ජල විදුලිය උපරිමයෙන් ඉන්ධන මගින් විදුලිය උත්පාදනය බිංදුවට බසී

107

ලංවිම මාධ්‍ය ප්‍රකාශක

ඉන්ධන භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය පෙරේදා (12දා) වන විට බිංදුව දක්වා අඩුව තිබූ බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (13දා) පැවසීය. ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකර ඉන්ධන භාවිතය අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු කීය.

ජල විදුලි නිෂ්පාදනය සියයට පනහට (52.34%) අධික තත්ත්වයක පැවැති බවත් ගල්අඟුරු මගින් සියයට 21.89 ක්, සූර්ය බලයෙන් සියයට 6.07 ක්, සුළං බලයෙන් සියයට 4.67 ක්, කුඩා ජල විදුලි බලාගාරවලින් සියයට 14.1 ක් ලෙස විදුලි අවශ්‍යතාව සපුරාගෙන තිබේ.

මේ අතර නොරොච්චෝල බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා මාස තුනක් පමණ නතර කර තිබූ යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු නිමකර එය නැවත ඊයේ සිට විදුලිය ජනනය කර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබූ බව බලාගාර ඉංජිනේරුවෝ පැවසූහ. ඊයේ වන තෙක් බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක් කිරිමේ හැකියාව පැවතියත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා පෙරේදා වනවිට මෙගාවොට් 460ක පමණ විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කළ බව ද එම ඉංජිනේරුවෝ කියා සිටියහ. යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමෙන් මෙගාවොට් 910ක් ජාතික පද්ධතියට එක්කළ හැක.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment