ෂිරාස් බාසික් කුඩු නඩුවෙන් නිදොස් කොට නිදහස්

466

වැටලීම සිදුකළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා නිසා එම සාක්‍ෂිවල විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන් ම දෙදරා ගොස් ඇති බවට තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හෙරොයින් ග්‍රෑම් 453 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවලින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මොහොමඩ් ෂිරාස් බාසික් නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

මොහු 2011.01.11 වැනිදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසල දී අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කියැවිණි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි තනිව රැඳී සිටිය දී බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය හා එවකට පොලිස් කොස්තාපල්වරයකු වූ රත්නසිරි දිවුරුම් පිට සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට පවසා තිබිණි. කෙසේ නමුත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පිටිගල මහතා හරස් ප්‍රශ්න ඇසීමේදී එකී විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ පාසල්වියේ පසුවන දරුවකු සමග සිටිය දී බවට මේ වනවිට උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙසට උසස්වීම් ලබා ඇති රත්නසිරි අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබිණි. සිය පෞද්ගලික ඔත්තුකරුවකු විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව එම වැටලීම සංවිධානය කළ බව පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදී තිබූ නමුත් ඔහු සඳහන් කළ දුරකථන අංකයට එයට වසර 1 1/2 කට පමණ පෙර විසන්ධි කර තිබූ දුරකථන අංකයක් බවට සාක්‍ෂි සහිතව විත්තිය අධිකරණයට සනාථ කළෙන් පැමිණිල්ල පවා එය පිළිගෙන තිබිණි. එම විත්තිකරු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ සටහන් කිරීමකින් තොරව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තමාට සිදුවූ අතපසුවීමක් නිසා මෙම පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය හමුවේ දී පිළිගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් විත්තිකරුවකුට වධහිංසා පැමිණවීමේ චෝදනාවට කුරුණෑගල මහාධිකරණය විසින් තමා වරදකරු කරනු ලැබූ අයෙකු බවට ද පොලිස් පරීක්‍ෂකවරයා අධිකරණය හමුවේ පිළිගෙන තිබිණි. තමාට එරෙහිව කිසිදු අධිකරණයක් හමුවේ නඩු කටයුත්තක් නොපැවැති බවටත් තමා කිසිම අධිකරණයක් විසින් වරදකරුවකු කර දඬුවමට ලක් නොවූ අයකු බවටත් උප පොලිස් පරීක්‍ෂක රත්නසිරි අධිකරණය හමුවේ මුලින් සාක්‍ෂි ලබාදී තිබූ නමුත් විත්තියේ නීතිඥවරයා නැඟූ හරස් ප්‍රශ්නවල දී කුරුණෑගල මහාධිකරණය විසින් ම තමා වරදකරුවකු බවට තීන්දු කොට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබූ බව හෙතෙම පිළිගෙන තිබිණි. මෙවැනි ලෙස විටෙන්විට අසත්‍ය සාක්‍ෂි ලබාදෙන ලද පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සාක්‍ෂි මත විත්තිකරු වරදකරු කිරීම නුසුදුසු බවට නිගමනය කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරව ම එම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

එම විත්තිකරු ඩුබායි රාජ්‍යයට පලාගොස් තිබීම නිසා ඔහු නොමැතිව සාක්‍ෂි විභාගය පැවැත්විණි. මීට මාස කිහිපයකට පෙර පොලිසිය විසින් එම විත්තිකරුට අයත් යැයි කියන රත්මලාන වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් ද කඩා බිඳ දමා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment