සීනි බදු මගඩියේ අලුත්ම කතාව!… ආදායම් බදු හැටියට 30%ක් ආපසු අයකර ගනියි!

118

සීනි බදු වංචා කිරීමේ මාතෘකාව යළි කරලියට පැමිණ තිබේ. ඒ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් සීනි බදු වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයත් සමගය. සීනි බදු මගඩියෙන් රජයට රුපියල් බිලියන 16ක පාඩුවක් සිදුවී තිබුණි. එකී පාඩුවෙන් සියයට 30ක් සීනි ආනයනකරුවන්ගෙන් ආදායම් බදු ලෙස අයකර ගැනීමට කටයුතු කරන බැව් මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දැනට පවතින නීතිය යටතේ ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් සියයට 24ක මුදලක් අයකර ගැනීමට හැකි බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා අනාවරණය කළේය. එම ප්‍රමාණය සියයට 30 දක්වා වැඩිකර අයකර ගැනීමේ හැකියාවක් පවතින බව මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ විශ්වාසයයි.

● මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ බලාපොරොත්තුව

පසුගිය රජය මගින් 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ අරමුණින් සීනි ආනයනය කිරීමේ දී සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීමට කටයුතු කරනු ලැබීය. කෙසේවුවද සීනි සඳහා වූ බද්ද අඩුකිරීමට සාපේක්ෂව එම වාසිය පාරිභෝගිකයා වෙත නොලැබුණි. එම බදු වාසිය ලබාගත් පාර්ශ්වයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඉදිරියේ දී හෝ එම ආර්ථික වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා සලකා බැලිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. එසේ නොමැතිනම් රජය විසින් කැපකළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. සීනි මගඩියෙන් වාසි ලැබූ සමාගම් වලින් ආදායම් බදු ලෙස වංචා කළ මුදලින් කොටසක් හෝ අයකර ගැනීමට යෝජනා කිරීම ප්‍රගතිශීලී යෝජනාවකි. දේශීය ආදායම් බදු කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදුමුදල් අයකර ගැනීමට කටයුතු කිරීම මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ අපේක්ෂාවයි.

සීනි බදු වංචාව පමණක් නොව, මහ බැංකු බැඳුම්කර වංචාව, සුදුලූනු වංචාව, ගල් අඟුරු ආනයනය කිරීමේ දී වූ වංචාවන්, මෙන්ම වැට් බදු වංචාවෙන් රජයට අහිමි වූ ආදායම ලබා ගැනීමට ද කටයුතු කළ යුතුය. මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ මෙකී යෝජනාව ඉටුකර ගැනීමට හැකිවුවහොත් එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.

● සීනි මගඩියෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් මිලියන 16.763යි

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළදී රජය රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමිකරගනු ලැබීය. මේනිසා රාජ්‍ය ආයතනයක් වන ලංකා සතොස ආයතනයටද 2020 ඔක්තෝබර් මස 14 දින සිට පෙබරවාරි මස 08 වැනි දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 102ක පාඩුවක් වී තිබුණි. රජය විසින් සීනි සඳහා ලබාදුන් බදු වාසිය රට්ටුන්ට නම් නොලැබුණි. ගජමිතුරන් පිරිසක් තම මඩිය තරකරගනු ලැබීය. සීනි සඳහා පනවා තිබූ බදු මුදල අඩුකළද එම කාලය තුළ පාරිභෝගික ජනතාවට දැනෙන ආකාරයේ සීනි මිලෙහි වෙනසක් සිදු නොවීය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සුදු හා රතු සීනිවල මාසික පාරිභෝජනය මෙටි්‍රක්ටොන් 50000කි. එහෙත් මෙරට මාසික සීනි නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 4359කි. අප රටේ වාර්ෂික සීනි පාරිභෝජනය මෙටි්‍රක්ටොන් 6.10000කි. එහෙත් මෙරට වාර්ෂික සීනි නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් 52.308කි එම ප්‍රමාණය අප රටේ සමස්ත සීනි පරිභෝජනයෙන් සියයට 09කි. පාරිභෝගික ජනතාවගේ සහ විවිධ කර්මාන්තවල අවශ්‍යතාවන් සඳහා ඉතිරි සීනි තොගය විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදුවී ඇත.

● මෙරට සීනි පරිභෝජනය හා නිෂ්පාදනය

1974 වර්ෂයේ දී සීනි මෙටි්‍රක්ටොන් 46ක් ආනයනය කරමින් මෙරටට සීනි ආනයනය ආරම්භ කරනු ලැබීය. සාමාන්‍යයෙන් වර්ෂයකට මෙරටට සීනි මෙටි්‍රක් ටොන් 5,96,000ක් පමණ ආනයනය කරනු ලැබේ. සීනි සඳහා බද්ද අඩුකිරීමට ප්‍රථම එනම් 2020 වර්ෂයේ ජනවාරි 01 වැනිදින සිට ඔක්තෝබර් මස 13 වැනිදින දක්වා මාස 09 කාලය තුළ මෙරටට සීනි ආනයන කරනු ලබන ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනකු විසින් සුදු සීනි කිලෝග්‍රෑම් ග්‍රෑම් තිස්නමකෝටි දහනමලක්ෂ හතලිස්පන්දහස් අටසිය අනූනමයක්, (391,945,899) ක් ආනයනය කොට තිබුණි. අනිකුත් ආනයනකරුවන් විසින් ආනයනය කොට තිබුණේ සුදු සීනි කිලෝ ග්‍රෑම් හාරකෝටි හැටහත්ලක්ෂ විසිනමදහස් අටසිය හැටදෙකකි. (46,729,862)කි. එහෙත් බදු මුදල අඩුකිරීමෙන් පසු ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනකු සහ සුළු ආනයනකරුවන් විසින් සුදු සීනි මෙටි්‍රක්ටොන් දෙලක්ෂ හැත්තැහත්දහස් හත්සිය පහළොවක් (277,715) ක් මෙරටට ආනයනය කොට තිබුණි. ඒ 2020 ඔක්තෝබර් මස 14 දින සිට පෙබරවාරි මස 28 දක්වා කාලය තුළදීය. බදු මුදල අඩුකිරීමට ප්‍රථම මෙරට මාසක සීනි ආනයනය කිලෝග්‍රෑම් ප්‍රමාණය හැටහය ලක්ෂ හැටහයදහස් හැටකි. (666,660) බදු මුදල අඩුකිරීමෙන් පසු මාසික සීනි ආනයනය, කිලෝග්‍රෑම්, දෙකෝටි හැත්තෑඅටලක්ෂ විසිතුන්දහස් හාරසියඅසූනමයක්. (27,823,489) දක්වා අසාමාන්‍ය ලෙස වර්ධනය වී තිබුණි.

● සීනි ආනයනයෙන්, සියයට 45ක්,පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසින් ආනයනය කරලා

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ආනයනය කොට තිබූ සීනි මෙටි්‍රක්ටොන් 277,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසිනි. එම සමාගම විසින් සීනි මෙටි්‍රක්ටොන් 125207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ විල්මා පුද්ගලින සමාගමේ සීනි ආනයනය සියයට 1222 කින් වැඩිවී තිබුණි. එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝග්‍රෑම් 27,823,989කි. එම පදනම මත මෙකී සමාගමට රුපියල් හැටදෙකෝටි විසිනමලක්ෂ විසිපන්දහස් අටසිය විස්සක (6,229,025,820) ක බදු වාසියක් බදු ගෙවන අවස්ථාවේ දී හිමිව තිබුණි. කෙසේවුවද සීනි ආනයනය කරනු ලැබූ වෙනත් කිසිදු සමාගමක් එම කාලය තුළ පෙර පැවති ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා ආනයනය කර නොතිබුණි. ඒ විතරක් නොව පිරමිඩ් විල්මා පුද්ගලික සමාගම විසින් බන්දිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා ආනයනය කරනු ලැබූ සීනි මෙටි්‍රක්ටොන් 7608ක් 2020 ඔක්තෝබර් මස 13 දින වනවිට එම බන්දිත ගුදමේ රඳවා තිබුණි. එම තොගයෙන් සීනි මෙටි්‍රක්ටොන් 7468ක් බදුඅඩුකළ දිනයේම සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා ගුදමෙන් ඉවත්කර ගැනීමට එම සමාගම කටයුතු කර තිබුණි.

● සීනි බදු මගඩියෙන් විල්මා සමාගමට කෝටි 62ක වාසියක්

එමගින් එම පුද්ගලික සමාගමට එක් දිනක් තුළ රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් හිමිවි තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම බදුසහනය පැවති කාලය තුළදී දුඹුරු සීනි මෙටි්‍රක්ටොන් 59.234ක් ආනයනය කොට තිබුණි. බදුමුදල අඩු කිරීමෙන් පසු දුඹුරු සීනි ආනයනයේ අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබී තිබුණි. එක් ආනයනකරුවකු විසින් සීනි ආනයනය සියයට හයකින් පමණ වර්ධනය කරගෙන තිබූ අතර එහි සාමාන්‍ය අගය සියයට 235කින් පමණ වැඩිවී තිබුණි. දුඹුරු සීනි සඳහා පාලන මිලක් නියම නොකිරීම අසාමාන්‍ය ලෙස සීනි ආනයනයේ වර්ධනයට හේතුවී තිබුණි. බදුසහන ලබාදීමෙන් පසු සීනි ආනයනය පාලනය කිරීම සඳහා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සීනි ආනයනය බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. එම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වී නොතිබුණි. සීනි ආනයනය කිරීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ සියලුම ඉල්ලුම්කරුවන්ට ඔවුන් ඉල්ලුම්කළ සියලු සීනි තොගයන් ආනයනය කිරීමට ආනයන පාලක විසින් අනුමැතිය ලබා දී තිබුණි. සීනි ආනයනය සඳහා බලපත්‍ර ක්‍රමය 2020 ඔක්තෝබර් මස 30 වැනිදින සිට ක්‍රියාත්මක විය යුතුවිය. එහෙත් බලපත්‍ර නිකුත් කිරීම 2020 නොවැම්බර් මස 18 වන දින දක්වා ප්‍රමාද වී තිබුණි.

● බලපත්‍ර නොමැති ආනයනකරුවන් 18 දෙනකු සීනි ආනයනය කරලා

එම කාලය තුළ බලපත්‍ර නොමැතිව ආනයනකරුවන් 18 දෙනකු සීනි මෙට්‍රක්ටොන් 101,527ක් ආනයනය කිරීමට කටයුතු කර තිබුණි. එහෙත් ආනයන බලපත්‍ර සඳහා පනවනු ලැබූ දඩමුදල සියයට 05 සිට 02 දක්වා අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් විසින් කටයුතු කරනු ලැබීය. දඩමුදල අඩුකිරීමට ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත බලතල නොමැති බව විගණන මගින් අනාවරණය කොට ඇත. මෙසේ දඩමුදල් අඩුකිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් හතළිස් තුන්කෝටි තිස්එක්ලක්ෂ විසිදහස් එකසිය හතළිස්හතක (433,120,147) ක ආදායමක් අහිමි වී තිබුණි. බදු අඩුකිරීමෙන් පසු විශාල වශයෙන් සීනි තොග ආනයනයනය කිරීමට ආනයනකරුවන් පෙලඹි තිබුණි. මේ නිසා ඩොලර් පිටරටවල්වලට ඇදියෑම වැළැක්වීමේ අරමුණින් සීනි ආනයනය පාලනය කිරීම සඳහා මෙකී බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබීය. එහෙත් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය මෙටි්‍රක්ටොන් 61,714ක් දක්වා වැඩිවිය. බලපත්ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර මාසික සීනි ආනයනය මෙටි්‍රක්ටොන් 41,779ක් විය. මේ අනුව බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු මාසික සීනි ආනයනය සියයට 47කින් වැඩිවී තිබුණි. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් සිය වෘත්තිය වගකීම් නිසි පරිදි ඉටුකර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

●ලංකා සතොසට වූ පාඩුව කෝටි දහය පනී

සීනි ආනයනය කිරීම සඳහා පැවති වෙළෙඳ භාණ්ඩ බදුමුදල ශත 25 දක්වා අඩුකොට තිබියදී පුද්ගලික ආනයනකරුවන්ගෙන් වැඩිමිලට සීනි මිලදී ගැනීම හා පාලන මිල පැනවීම නිසා සීනි අලෙවි කිරීමෙන් ලංකා සතොස ආයතනයට රුපියල් දසකෝටි විසිඑක්ලක්ෂ දහතුන්දහස් නමසිය හැත්තෑහතරක (102,113,974)ක පාඩුවක් වී තිබුණි. සීනි සඳහා බදු අඩුකරන අවස්ථාව වනවිට සතොස සතුව සීනි මෙටි්‍රක්ටොන් 919.4ක තොගයක් තිබී ඇත. එම සීනි තොගය කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 125.41 මිලක් ගෙවා මිලදීගෙන තිබුණි. එම සීනි තොගය රුපියල් 85 බැගින් අලෙවි කිරීම නිසා සතොසට රුපියල් තුන්කෝටි හැත්තැඑක්ලක්ෂ පනස්නමදහස් නමසිය හැත්තෑහතරක (37,159,974) අලාභයක් වී තිබුණි. එමෙන්ම සීනි සඳහා පැවති බද්ධ ශත 25 දක්වා අඩුකිරීමෙන් පසුවද ලංකා සතොස ආයතනය විසින් සීනි මොටි්‍රක්ටොන් 2050ක් රුපියල් 92,112, සහ 121.50 යන මිල ගණන් යටතේ මිලදීගෙන තිබුණි. එසේ වැඩිමිලට මිලදී ගත් සීනි තොගය රුපියල් 85 බැගින් කිලෝවක් අලෙවි කිරීම තුළින් රුපියල් රු.47,000,000ක අලාභයක් සිදුවී තිබුණි.

සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 80ක උපරිම තොගමිල නියම කිරීමෙන් පසුවද සීනි කි.ග්‍රෑම් 2,378,000ක් එම මිලට වඩා වැඩිමිලට මිලදී ගැනීම හේතුවෙන් 17,594,000 ක පාඩුවක් සතොස ආයතනයට සිදුවී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රාජ්‍ය ආයතනයක් වූ ලංකා සතොස රජය විසින් නියම කරනු ලැබූ පාලන තොග මිලට සීනි මිලදී ගැනීමට කටයුතු කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

● පාරිභෝගික අධිකාරිය විසින් තොග හා සීනි ආනයනකරුවන්ගේ විකුණුම් මිල ගැන සොයා බලා නැහැ

වෙළෙඳපොළේ සීනි මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීනි සඳහා පාලන මිලක් නියම කරනු ලැබීය. එහෙත් සීනි මිලෙහි වෙනසක් සිදු නොවීය. රජය මගින් පාරිභෝගිකයාට ලබාදුන් වාසිය. සීනි ආනයනකරුවන් හා වෙළෙඳුන් විසින් හිමිකරගනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2020 නොවැම්බර් මස 10 දින සිට 2021 ජනවාරි මස 31 වැනිදින දක්වා කාලපරිච්ඡේදය තුළ සිල්ලර වෙළෙඳුන් 113ක් කොටුකරගනු ලැබීය. එහෙත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තොග හා සීනි ආනයනකරුවන්ගේ විකුණුම් මිල පිළිබඳ සොයා බැලීමක් සිදුකර නොතිබුණි. ඒ විතරක් නොව සීනි බද්ද අඩුකිරීමට වෙළදපොලේ තිබූ සීනි තොග පිළිබඳ කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත්කර නොතිබුණි.

සීනි ආනයනය හා තොග වෙළඳාම සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශය සතුව පවතී. ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් විසින් සීනි තොග අනවශ්‍ය ලෙස රඳවාගෙන තිබේද සීනි තොග කුමන මිල ගණන් යටතේ අලෙවිකොට තිබේද යන්න පිළිබඳ තොරතුරු ලබාගැනීමට විගණකාධිපතිට අධිකාරි බලයක් නොමැත. එහෙත් මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රමාණවත් දත්ත යාවත්කාලීන කොට පවත්වාගෙන ගොස් නොතිබුණි. මෙම තත්ත්වය තුළ රජය විසින් පාරිභෝගිකයාට ලබාදුන් බදු සහනය කුමන ප්‍රමාණවලින් ආනයනකරුවන් හා තොග වෙළඳුන් ලබාගත්තේ ද යන්න පිළිබඳ ගණනය කිරීමට නොහැකි වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment