මූල්‍ය අර්බුදයක් මැද ඡන්දයකට සල්ලි ඉල්ලීම වැරදියි – නීතිපති උසාවියට කියයි

166

මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණත් රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබියදී මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ඉල්ලා සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ (01දා) අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැසීය.

යම්කිසි ආර්ථික අර්බුදයක් නිසා මැතිවරණයක් පැවැත්විය නොහැකි අවස්ථාවකදී පළාත් පාලන මැතිවරණ පනතෙහි ඇති ප්‍රතිපාදන අනුගමනය කර කටයුතු කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ඇති බවත් ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පැවැසීය.

2023 මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබූ නමුත් රටේ පැවැති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම මුදල් අමාත්‍යාංශයත් රටේ ජනතාව දැනුවත් කර තිබීම නිසා එකී වකවානුවේ මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අර්ථ දැක්විය නොහැක්කේ යැයි ද වැඩිදුරටත් පැවැසීය.

2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්දයෙන් විත්තියේ දේශනය පවත්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා එලෙස පැවැසීය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ. මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. වැඩිදුර කරුණු දැක්වීම හෙට (03දා) දක්වා කල් තැබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment