පරපුරක් උකස්කොට ණයට ගත්තූ ඩොලර්වලින් කාපු කැවිල්ල

188

2023 වර්ෂයේ මාස 11ට ඩොලර් මිලියන 2771.2ක කෑම ආනයනය කරලා..

බදු අඩු කිරීමෙන් සීනි මගඩිය මෙන් සහල් මගඩියක් සිදුවිය හැකිද?

එළවළු ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගෙන තිබෙන ණය වාරිකයකට ආසන්න මුදලක්

අතීතයේ දී මේ පුංචි දිවයින පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම්පැටබැඳී තිබුණේය. එදා අපේ පැරැන්ණෝ මෙරට වගා කළ හැකි සෑම බෝගයක්ම වගාකරනු ලැබීය. නිෂ්පාදනය කළ හැකි සෑම ආහාර වර්ගයක්ම නිෂ්පාදනය කරගැනීමට කටයුතු කරනු ලැබීය. ආහාර නෞකා එනතෙක් මගබලාගෙන නොසිටියහ. එහෙත් මේ වනවිට සියල්ල උඩුයටිකුරු වී ඇත්තේය. එදා පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම්පැටබැඳී තිබූ මේ පුංචි දිවයින වර්තමානයේ බංකොළොත් රාජ්‍යයක් බවට පත්ව ඇත. ඩොලර් මිලයන ගණනක් වැයකොට පාරිභෝගික භාණ්ඩ රැසක් මෙරටට ආනයනය කරනු ලබන අතර ඒක පුද්ගල ණයගැතිභාවයද සියයට 62.53කින් වැඩිවී ඇත. මෙරටට අවශ්‍ය ආහාර පාන වර්ග පවා ආනයනය කරනු ලබන්නේ පරපුරක් උකස්කොට ණයට ලබාගත් ඩොලර්වලනි. මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1,234,358කි. 2012 වර්ෂයේ දී මෙරට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 264,811 ක්වූ අතර වසර 11කට පසු ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 969,547කින් වැඩි වී තිබුණි.

ඒ විතරක් නොව කංකුන් මිටියේ සිට මෙරට නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග රැසක් මෙරටට ආනයනය කිරීමට සිදුවී ඇත. ඒ රට්ටුන්ගේ බඩකට පිරවීම සඳහාය. ඉකුත් වර්ෂයේ දී (2023) කිරි අල ඇතුළු මෙරට වගා කළ හැකි බෝග කිහිපයක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 295 ක මුදලක් වැයකොට තිබූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානාගේ මහතා සඳහන්කොට තිබුණි. සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරි අල, අන්නාසි, මෑ කරල්, කජු ආදිය මෙලෙස ඩොලර් වැය කර ආනයනය කොට තිබුණි. මෙවන් පසුබිමක් තුළ වෙළෙඳපොළ තුළ පවතින කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස සහල් ටොන් 50000ක් ආනයනය කිරීමට රජය මගින් අවසර ලබාදී තිබුණි. ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ලෙස තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අදාළ තීරණය ජනවාරි මස 02 වැනිදා සිට එළඹෙන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් ඇති වී තිබේ. සහල් ආනයනය කිරීම සඳහා ආහාර කමිටුව ගත් තීරණයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දැඩි විරෝධය පළවී තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී තිබුණි. මේ වන විට වී අස්වනු නෙළන සමය උදාවී ඇති හෙයින් සහල් ආනයනය කළහොත් ලාංකික ගොවීන්ට වී අස්වැන්න විකුණා ගන්නට නොහැකි වනු ඇති බවත් මෙම ගැටලුවට වහාම පියවරක් ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත. රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති බවද කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කරන්නේය.. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙවර හෙක්ටයාර හත් ලක්ෂ අසූ දහසක වී වගා කර තිබෙන බවත් ඉන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් ලැබීමට නියමිතව ඇති බවය.

දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රජය පාරම්බෑවත් වී අස්වනු නෙළන අවස්ථාවේ පිටරටින් සහල් ගෙන්වීමට තීන්දු කරන්නේය. ලොකු ලූනු සහ අර්තාපල් අස්වැන්න ලබා ගන්නා විට අල, ලුනු පිටරටින් ගෙන්වීමට කටයුතු කරයි. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ මෙරට ගොවීන්ය. අනික් කාරණය වන්නේ සහල් ආනයනය කිරීමේ දී පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 65 සිට රුපියල දක්වා අඩුකර තිබේ. ඒ අනුව සහල් මිල අඩුවිය යුතුය. එම වාසිය පාරිභෝගිකයාට ලැබිය යුතුය. මේ අයුරින් සීනි, පාන්පිටිවල විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීමට රජය මගින් කටයුතු කර තිබුණි. එහෙත් ඉන් පාරිභෝගික ජනතාවට අත්වූ සෙතක් නැත. ව්‍යාපාරික ගජමිතුරන් පිරිසක් සීනි හා පාන් පිටි ආනයනය කිරීමේ දී කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ලැබූහ. සහල් බද්ද අඩුකිරීම තුළින් ද මේ සන්තෑසියම සිදුවිය හැකි බවට විපක්ෂය චෝදනා කරන්නේය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන්කොට තිබුණේ ගජමිතුරන් කිහිප දෙනකුට වාසි ලබාගැනීම සඳහා සහල් ආනයනය කිරීමේ දී පනවා තිබූ බද්ද අඩුකොට ඇති බවය.

පරපුරක් උකස්කොට ණයට ගත්තූ ඩොලර්වලින් කාපු කැවිල්ල

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විමසා සිටියේ වෙළෙඳ අමාත්‍යවරය සහල් ජාවාරමක නිරතව සිටිනවාද යන්නයි. කිරි සම්බා ගෙන්වන මුවාවෙන් සම්බා සහල් ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා සැරසෙන බවට නලින් බණ්ඩාර මහතා චෝදනා කළේය. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ඒ සඳහා පිළිතුරු දෙමින් කීවේ මෙවැනි කතාවකි.

“අපි පැහැදිලිව කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා ගෙන්වන සහල් වර්ගයේ මොන හාල් වර්ගයක්ද කියන එක. ජාවාරමක් නෙවෙයි. අද වෙද්දී කීරි සම්බා කිලෝ එකකින් රු 140කට අධික ලාභයක් ඒ නිෂ්පාදකයන් රටේ ජනතාවගෙන් ගන්නවා. මොකද අද වෙද්දී කීරි සම්බා කිලෝ එකක් රු. 340යි, රු. 350යි. පාලන මිලක් තියෙනවා 260කට. නිෂ්පාදන වියදම වෙන්නේ රු.225 යි, 230යි. සම්බා වලත් තත්ත්වය ඕක තමයි. මොකද හේතුව සම්බා පාලන මිල 230යි. හැබැයි 265යි, 270යි මිල වෙන්නේ. ඒ තුළ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙළක් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හැබැයි කීරි සම්බා සහ සම්බා තව මාස එකහමාරක් විතරයනකම් වෙළෙඳපොළට එන්නේ නැහැ. මොකද හේතුව ඉස්සෙල්ලම නාඩු එනවා. ඊළඟට සම්බා එනවා. ඊළඟට කීරි සම්බා එනවා. ඒ නිසා මේ සහල් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හාලක් තමයි අපි ආනයනය කරන්නේ. මේක 21 වෙද්දී ඒ කටයුතු අවසන් කරන්න ඕනේ. නමුත් මම හිතන්නේ නැහැ අවසන් කරන්න පුළුවන් වෙයි කියල දුන්න කාල සීමාව තුළ. කරන්න පුළුවන් කියා වෙළෙඳ ඇමැතිවරයා කියන්නේය.

මේ වනවිට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟයක් පවතින අතර වෙළෙඳුන් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවිකරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ රට තුළ කිසිදු සහල් හිඟයක් නොමැති අතර මේ නිසා සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය. ඒ කොයිහැටි වුවද 2022 වසරේ දී ඩොලර් මිලියන 400ක මුදලක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලැබීය. මහ බැංකු වාර්තාවලට අනුව ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස හය තුළදී ඩොලර් මිලියන 2.5ක මුදලක් වැයකොට මෙරටට සහල් ආනයනය කොට තිබුණි. මුදල් අමාත්‍යාංශය මගින් නිකුත්කොට ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවට අනුව ඉකුත් වර්ෂයේ (2023) පළමු භාගයේ දී වී වගාව සියයට 19.8කින් වර්ධනය වී ඇත. 2022/2023 මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63කි. නිෂ්පානය කරනු ලැබූ සහල් මෙට්‍රික් ටොන් ප්‍රමාණය මිලියන 1.65කි. කෙසේ වුවද 2023 වර්ෂයේ මැයි සිට සැප්තැම්බර් මස දක්වා රටේ පැවති උග්‍ර නියං තත්ත්වය හේතුවෙන් යල කන්නයේ වී අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවී තිබුණි. යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් විය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ආහාර හා පාන වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2771.2ක මුදලක් වැයකොට තිබුණි. මෙය 2022 වර්ෂයේ මෙම කාලසීමාව තුළ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය කළ මුදලට වඩා සියයට 7.8ක වැඩිවීමකි. 2023 වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලය තුළදී ආහාර හා පාන වර්ග ආනයනය කිරීම සඳහා වැඩිම මුදලක් වැයවී ඇති අතර වැයවී ඇති මුදල ඩොලර් මිලියන 1541කි.

ඉකුත් වර්ෂයේ 2023 මුල් මාස 11 තුළ එළවළු ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 326.5ක මුදලක් වැයකොට තිබුණි. මේ යටතේ පරිප්පු, ලූනු, අර්තාපල් හා රනිල කුලයට අයත් එළවළු වර්ග ආනයනය කොට තිබුණි. ලොකු ලූනු ආනයනය කිරීම සඳහා පමණ ඉකුත් වර්ෂයේ මුල් මාස හය තුළදී වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 7.5කි. එළවළු ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගෙන තිබෙන ණය වාරිකයකට ආසන්න මුදලකි. මේ දිනවල වෙළෙඳපොළ තුළ එළවළු මිල ගණන් ද අහස උසට නැග තිබේ. ඒ විතරක් නොව සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් මිලියන 390.4කි. කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 256.8ක මුදලක් හා මුහුදු ආහාර ආනයනය කිරීම සඳහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 71.4කි. කුළුබඩු ආනයනය කිරීම සඳහාද ඩොලර් මිලියන 121.6ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂයේ නොවැම්බර් මාසය තුළ දී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 265.2ක මුදලක් වැයකොට තිබුණි.

කුළු බඩු සඳහා අනාදිමත් කාලයක සිටම අපේ රට ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. එහෙත් ණයට ලබා ගන්නා ඩොලර් යොදවා කුළුබඩු ආනයනය කිරීමට පියවරගෙන තිබේ. අතීතයේ මේ පුංචි දිවයින සහලින් පමණක් නොව කිරි නිෂ්පාදනයෙන් ද ස්වයංපෝෂිතව පැවතුණි. එහෙත් කිරිපිටි ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක මුදලක් වැය කිරීමට සිදුවී තිබේ. කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා නොවැම්බර් මාසය තුළ දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 18.7ක මුදලක් වැයකොට තිබුණි.

පරපුරක් උකස්කොට ණයට ගත්තූ ඩොලර්වලින් කාපු කැවිල්ල

ඒ විතරක් නොව අපේ රට වටා ඇත්තේ මහ මුහුදය. එහෙත් මත්ස්‍යයන් ඇතුළු මුහුදු ආහාර ද විදේශීය රටවලින් ආනයනය කරයි. හාල්මැස්සන් සහ කරවල ආනයනය කිරීමට වසරකට රුපියල් කෝටි 995ක මුදලක් වැය වන අතර ඉකුත් වර්ෂයේ මුල් මාස හය තුළදී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 222.1 දක්වා සියයට 2.0කින් පහත වැටී තිබුණි. එහෙත් ධීවරයන් පවසන්නේ වෙනත් කතාවකි. ටින් මාළු කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදනවලට වැට් බදු නියම වීමත් සමඟ දේශීය ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ටින් මාඵ කම්හල්වලින් මිලදී නොගන්නා බවට ඔවුහු චෝදනා කරති.

ටින් මාළු කම්හල් සඳහා දේශීය ධීවරයන්ගේ මාළු මිලදී නොගැනීම හේතුවෙන් තම මත්ස්‍ය අස්වැන්න විකුණාගත නොහැකි වී ඇති බවද ඔවුහු පෙන්වාදෙති. පසුගිය කාලයේ ටින් මාළු නිෂ්පාදනය සඳහා දේශීය ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගනු ලැබූවද ටින් මාළු ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැට් බදු පැනවීමත් සමග ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න එම කම්හල් මගින් නතරකොට තිබේ.

මේ හේතුවෙන් දේශීය ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ධීවර සමූපකාර සමිතියේ සභාපති පී. බී. ගාමිණී මහතා පවසන්නේය.

පිටරටින් ආනයනය කරන සැමන්වලට කිසිදු වැට් එකක් නෑ. රුපියල් 200 ටැක්ස් එකක් විතරයි ගන්නේ. අපි පහුගිය කාලේ ඇමැතිතුමා නියෝජ්‍ය ඇමැතිතුමා ලේකම්තුමා එක්ක සාකච්ඡා කරලා පහදලා දුන්නා මේ කාලේ මාර්තු වෙනකම් මාළු අස්වැන්න වැඩි කාලේ. මේ කාලය තුළ පිටරට මාළු කිලෝ එකක්වත් ගේන්න එපා කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් මාළු කිලෝ ලක්ෂ දහයකට වැඩිය පිටරටලින් ගෙනල්ල තියෙනවා. රට වටේට මේ වගේ ධීවර වරායන් තියෙනවා ඒ හැම එකේම මාළු බානවා. ඒ බාන මාළුවලට ධීවරයා මොකක්ද කරන්නේ.

මාළු කිලෝ දහදාහක් ගෙනිච්චත් ලක්ෂ දොළහක් හම්බවෙයි. ඒකෙන් අයිස් ගහන්නයි තෙල් ගහන්නයි ප්‍රමාණවත් නෑ. ඉතින් කොහොමද මේ කර්මාන්තය කරන්නේ. අපිත් ඉදිරි අනාගතයේ එක බෝට්ටුවක්වත් යවන්නේ නැතුව ගැටගහලා තියෙනවා’ යැයිද හෙතෙම සඳහන් කළේය.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියන්නේ මෙවැනි කතාවකි.

දැන් මේ ධීවර වරායට ඇවිල්ලා බලනකොට මහ ඛේදවාචකයක්නේ තියෙන්නේ. මාළු ටික ගොඩබාල තියෙනවා නමුත් විකුණා ගන්න විදියක් නෑ. තෙල් මිල වැඩි කළා, අයිස් මිල වැඩි කළා, වරාය ගාස්තු ආම්පන්න මිල වැඩි වුණා. බහුදින ධීවර යාත්‍රාවක් මුහුදු ගියේ ලක්ෂ හතළිහක් තිස්පහක් වියදම් කරලයි. මුහුදු ගිහිල්ලා අමාරුවෙන් අල්ලාගෙන එන මාළු ටික විකුණා ගන්න බෑ. අද වන විට ලංකාවේ තියෙන සැමන් කර්මාන්ත ශාලා දහ අටම වහලා දාලා තියෙන්නේ.

මෙරට ටින් මාළු කර්මාන්ත ශාලා වැඩිපුරම මිලදී ගත්තේ අපේ ධීවරයාගේ මාළු ටික. වැට් එක ගහලා සැමන් කර්මාන්ත ශාලාවලටත් මේ නිසා අපේ මාළු ටික විකුණාගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

අපේ ධීවර ප්‍රජාවට මාළු කිලෝ එකක් තෙල් ලීටර් භාගයක වටිනාකමටවත් විකුණා ගන්න විදියක් නෑ. මේ වැට් බද්ද අද මේ රටේ ධීවර කර්මාන්තයේ විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා. මෙහෙම ගියොත් මේ රටේ ධීවර කර්මාන්තය තව සති දෙක තුනකට වඩා යන්නේ නැති බව රත්න ගමගේ මහතා සඳහන් කරන්නේය.

මත්ස්‍ය අස්වැන්න වැඩි කාලයේ දී මාළු පිටරටින් ආනයනය නොකරන ලෙස ධීවරයන් කෙතරම් ඉල්ලීම් කළද ඒ ගැන බලධාරීන්ට වගේ වගක් නැත. අපේ රටේ වී, ලූනු, අර්තාපල් ගොවීන්ටද සිදුවී ඇත්තේ මේ සන්තෑසියම වන අතර රජයට මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ද නැත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment