැයි කියා සිතා සිටිය ද එය එසේ නොවීය. පි‍්‍රයානිගේ සැමියා දැඩි මත්ද්‍රව්‍ය ලෝලියකු බව දැනගන්නා විට බොහෝ දේ සිදු වී තිබුණේය. දෛනිකව වඩු කර්මාන්තයෙන් උපයන මුදලටත් වඩා වැඩි මුදලක් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඔහුට අවශ්‍ය විය. ඒ වනවිට පි‍්‍රයානි එක්දරු මවක වී සිටියාය. පවුලේ වියහියදම් දරුවාගේ කටයුතු සියල්ල සඳහා වැය කළේ පි‍්‍රයානි දහදුක් විඳ උපයා ගත් සොච්චම් වැටුපෙන් ලැබෙන මුදලය. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මධ්‍යයේ පි‍්‍රයානිගේ ජීවිතය ගලා යන්නට විය. පි‍්‍රයානිට සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් පානදුරේ සලිඳුව දැන හඳුනා ගන්නට ලැබෙන්නේ ඔය අතරතුරදීය. මත්කුඩු ලෝලියකු වූ සැමියා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නිතර නිතර පානදුර ප‍්‍රදේශයේ කරක් ගැසුවේය. සැමියාගේ මත්ද්‍රව්‍ය භාවිතය පි‍්‍රයානිට සලිඳු දැන හඳුනා ගැනීමට මංපෙත් විවර කර දුන්නේය.

පානදුරේ සලිඳු යනු ඒ වනවිට දකුණු පළාතේ සිටි අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් කීප දෙනාගෙන් එකෙකි. 2019 වර්ෂය වනවිට සලිඳු 24 හැවිරිදි වියේ පසු වූ ඉතාම ළාබාල තරුණයකු විය. ඒ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම පානදුර පාතාලයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ ද සලිඳුය. පි‍්‍රයානි සැබැවින්ම රූමත් තරුණියක වූවාය. ඒ නිසාම පානදුරේ සලිඳුගේ සිත පි‍්‍රයානි කෙරෙහි ඇදී යන්නට ඒ හැටි කාලයක් ගත වුණේ නැත. පි‍්‍රයානිගේ මනබඳිනා රූසපුවට වශී වී සිටි සලිඳු ඇය තමන්ගේම කර ගන්නට හීන මැව්වේය.

ඒ වනවිට සලිඳු නීත්‍යනුකූල විවාහයක් කරගෙන සිටියේය. එහෙත් ඒ සියල්ල අතහැර දැමූ සලිඳු පි‍්‍රයානිට පේ‍්‍රම කරන්න පටන් ගත්තේය. ‘‘පි‍්‍රයානි අපරාදෙ ඔයා මේ කාලකණ්ණියෙක් බැඳගෙන දුක් විඳින්නෙ. අපි දෙන්න එකතු වෙමු. අපිට ඩුබායි ගිහින් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මං ආසයි ඔයා එක්ක අලූත් ජීවිතයක් පටන් ගන්න. දරුවෝ හදන්න.

ඒ වනවිට තම පෙම්වතිය බවට පත්ව සිටි පි‍්‍රයානිට සලිඳු කීවේය. ‘‘ඔයාට පිස්සු ද සලිඳු මං දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මේක මගේ දෛවය. මං ඒකට මුහුණ දෙන්න ඕනෙ. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ.’’

අනාගතය ගැන දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටි සලිඳුගේ ඉල්ලීම පි‍්‍රයානි හැම විටම ප‍්‍රතික්ෂේප කළාය. සලිඳු පි‍්‍රයානි තහනම් පේ‍්‍රමය සීමා මායිම් බිඳගෙන ගලා යන්නට විය. ලැබෙන හැම අවස්ථාවකින්ම ප‍්‍රයෝජන ගෙන හැකි උපරිමයෙන් විනෝද වීමට පි‍්‍රයානිත් සලිඳුත් පසුබට වුණේ නැත. ඒ විනෝද වන හැම අවස්ථාවකම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය සලිඳුට අවශ්‍ය විය. එවන් අවස්ථාවක අත්හදාබලන්නට පි‍්‍රයානි ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කළාය. අවසානයේ ඇයට සිදු වුණේ ද අයිස් මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ ගොන්නට සම්බන්ධ වීමටය.

කාලය කෙමෙන් ගෙවී යන්නට විය. පි‍්‍රයානිගේ ආර්ථික අපහසුතාවන් ගැන මෙන්ම ඇගේ අවශ්‍යතාවන් ගැන සොයා බලා ඇයට සහාය වන්නට සලිඳු කටයුතු කළේය. ඒ නිසාම පි‍්‍රයානිගේ පවුලේ ප‍්‍රශ්න විටෙන් විට නිරාකරණය වන්නට පටන් ගත්තේය.

2020 වර්ෂය වනවිට සලිඳු දකුණු පළාතේ ප‍්‍රධානම හෙරොයින් ජාවාරම්කරුවකු බවට පත්ව සිටියේ පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් කීපයක සිට මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාවට රැගෙන එන හෙරොයින් තොගවලින් වැඩි ප‍්‍රමාණයක් සලිඳු ලබා ගත්තේය. සලිඳුගේ හෙරොයින් ජාලය ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණේය. හෙරොයින් ජාවාරම මෙන්ම පාතාල බලය ද ව්‍යාප්ත කර ගත් සලිඳු මොරටුව, පානදුර, අඟුලාන ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් පුරා රජකම් කරන්නට පටන් ගත්තේය.

තම පාතාල බලය අණසක පතුරුවා හැර තිබෙන ප‍්‍රදේශවල වෙනත් කිසිවකුටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට හැකියාවක් තිබුණේ නැත. කිසිවකු හෝ ඊට උත්සාහ කළේ නම් ඔහුට සිදු වුණේ බඩ කට පුරා පහර කෑමටය. එහෙමත් නැත්නම් ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ඒ තරමටම සලිඳු සිය පාතාල බලය ව්‍යාප්ත කර තිබුණේය. පානදුරේ පාතාල නායකයාට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයාට පේ‍්‍රම කළ පි‍්‍රයානි ඒ හරහා කිසියම් ස්ථාවරයක් ගොඩනඟා ගෙන සිටියාය. නීත්‍යනුකූලව විවාහ වී නොසිටිය ද සලිඳු පි‍්‍රයානිගේ සියලූ අවශ්‍යතාවන් යුතුකම් ඉටු කර දුන්නේය.

‘‘පි‍්‍රයානි අපිට හැමදාම මෙහෙම හැංගි හැංගි ඉන්න බැහැ. මං ඔයාට කියන්නෙ එක දෙයයි අපි දෙන්නා කසාද බැඳලා එකට ඉමු. එතකොට අපට තවත් දියුණු වෙන්න පුළුවන්.’’ සලිඳු නැවත නැවතත් පි‍්‍රයානිට ආයාචනා කළාය. එහෙත් ඊට ඇගේ කැමැත්තක් තිබුණේ නැත. මේ අතරතුර පි‍්‍රයානි සිය දෙවැනි දරුවා බිහි කළාය. පි‍්‍රයානිගේ දෙවැනි දරුවා වෙනුවෙන් පියවරුන් දෙදෙනෙකු අයිතිය ඉල්ලා සිටියේ ගැටලූ ගොන්නකට මුලපුරමින්ය.

‘‘පි‍්‍රයානි ඔය දරුවා මගේ අපි දැන්වත් කසාද බැඳලා එකට ඉමු.’’

සලිඳු යෝජනා කළේය. එහෙත් පි‍්‍රයානිගෙන් ඊට කැමැත්ත ලැබුණේ නැත.

‘‘මේ දරුවා මගේ කසාද මිනිහගෙ. ඒක මම දන්නවා. ඒ නිසා දරුවගෙ අයිතිය ඔයාට දෙන්න බැහැ.’’ පි‍්‍රයානි කීවාය. අවසානයේ මේ ගැටලූව ඞී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කිරීම දක්වාම දුරදිග ගියේය.

දරුවාගේ පිය උරුමය සොයා ගන්නට කළ ඞී. එන්. ඒ. පරීකෂණයෙන් සලිඳු අසමත් වුණේය. දරුවාගේ නියම පියා නීත්‍යනුකූල සැමියා ද වෙනත් එකකු ද කියා දැන සිටියේ පි‍්‍රයානි පමණය. මේ සිදුවීමෙන් සලිඳු දැඩි ලෙස කම්පනයට පත්ව සිටියේය. පි‍්‍රයානි සහ සලිඳු අතර නිතර නොහොඳ නෝක්කාඩුවීම් ඇති වන්නට පටන් ගත්තේය. පානදුරේ සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියා වූයේ මිදිගම නදුන් චින්තක හෙවත් හරක්කටාය. ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින හරක්කටා මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොග පිටින් ශී‍්‍ර ලංකාවට පටවමින් සිටියි. එසේ එවන හෙරොයින් තොගවලින් වැඩි ප‍්‍රමාණයක් පානදුරේ සලිඳු අතට ද පත්ව තිබුණේය. හෙරොයින් ප‍්‍රශ්නයක් මුල්කර ගෙන පානදුර උතුර ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සලිඳු ආරවුලක් ඇති කර ගත්තේය. ආරවුල කෙළවර වන්නේ සලිඳු සිය පාතාල කල්ලියේ ගෝලයන් දෙදෙනකු යොදවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඝාතනය කිරීමෙන් පසුවය.

ඉකුත් වසරේ ජනවාරි 25 වැනිදා මහ දවල් පානදුර උතුර පොලිස් වසමේ ගොඩනැඟිල්ලක් වෙත කඩා වැදුණු සලිඳුගේ ගෝලබාලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ටී56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. මේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිසිය යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ඝාතනයට යොදාගත් ටී56 අවිය අත්අඩංගුවට ගත්හ. එහෙත් ඝාතකයා ඒ වනවිට ඩුබායි රාජ්‍යයට පැන ගොස් සිටියේය. මේ අතර සලිඳු තම ගෝලයන් යොදවා පානදුර උතුර ප‍්‍රදේශයේ තවත් තරුණයකු ඝාතනය කළේය. ඝාතනයට ලක්වූ තරුණයා මත්ද්‍රව්‍ය ලෝලියෙකි. ඔහුට එල්ල වී තිබූ චෝදනාව වූයේ සලිඳුගේ නිවසේ දොර ජනෙල් රෙදි සොරා ගෙන ගොස් විකිණීමය.

සලිඳු සිය පාතාල කල්ලියේ ගෝලයන් පස්දෙනෙකු යොදවා මත්ද්‍රව්‍ය ලෝලියා පැහැරගෙන ගොස් පොලූ මුගුරුවලින් පහරදී ඝාතනය කර වීමට කටයුතු කළේය. මේ අතර සලිඳුගේ හෙරොයින් ජාවාරමට මරු පහර එල්ල වූ සිදුවීම් කීපයක් ද ඉකුත් වසරේදී සිදු විය. සලිඳුට අයත් රුපියල් කෝටි 45කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් බණ්ඩාරගම ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය. එම සිදුවීමෙන් පසු තවත් හෙරොයින් තොගයක් පොලිස් අත්අඩංගුවට පත් වන්නේ සලිඳු අන්දමන්ද කරමින්ය. රුපියල් කෝටි පනස් දෙකකට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් කළුතර දකුණ පොලිස් බල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණේය. පානදුරේ සලිඳුට එරෙහිව මිනීමැරුම් චෝදනා මහා පරිමාණ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා දිගින් දිගටම එල්ල වෙමින් තිබුණේය. පොලිසිය පානදුරේ සලිඳු ලූහුබඳින්නට විය.

‘‘පොලිසිය දැන් මාව ෆලෝ කරනවා ලංකාවෙ හිටියොත් අනිවාර්යයෙන්ම මාව පොලිසියට කොටු වෙනවා. අන්තිමට නිකං පොලිසියෙන් මැරුම් කන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවේ හෙමිහිට මාරු වෙන එක තමයි හොඳ.’’

සලිඳු තම ගෝලබාලයන්ට කීවේය. පොලිසිය කි‍්‍රයාත්මක වීමට පෙර සලිඳු ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය. ඩුබායි යෑමට පෙර සලිඳු සිය පරම පේ‍්‍රමය වූ පි‍්‍රයානිට තමන් සමඟ පැමිණෙන ලෙස ආයාචනා කළේය. එහෙත් ඇයගෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. ඩුබායි රාජ්‍යයට ගිය පසු සලිඳු පි‍්‍රයානිට තිබූ ආදාරය දෙගුණ තෙගුණ වන්නට පටන් ගත්තේය. ඒ වනවිට පි‍්‍රයානි සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා විවිධ අයුරින් උදව් උපකාර කරමින් සිටියාය. සැකයට භාජනය නොවන ආකාරයට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර දීමට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල් එකතු කිරීම ඇතුළු විවිධ ආකාරයෙන් සලිඳුගේ ජාවාරමට පි‍්‍රයානි සහාය වූවාය.

දකුණු පතාලයේ කිරුළට ඉව අල්ලන සලිඳුගේ ඕඩරයට ගැහැණියක් කපා කොටා දමයි…!

විශාල අවදානමක් ගෙන සිදු කරන කාර්ය සඳහා පි‍්‍රයානිට හොඳ ගෙවීමක් කිරීමට ද සලිඳු අමතක කළේ නැත. ‘‘මං මේ හැම දෙයක්ම කරන්නෙ ඔයාට තියන ආදරේ නිසයි. ඔයා මගේ ළඟට එන්න ඕනෙ. මට ඔයා නැතිව ජීවත් වෙන්න බැහැ. ඉක්මනින් තීරණයක් අරන් කියන්න.’’ සලිඳු ඩුබායි රාජ්‍යයේ සට නිතර නිතර පි‍්‍රයානිට දුරකථනයෙන් කතා කරමින් තමන් සමග එකට ජීවත් වීමට පැමිණෙන ලෙස ඉල්ලමින් ඇවටිලි කරන්න විය. එහෙත් පි‍්‍රයානි සිය තීරණය වෙනස් කරගෙන තිබුණේ නැත. කාලයක් ගත වෙද්දී සලිඳුගේ ආයාචනය නියෝගයක් බවට පත් වන්නට විය. ආදරය වෛරයකට පෙරළෙමින් තිබුණේය.

‘‘උඹේ හැම දෙයක් ගැනම මං හොයලා බැලූවා. උදව් උපකාර කළා. ඒත් උඹට කිසිම කෙලෙහි ගුණයක් නැහැ. උඹ එක එකා එක්ක රවුම් ගහනවා කියලා මට ආරංචියි. මාව යක්ෂයෙක් කර ගන්න එපා….’

සලිඳු දුරකථනයෙන් කතා කර පි‍්‍රයානිට තර්ජනය කරන්න පටන් ගත්තේය. දෙදෙනා අතර ආරවුල් දිනෙන් දිනම උග‍්‍ර වෙමින් පැවතිණි. ‘‘ඔයා කියන කරන හැම දෙයක්ම මං ඉවසුවා. මට නිකන් අභූත චෝදනා කරන්න එන්න එපා. මං එක එකා එක්ක ගියෙ නැහැ. මාත් වැදගත් ගෑනියක්.’’

පි‍්‍රයානිද පෙරළා බැණ වැදුණාය.

‘‘හරි මං උඹ ගැන බලා ගන්නනම්කෝ බලමු කවුද දිනන්නෙ කියලා.’’

සලිඳු දැඩි කෝපයෙන් යුතුව කීවේය. 2021 වර්ෂයේ දෙසැම්බර් මාසය උදා විය. සලිඳු පි‍්‍රයානි අතර ගැටුම් පැවතිය ද ව්‍යාපාරවලට ඉන් බාධාවක් වුණේ නැත. සලිඳුගේ ව්‍යාපාරවලට පි‍්‍රයානිගේ සහාය ඒ ආකාරයෙන්ම ලැබී තිබිණ.

ඒ වනවිට සලිඳුගේ සමීපතම ගෝලයකු වන පියුම් හංසක හෙවත් පියුමා සිටියේ ඩුබායි රාජ්‍යයේය. සලිඳුගේ හෙරොයින් ව්‍යාපාරයේ බොහෝ මෙහෙයුම් කටයුතු සිදු වුණේ පියුමාගේ අධීක්ෂණය යටතේය. ‘‘පියුමා මං ලොකු අවුලක ඉන්නෙ. පි‍්‍රයානි කියන්නෙ මහ ජරා ගෑනියක්. මං ඒකිට කොයි තරම් උදව් කළාද? ඒකි අද ඔය විදිහට ලස්සන ජීවිතයක් ගත කරන්නෙ මං නිසා.

ඒත් ඒකි මං වගේ නෑ. මං ආව දා ඉඳලා ඒකි වෙන වෙන උන් එක්ක යනවලූ. මෙහෙට එන්න කිව්වත් එන්නෙ නැහැ. ඒකිට මට වැඩිය අනෙක් හැම එකාම ලොකුයි….’’

සලිඳු තම හදවතේ නැෙඟන දුක වේදනාව වෛරය පියුමා හමුවේ පිට කරන්න වුණේය. ‘‘මට මේකිට පාඩමක් උගන්වන්න ඕනෙ. මට තරහා තියෙන්නෙම මේකි වෙන උන් එක්ක යන එකට…..’’

සලිඳු තම සුවච කීකරු ගෝලයා වන පියුමාට කීවේය. ‘‘හරි….. හරි ලොක්කා මං සේරම බලා ගන්නම්. ලොක්කට බලූ වැඩක් කළොත් ඒක අපිට කළා වගෙ තමයි..’’ පියුමා කීවේය. ඒ වනවිට සලිඳුගේ පාතාල කල්ලිය පානදුර ප‍්‍රදේශයේ ඉතාම ප‍්‍රබල තත්ත්වයක පසු විය. මිනිස් ඝාතන සිදුකිරීම, පහරදීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධවල නිරත වෙමින් ඔවුහු පානදුරයේ රජ කරමින් සිටියහ. සලිඳුගේ කල්ලියේ ප‍්‍රබලයකුව සිටි ‘අබ්බා’ අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකි. සලිඳු ලබාදුන් නියෝගය කි‍්‍රයාත්මක කිරීම සඳහා පියුමා යොදාගත්තේ අබ්බාය. සති කීපයක් තිස්සේ පියුමා අම්බාට දුරකථනයෙන් කතා කර අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මොරටුව මෝදර ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු වන අබ්බා සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ද කෙළිකාරයකු විය. ‘‘මේක සලිඳු බොස්ගෙ වැඩක්. මේ වැඬේ හරියටම කෙරෙන්න ඕනෙ පි‍්‍රයානිට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෙ. දන්නවනෙ ලොක්කා මේ ගෑනිට පණ වගේ ආදරේ කළා. ඒත් ඒකි පිටුපෑවා. ලොක්කා කියනවා ඒ ගෑනි දැන් වටේ යනවා කියලා ඉවරයක් කරලා දාපං…’’

පියුමා සියලූ සැලසුම් පිළිබඳව අබ්බා දැනුවත් කළේය. තමන්ට පණ මෙන් ආදරය කරන සලිඳු තමා ඝාතනය කරීමට සැලසුම් කරගෙන සිටින බව පි‍්‍රයානි සිහිනයකින් හෝ සිතුවේ නැත. එහෙත් ඉතාම හොර රහසේ සියල්ල සිදු වෙමින් තිබුණේය. 2021 නොවැම්බර් 20 වැනිදා පියුමාගෙන් පි‍්‍රයානිට දුරකථන ඇමතුමක් ලැබුණේය.

‘‘සලිඳු බොස් බඩු වගයක් එවනවා. අපේ කොල්ලො දෙන්නෙක් ගෙනත් දෙයි. ඒක අරගන්න. ඊට පස්සෙ කියන්නම් කරන්න ඕනෙ දේ මොකක්ද කියලා.’’ පියුමා පි‍්‍රයානිට කීවේය. එතැනින් එහාට කිසිවක් නොවිමසා සිටීමට පි‍්‍රයානි වගබලා ගත්තාය. නොවැම්බර් 23 වැනිදා රාතී‍්‍ර පානදුර මහනාම පාසල අසලට රාතී‍්‍ර 10.00ට පැමිණෙන ලෙස පි‍්‍රයානිට දැනුම් දීමක් කළේ ද පියුමා විසින්ය. ඒ දැනුම් දීම අනුව එදින රාති‍්‍රයේ පානදුර මහානාම පාසල අසලට යෑමට පි‍්‍රයානි ලකලෑස්ති වූවාය. මේ ගමන ගැන පි‍්‍රයානිගේ නීත්‍යනුකූල සැමියා කිසිවක් දැන සිටියේ නැත. රාතී‍්‍ර ගමන් යෑම සඳහා පි‍්‍රයානි තම ආරක්ෂාවට අසල්වැසි තරුණයකු කැඳවාගෙන යෑමට පුරුදුව සිටියාය. නියුටන් නමැති ඒ තරුණයා ද එදින පි‍්‍රයානි සමඟ පානදුරේ යෑමට සූදානම් වුණේය. පි‍්‍රයානි නිවුටන් සමඟ පානදුර මහානාම පාසල අසලට යන්නේ කුලී ති‍්‍රරෝද රථයකින්ය. පාසල අසල මාර්ගයේ ති‍්‍රරෝද රථය නතර කළ පසු පි‍්‍රයානි ඉන් බැස ගත්තාය. ඒ වනවිට රාතී‍්‍ර 10.00 වී තිබුණේය. මුළු ප‍්‍රදේශයම ගන අන්ධකාරයෙන් වැසී ගොසින්ය. ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැ`ඩියාවකි. ප‍්‍රධාන මාර්ගය හරහා මාරු වූ පි‍්‍රයානි මාර්ගයේ අනෙක් පසට වී පියුමා කියූ පුද්ගලයන් පැමිණෙන තුරු බලා සිටියාය. නිවුටන් කුලී ති‍්‍රරෝද රථයට වී පි‍්‍රයානි පැමිණෙන තුරු බලා සිටියේය. ගත වුණේ තත්පර කීපයකි. අන්ධකාරය මැදින් ආ යතුරුපැදියක් එකවරම පි‍්‍රයානි අසල නතර කළේය. යතුරුපැදියේ සිටියේ සලිඳුගේ ගෝලයන් දෙදෙනකු බව පි‍්‍රයානි හොඳින් හඳුනා ගත්තාය. එහෙත් ඔවුන් එදින පැමිණ සිටියේ වෙනදාට පැමිණෙන මිත‍්‍රශීලී භාවයෙන් නොව බොහොම සාහසික ආකාරයට බව තේරුම් ගන්නට පි‍්‍රයානිට වැඩි වේලාවක් ගත වුණේ නැත. යතුරුපැදිය පිටුපස පැමිණි සාහසිකයා එකවරම ඉන් බැස ගෙන පි‍්‍රයානි වෙත දිව ආවේ දිගු මන්නා පිහියක් ද ඔසවා ගෙනය. සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතා ගැනීමට ඇයට කාලයක් ඉතිරිව තිබුණේ නැත. පාතාල මැරයා එකවරම පි‍්‍රයානි වෙත මන්නා පිහි ප‍්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේය. ඇය පැන දිව ගොස් බේරීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත. මන්නා පිහි පහර ඇගේ සිරුර පුරා එල්ල වුණේය. විලාප නඟමින් පි‍්‍රයානි ටික දුරක් දිව ගොස් බිම ඇදවැටුනාය.

ති‍්‍රරෝද රථයේ සිටි නිවුටන් එකවරම ඉන් බැසගෙන පි‍්‍රයානි දෙසට දිව ආවේ ඇය බේරා ගැනීමේ අරමුණෙන් යුතුවය. ඒ වනවිට ති‍්‍රරෝද රථ රියදුරු භීතියට පත්ව පලා ගියේය. නිවුටන් සාහසිකයා දෙසට දිව එද්දී ඔහු පි‍්‍රයානිට පහරදීම නතර කර යතුරුපැදියේ නැඟී පලා ගියේය. ඒ වනවිට පි‍්‍රයානි මහා මාර්ගය මැද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියාය. ඇගේ සිරුර රුධිරයෙන් නැහැවී ගොසින්ය.

දැඩි ලෙස භීතියට පත්ව සිටි නිවුටන් පොලිසිය වෙත දිව ගොස් සිදු වූ සියල්ල හෙළි කළේය. වහාම කි‍්‍රයාත්මක වූ පානදුර උතුර පොලිසිය සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ ගිලන් රථයකින් ඇය පානදුර රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කළේය. බරපතළ තුවාල සහිතව ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටි පි‍්‍රයානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළාය. සති කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ පි‍්‍රයානි අවසානයේ යන්තමින් ජීවිතය බේරා ගත්තාය. පානදුර උතුර පොලිසිය මෙම සිද්ධියේ මූලික විමර්ශන කටයුතු ආරම්භ කළේය. පි‍්‍රයානි කපා කොටා මරණාසන්න තුවාල සිදු කිරීම සලිඳුගේ උපදෙස් මත ඔහුගේ පාතාල කල්ලිය විසින් සිදු කළ බව හෙළි කර ගන්නට පොලිසිය සමත් වූහ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළේය. එහි වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලූගල මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එල්. ඒ. නයනජිත් ඇතුළු නිලධාරීන් අපරාධකාරයන් සොයා පානදුරය පීරන්නට වූහ.

පි‍්‍රයානි සමඟ පානදුර මහානාම පාසල අසලට ති‍්‍රරෝද රථයෙන් පැමිණි තරුණයා නිවුටන් අත්අඩංගුවට ගත් කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුගෙන් ප‍්‍රශ්න කළෝය. සර්…. මේක සලිඳුගෙ සෙට් එක කළේ. පි‍්‍රයානි අක්කව කපන්න ආවෙ ‘‘අබ්බා’ මං ඌව හරියටම හඳුනා ගත්තා. නිවුටන්ගෙන් හෙළි වූ තොරතුරු මත විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන් අබ්බා ලූහුබඳින්නට වූහ. දුරකථන පණිවිඩ තොරතුරු ඔස්සේ විමර්ශන කළ නිලධාරීන් අවසානයේ ‘අබ්බා’ අත්අඩංගුවට ගත්හ.

‘‘අනේ සර් මම පි‍්‍රයානිට ලව් කළා. මං ඔය වගෙ වැඩක් කරන්න එනවද? අනික මම එයාව බලන්න හොස්පිටල් එකට යන්න හිටියෙ.’’

අබ්බා තම නිර්දෝෂි භාවය හෙළි කිරීමට නොගත් උත්සාහයක් නැත. එහෙත් පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ පි‍්‍රයානි ඝාතනයට තැත් කිරීම සඳහා යතුරුපැදිය පදවාගෙන ආවේ අබ්බා බවය. පුද්ගලික ඔත්තුකරුවන්ගෙන් සහ දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් හෙළි කර ගත් තොරතුරු අනුව පි‍්‍රයානිට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා තුවාල කළ පුද්ගලයා ලහිරු නමැති අයකු බව හඳුනා ගත්තේය. ලහිරු දීර්ඝ කාලයක සිට පානදුරේ සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටි අයකු බව ද පොලිසිය හෙළි කර ගත්තේය. හුංගම ප‍්‍රදේශයේ නවාතැන්පළක සැඟවී සිටි ලහිරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. විමර්ශන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් ලැබුණේ නොමඳ සහායකි. සිය නිලධාරීන් මෙහෙයවමින් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලූගල මහතා අපරාදකරුවන් නීතියේ
රැහැනට නතුකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වූවේය. කෙසේ හෝ කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ විමර්ශනවලදී පි‍්‍රයානිට කළ මහා අපරාධයේ සුලමුල අනාවරණය කර ගැනීමට සමත් වූහ. මෙම අපරාධයේ මහ මොළකරු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පානදුරේ සලිඳු බව ද පොලිසිය හෙළි කර ගත්තේය. කෙසේ හෝ තවදුරටත් ජීවත් වීමේ වාසනාව පි‍්‍රයානිට හිමිව තිබුණි. කෙසේ වෙතත් තවදුරටත් ජීවත් වීමේ වාසනාව තිබුණේ පි‍්‍රයානිගේ පැත්තේය. අහිංසක නොදරුවන් දෙදෙනකුට තම ආදරණීය මව අහිමි වීමට ඉඩ තිබුණ ද රෝහල් කාර්ය මණ්ඩලවල දක්ෂතාවය නිසා එය යන්තමින් වැළකී ගොස් තිබිණි. අපරාධකාරයන් ඇසුරු කරමින් උන් සමග ගනුදෙනු කිරීමට ගිය පි‍්‍රයානිට අවසානයේ සිදු වුණේ මහා ඛේදවාචකයකට මුහුණ දීමටය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කළුතර අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලූගල මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. එල්. ඒ. නයනජිත්, සැරයන්වරුන් වන (30787) නෙළුම්බණ්ඩාර, (41104) සමන්තිලක, (69918) වසන්ත, (69615) ජයසූරිය, (63479) ප‍්‍රසන්න ඇතුළු නිලධාරීන් විමර්ශන පැවැත්වූහ.

පොලිස් වාර්තා ඇසුරෙන් ලිපිය සකස් කරන ලදී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment