පාරිභෝගික දිනය අදයි

113

මෙම වසරේ එනම් 2024 ලෝක පාරිභෝගික අයිතීන් දින තේමාව ලෙස ‘පාරිභෝගිකයන් සඳහා සාධාරණ සහ වගකිවයුතු කෘතිම බුද්ධිය ( Artificial Intelligence) යන තේමාව තෝරාගෙන ඇත. මෙම තේමාව යටතේ මාර්තු 15 දින සියලුම රටවල් ලෝක පාරිභෝගික දිනය සමරනු ලබයි.

වැඩ කරන ආකාරය, සන්නිවේදනය, තොරතුරු රැස් කිරීම සහ තවත් බොහෝ දේ තුළ මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කිරීමට තාක්ෂණය කටයුතු කරමින් සිටී. එය පාරිභෝගික ආරක්ෂාව සහ ඩිජිටල් සාධාරණත්වය සඳහා බරපතළ බලපෑමක්ද ගෙනදෙයි. සාවද්‍ය තොරතුරු, රහස්‍යතා උල්ලංඝනය කිරීම් සහ වෙනස් කොට සැලකීමේ ක්‍රියාවන් දක්නට ලැබෙන අතර, කෘතිම බුද්ධිය මගින් ව්‍යාජ තොරතුරු පතුරුවා හැරීම සහ පක්ෂග්‍රාහීත්වය වැනි ක්‍රියාවන්ද සිදුවෙමින් පවතී. මෙම ගැටලු විසඳාගනිමින් සාධාරණ සහ වගකිවයුතු කෘතිම බුද්ධිය (AI ) මෙහෙයවීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා සියලුම දෙනා එකතු විය යුතුය යන්න මෙහි අරමුණයි.

පාරිභෝගිකයා යනු කවරෙක් ද?

භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස සරළව හැඳින් විය හැකි වුවද නීතියේ අර්ථකථනයට අනුව “වෙළෙන්දන් විසින් හෝ නිෂ්පාදකයෙකු විසින් හෝ මිලක් ලබා ගැනීමට සලස්වන යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිත කරන්නෙකු හෝ භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා ලෙස පුළුල්ව හඳුන්වයි“. මෙම නිර්වචනයට අනුව ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගනු ලබන තැනැත්තා පාරිභෝගිකයෙකි.

ඕනෑම රටක සමස්ත ජනගහනයම සමන්විත වන්නේ පාරිභෝගිකයන්ගෙන්ය. එම නිසා පාරිභෝගිකයාට ඉතා වටිනා තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇත. එම වටිනාකම නිසාම පාරිභෝගිකයන් විශාල අයිතිවාසිකම් රැසකට හිමිකම්පායි. ඒ පිළිබඳ අදහස් දක්වන ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි පැවසුවේ “සියලු පුරවැසියෝ පාරිභෝගිකයෝය ආර්ථික ක්ෂ්ත්‍රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්‍ෂේත්‍රයකම තීරණ වලින් පීඩාවට පත්වන්නෝද ඔවුන් වෙති” එම කියමන ඉතා නිවැරදි බව වර්තමානයේ අපට ගම්‍ය වේ.

පාරිභෝගිකයා දැනුවත්විය යුත්තේ ඇයි?

වෙළඳපොළ ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිමකර ගැනීම සදහා කටයුතු කරනවා විනා පාරිභෝගික සුබසාධනය ගැන නොසිතයි. එම නිසා පාරිභෝගිකයා දැනුවත් නොවී සිටීම මගින් පාරිභෝගිකයා නිරතුරුවම රැවටීමට ලක්වීමක් සිදුවේ. වෙළෙඳ පොළෙන් භාණ්ඩ හා සේවා ලබාගෙන පරිභෝජනය කිරීම මගින් පාරිභෝගිකයා තම අවශ්‍යතා සපුරා ගනී. එසේ මිලදී ගනු ලබන භාණ්ඩ මස් හා මස් ආශ්‍රිති නිෂ්පාදන, කිරිආහාර, සිසිල්බීම, පලතුරු, තෙල් වර්ග ආදී භාණ්ඩ ලෙස හැඳින්විය හැක. මිල දී ගනු ලබන මෙම භාණ්ඩ පිළිබඳ පාරිභෝගිකයාට කිසිම අවබෝධයක් නොමැත. මෙහි වඩාත් භයානකම තත්ත්වය වන්නේ මෙම භාණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ සඳහා ඇතුළත් කර ඇති ශරීරයට අහිතකර රසකාරක පිළිබඳ පාරිභෝගිකයා නොදැන සිටීමයි. එම නිසා පාරිභෝගිකයා තම අයිතිවාසිකම් පිළිබඳව මෙන්ම තමන් මිලදී ගනු ලබන භාණ්ඩ පිළිබඳව ද දැනුවත් විය යුතුය.

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ලංකාවේ ඇති නීති ?

පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් විවිධ නීති සකසා ඇත. සමහර නීති පාර්ලිමේන්තුව විසින් සකසා සම්මත කර තිබෙන අතර සමහර නීති අදාළ අමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාර නියෝග ලෙස සකසා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන නීතිය වන්නේ 2003 ජනවාරී මස 9 වන දා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගන්නා ලද 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතයි.

මෙම පනත ක්‍රියාත්මක වීමත් සමගම එතෙක් පැවැති 1979 අංක 1 දරණ පාරිභෝගික ආරක්ෂක පනත 1987 අංක 1 දරණ සාධාරණ වෙළඳ කොමිෂන් සභාපනත හා 1950 මිල පාලනපනත(73 වන අධිකාරය) අහෝසි කරන ලදී.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පාරිභෝගික ආරක්ෂාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලදී. එම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපළවලට උපද්‍රවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හා පාරිභෝගික අයිතිවාසිකම් වලට නිසි සැලකිල්ලක් දැක්වීම සහතික වීමයි.

හැකි සෑමවිටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීමට සහතිකවීම, අසාධාරණ වෙළඳ පිළිවෙත් සීමිත වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව සහනයක් ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කරනු ලබයි.

යම් අසාධාරණයකට ලක්වුණු පාරිභෝගිකයෙකු ඒ පිළිබඳ පැමිණිලි කළයුත්තේ කුමන ආයතනයටද?

භාණ්ඩ හා සේවාවක් මිලදී ගනු ලැබූ පාරිභෝගිකයෙකු යම් අසාධාරණයකට හෝ රැවටීමට ලක්වුනි නම් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පිහිටු වූ පාරිභෝගික කටයුතු අධිකාරියට අදාළ භාණ්ඩය මිලදීගෙන මාස 03 ක් ඇතුළත තමන් මිලදීගත් භාණ්ඩයේ ලදු පතත් සමග ලිඛිතව පැමිණිල්ලක් කළ හැක. පාරිභෝගික කටයුතු අධිකාරියේ ලිපිනය වන්නේ“අධ්‍යක්ෂ ජෙනරාල්”පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27 වොක්ෂෝල් වීදිය, කොළඔ 02. යන්නය. විශේෂයෙන් ලංකාවේ අලෙවි කරනු ලබන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා මාස 06 ක අවම වගකීමේ කාලයක් ලබාදීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාව වැනි රටක ප්‍රධාන ප්‍රශ්නය වන්නේ පාරිභෝගිකයන් තම අයිතිවාසිකම් පිළිබඳ නොදැන සිටීමයි. තම අයිතිවාසිකම් කඩවූ පාරිභෝගිකයෙකුට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථනයට ඇමතිය හැක.

රංජිත් විතානගේ
සභාපති පාරිභෝගික අයිතීන්
සුරකීමේ ජාතික ව්‍යාපාරය.

advertistmentadvertistment
advertistmentadvertistment