විදුලි ගාස්තුව සියයට 157කින් නග්ගලා!

69

ලාබයි ලාබයි වෙන්දේසිය ඇරඹෙයි

ලබන මස විදුලි ගාස්තුව අඩු වන්නේ සියයට තුනකින්

විදුලි බලාගාර යෝජනා හමස් පෙට්ටියේ

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයකි. රට බංකොලොත් නම් රටේ ජනතාව ද බංකොලොත්ය. බස් ගාස්තු, බඩු මිල හා කී නොකී අන් සෑම දෙයක්ම ගිනි ගණන්ය. දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේද අපේ රටේය. ඒ බැව් කියන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයය. එම ආයතනය කළ නවතම විශේලේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි ගාස්තුව අනෙක් රටවලට වඩා සියයට 2.5 සිට සියයට 3 දක්වා ප්‍රමාණයකින් වැඩි බව හෙළිවී ඇත. දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තුව ඇත්තේ පාකිස්තානයේය. නමුත් ශ්‍රී ලංකාවට සාපේක්‍ෂව පාකිස්තානයේ විදුලි ගාස්තුව බෙහෙවින් අඩු බව ද එම විශේලේශණයේදී තහවුරු වී ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි ඒකක සියයක් පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පාකිස්තානයේ නිවසක් හා සැසඳීමේදී අපේ රටේ සියයට පනහකින් ඉහළ බව ද තහවුරු වී ඇත. විදුලි ඒකක තුන්සියයක් පාවිච්චි කරන නිවසක් ගෙවිය යුතු ගාස්තුව පාකිස්තානයට වඩා සියයට අනූහතක් ඉහළ බව ද එම ආයතනය පවසයි.

මේ සා විශාල විදුලි ගාස්තුවක් ගෙවීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන බව ද කිය වේ. විදුලි ඒකක සියය, දෙසීය ආදී විදුලි ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන්නන්ට ගෙවීමට සිදුව තිබෙන ගාස්තුව මෙම විශේලේශණයට හසුවී නැති අතර අඩු ආදායම්ලාභීන්ට සිදුවී තිබෙන නස්පැත්තිය මීටත් වඩා දරුණු බව ද කිව යුතුය.

ශ්‍රී ලංකාවේ මේ තරම් ඉහළ විදුලි ගාස්තුවක් අය කරන්නේ මන්ද යන්න ගැටලුවකි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විදුලි ජනනන සැලසුම් සකස් කළත් ඒ කිසිවක් දශක ගණනක් තිස්සේ හමස් පෙට්ටිවල ගොඩගසා ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලි මාෆියාව නිසා අඩු වියදම් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බව ද කිය වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉහළ නිලධාරීන් මේ අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට ඉඩ නොදෙන බව රහසක් ද නොවේ. මෙරට පුද්ගලික ඩීසල් බලාගාරවලින් නිපදවන විදුලිය මිලදී ගන්නට විදුලිබල මණ්ඩලයට සිදුවී ඇත. ඒ මගින් ඇතැම් නිලධාරීන්ට කොමිස් මුදල් හිමි වන බව ද ප්‍රසිද්ධ චෝදනාවකි. සෑම වසරකම පාහේ රටට බලපාන වියළි කාලගුණික තත්ත්ව හමුවේ හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා පුද්ගලික ඩීසල් බලාගාර සමග ගිවිසුම් ගසන විදුලිබල මණ්ඩලය එම බලාගාර හිමියන්ගෙන් මිලදී ගන්නා විදුලි ඒකකයක් සඳහා රුපියල් අසූවක් වැනි ඉහළ මිලක් ගෙවනු ලැබේ. ඇතැම් විට ඊටත් වඩා මුදලක් ද වැය කරන අතර මණ්ඩලය විදුලිය මිලදී ගත්තත් නොගත්තත් ගිවිසුමට අනුව මුදල් ගෙවීම් කළ යුතු බව ද රජයේ විගණන වාර්තා මගින් තහවුරු කර ඇත. විදුලි ගාස්තුව රටක ආර්ථිකයට ඉතා තීරණාත්මකය. ආහාර පානවල සිට සියලුම නිෂ්පාදනවල මිලට විදුලි ගාස්තුව එකතු වන බව ද ඇත්තය.

ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 10 වැනිදා සිට 2023 වසර දක්වා කාලයේදී විදුලි ගාස්තුව සියයට එකසිය පනස් හතකින් (157) ඉහළ දමනු ලැබීය. මෙරට විදුලි ගාස්තුව වසරක කාලයකදී ඒ සා විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව 2022 අගෝස්තු මස 10 වැනිදා විදුලි ගාස්තුව සියයට හැත්තෑ පහකින් 2023 වසරේ පෙබරවාරි 15 වැනිදා සියයට 66.2 කින්ද 2023 ඔක්තෝබර් 18 වැනිදා සියයට දහඅටකින්ද විදුලි ගාස්තු ඉහළ දමනු ලැබීය. මේ අතර 2023 පෙබරවාරියේ සිදුකළ විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 14.12 කින් ගාස්තු පහළ දමනු ලැබීය. ඒ අනුව මාස දහහතරක කාලයේදී විදුලි ගාස්තු සියයට 157ක ප්‍රතිශතයකින් ඉහළ දමනු ලැබීය.

විදුලිබල පනතෙහි 5 වැනි සහ 30 වැනි වගන්තිවලට ප්‍රකාරව වසරකදී විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ දෙවතාවකි. නමුත් පනතද නොතකා හදිසි තත්ත්වයක් යැයි කියමින් තුන්වැනි වතාවටත් ඉකුත් 2023 ඔක්තෝබරයේ විදුලි ගාස්තු සංශෝධනයකට ලක් කෙරෙණි. ඒ අනුව 2023 ඔක්තෝබර් 18 වැනිදා දින සියයට දහඅටකින් වැඩි කෙරිණි. මෙම වසරේදී ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනය කරන බව කීවත් තාමත් එය ඉටුකර නැත. විදුලිබල මණ්ඩලය මේ වනවිට රුපියල් කෝටි 8000කට අධික ලාභයක් ලබා තිබියදී ලබන මස විදුලි ගාස්තු අඩු කරන්නට යන්නේ සියයට තුනක් වැනි සුළු ප්‍රතිශතයකිනි. වෙරිටේ රිසර්ච් ආයතනය කළ නවතම විශ්ලේෂණයේදී දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ගෙවන රට ශ්‍රී ලංකාව බව තහවුරු කිරීම සත්‍යයකි.

මේ අප ජීවත්වන්නේ ආර්ථික අමාරුකම් දරුණුම වූ කාලවකවානුවකය.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයක් රට තුළ පවතී. මින් වඩාත්ම බැට කන්නේ දුප්පතුන්ය. සමස්තයක් ලෙස පොදු මහජනතාවම මේ ආර්ථික අර්බුදය හමුවේ පෙර කිසි කලක මුහුණු නොදුන් අර්බුදයක ගිලී සිටින වග ද ඇත්තකි.

මේ වනවිට තෙල් සංස්ථාව ලාබය. එම ආයතනයේ ලාබය රුපියල් කෝටි 880කි. විදුලිබල මණ්ඩලය ද ලාබය. මණ්ඩලයේ සැබෑ ලාබය රුපියල් කෝටි අටසියයකට ආසන්නය. ලිට්‍රෝ ගෑස් සමාගම මේ වනවිට ලබා තිබෙන ලාබය රුපියල් කෝටි හත්සියයකි. මෙතෙක් කලක් දිගින් දිගටම පාඩු ලැබූ මේ ආයතන ලාබ ලබා ඇත්තේ දරාගත නොහැකි තරමට තෙල්, විදුලිය, ගෑස් මිල ගණන් හිත්පිත් නොමැති පරිදි ඉහළ දැමූ නිසාය. ලංගම, ජාතික ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආදී කී නොකී රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සියල්ල ලාබ ලබන තැනට මිල ඉස්සූ බව රහසක් ද නොවේ.

හොරකම, දූෂණය, නාස්තිය ආදී කාරණා නිසා බංකොළොත් වී විනාශ වී ගිය මෙකී රාජ්‍ය ආයතන දැන් ලාබ ලබන්නේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ තුන්වේල දෙවේලට හෝ එක වේලකට තල්ලුකර දමමිනි.

නැතිනම් පොල් සම්බෝලයකට හා බතට පමණක් සීමාකර දමමිනි. දරුවන්ට හරිහමන් කෑමක් නැත. දෙමාපියන් රෑ නින්දට යන්නෙත් උදෑසන අවදි වන්නේත් අද දවස ගෙවා ගන්නේ කෙලෙසද යන දෙගිඩියාවෙනි. මේ රටේ සමස්ත ජනතාවගෙන් සියයට අසූවක්ම දැන් සිටින්නේ සුන්වූ බලාපොරොත්තු සහිතවය. ඇතැම්හු මේ රට පාලනය කළ පාලනය කරන උන් පණ පිටින් අපායට යායුතු බවට කියමින් දෙස් දෙවොල් තබති. තවත් ඇතැමුන් පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහටම ශාප කරති. තවත් පිරිසක් කියන්නේ මින් පසු මේ එකෙකුටවත් ඡන්දය ලබානොදී ඡන්ද කාඩ්පත කටුකා දමන බවකි. පිරිසක් නිහඬය. නිහඬ පිරිස් අතර හොරකම, වංචාව, දූෂණයට හා අයථා ක්‍රම හා ආත්මාර්ථකාමී ලෙස තම බඩ වියත ගැන පමණක් සිතන අයද වෙති. මේ අතර හෙට ගැන ලෝකය ගැන හා සාමූහික හැඟුම් ඇති තරුණ හා යම්කිසි පිරුණු මනසක් ඇති උන් මීට එරෙහිව හඬ නඟති.

ඒ සටහන් කරගෙන ගියේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පවතින හා පෙනෙන වටපිටාවේ පැතිකඩක් පිළිබඳවය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ලිට්‍රෝ ගෑස් සමාගම ආදිය සමස්ත ජන ජීවිතවලට අතිශය සමීප ඒවාය. මොන තරම් සමීපද යත් ඉන්ධන නැතුව බැරිය. විදුලි බලය නොමැතිව බැරිය, ගෑස් ටිකක් නැතුවම බැරි තැනට පත්වී ඇත. එතරම්ම පොදු මහජනතාවගේ ජීවිත හා බැඳී තිබෙන මේ අවශ්‍යතාවල මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළ දමා ඇත.

මේ වනවිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 456කි. ඩීසල් ලීටරය රුපියල් 363කි. සුපිරි ඩීසල් ලීටරය රුපිය්ල 468කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 262කි. මේ ගණන් හිලව් දරාගත හැක්කේ එහෙමත් මිනිසෙකුටය. මැති ඇමැතිලාට, රජයේ ඉහළ නිලධාරීන්ට හා ඇතැමුන්ට නොමිලේ ඉන්ධන දීමනා ලැබුණත් මේ රටේ දෙකෝටි විසිලක්‍ෂයක් වන ජනතාවගෙන් සියයට අනූනවයකටම නොමිලේ ඉන්ධන ලැබෙන්නේ නැත. තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 8800ක් (බිලියන 8.8) ක් ලාබ ලබා ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක් මගින් තහවුරු කර ඇත.

ඉන්ධන මිල මේසා විශාල ලෙස වැඩි වූයේ වත්මන් පාලනය යටතේය. යතුරුපැදියක් හිමි අයකුට ගමනක් බිමනක් යන්නට පෙට්‍රල් ටිකක් ගසාගත් පසු අත ඉතිරිවන මුදලක් නැත. බස් හිමියන් නම් ගහන ගහන ඩීසල් ලීටරයකටම යන මුදලත් ලාබයත් යන දෙකම මගියාගේ සාක්කුවට බැස ඇද ගනී. ඉන් කෙළ වෙන්නේද බස් එකක එහෙ මෙහෙ යන මිනිසාටය.

ලංකා විදුලිබල මණ්ඩලය ද දැන් ලාබ ලබන එකකි. එහි ලාබය රුපියල් කෝටි අටදහස ඉක්මවා ඇත. මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ගණන ලක්‍ෂ හැත්තෑ එකකි.

ඒ සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්‍ෂ පනහකට මාසික විදුලි බිල සමග විදුලිය සිඳලන බවට දැනුම් දෙන රතු බිල ද ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ කියන්නේ විදුලි බිල්පත මාසික පඩියෙන් හතරෙන් එකක් තරමට නැඟ තිබෙන බවකි. ඇත්තටම මේ රටේ ලක්‍ෂ දහසයකට මඳක් වැඩි රාජ්‍ය සේවකයන්ගෙන් සියයට අනූවකටම ලැබෙන්නේ රුපියල් තිස් හතළිස් දහසක වැටුපකි. එහෙන් මෙහෙන් කීයක් හෝ සොයා ගන්නා අයට මිස අන් අයට තෙල් හා විදුලි බිල් ගෙවා ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු සහල්, එළවළු ආදී නිවසේ දූ පුතුන්ගේ බඩ වියත රකින්නට අවශ්‍ය කළමනා ගැනීම අතිශය අභියෝගයක් වී ඇත. පාසල් යන දරුවන්ට පොත්පත්, සපත්තු, බස් ගාස්තු හා ටියුෂන් ගාස්තු ගෙවීම මේ අයට දැන් දැන් නපුරු සිහින බවට පෙරළී ඇත. රාජ්‍ය සේවකයා නොව එදාවේල හම්බකරන් කන බොන උදවිය ගැන හිතාගත නොහැකි තැනට පත්වී හමාරය. බත් කටක් කන වාරයක් පාසා තව කී දෙනෙක් කුසගින්නේ ලතවෙනවා දැයි ලතෙත් සිත් ඇත්තන්ගේ මනසට වැදෙන අතුල් පහර මේ රටේ හිත්පිත් නැති පාලකයන්ට දැනෙන්නේ නැතැයි කීම වරදක් ද නොවේ.

මේ සෑම මිනිසෙකුම ජීවත්වන්නේ ගිනි ගොඩකය. ජීවත් වූ රටාව උඩු යටිකුරු වී ඇත. අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින ජනතාව ඊළඟ මැතිවරණයක් එනතුරු බලා සිටින්නේ හිතයට පත්තු වන ගිනි දළු මැදිනි. මේ අල්ලපනල්ලේ ලාබ ලබන තෙල් සංස්ථාව ඉකුත් 01 වැනිදා සිට යළිත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින් ්ද භූමිතෙල් මිල රුපියල් විසිහයකින්ද ඉහළ දැමුවේ දරදඬු බව සපථ කරමිනි. ඇත්තටම ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර භූමිතෙල් මිල අඩු කළ හැකිව තිබූ බව කියන්නේ කලක් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස කටයුතු කර වත්මනේ සමගි වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිතය.

ඔහු කියන කතාව මෙලෙස සටහන් කළ යුතුය.

මේ පාර තෙල් මිල ඉහළ දමන්නට අවශ්‍යව තිබුණේ නැත. නමුත් වැස්ස ගැන සැකසිතූ තෙල් සංස්ථාවේ උදවිය, විදුලි බලාගාරවලට අවශ්‍ය නැප්තා සහ දැවිතෙල් ආනයනය කළේය. එලෙස මෙරටට ගෙනා නැප්තා මෙටි්‍රක් ටොන් 30,000 ක් ගෙනා මිලට වඩා අඩු මුදලකට බලාගාරවලට දී ඇත. ඉන් සංස්ථාවට ඇමරිකානු ඩොලර් විසිපහක පමණ පාඩුවක් සිදුවී ඇත. ඒ පාඩුව පියවා ගැනීමට අවශ්‍ය වූ නිසා භූමිතෙල් ලීටරයක මිල රුපියල් විසිහයකින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් පහකින් වැඩි කළා. ‘ඒ කතාව ඔහු කියන්නේ වගකීමෙනි. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ නම් අප කුමක් කරන්නද?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) හි සේවය කරන පිරිස 2300කි. තෙල් තොග ගබඩා පර්යන්තයේ සේවකයන් ගණන 2400ක් පමණය. ඒ කියන්නේ සමස්ත තෙල් සේවකයන්ගේ ගණන 4700ක් පමණය. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජෙසේකර නම් කීවේ මෙයාකාරයට සංස්ථාව තබාගෙන රටට සෙතක් වන්නේ නැති බවය. එනිසා තරගකාරීත්වය ඇති කිරීම සඳහා විදෙස් සමාගම් මේ රටේ තෙල් ව්‍යාපාරයට එක්කර ගත යුතු බව ඔහු කී කතාවය. ඉන්දියන් තෙල් සමාගම සහ චීන සිනොපෙක් සමාගම් දැන් මේ රටේ ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටිති. තරගකාරීත්වය මත තෙල් මිල නම් පහළ ගිය වගක් තාමත් වාර්තාවී නැත. හුටු කියා තෙල් මිල ඉහළ නගිනවා මිස පහළ යන්නේම නැති තරගකාරීත්වයක් නම් නිර්මාණය වී ඇත. සංස්ථාව රුපියල් කෝටි 8800ක් ලාබ ලබන විට ඉන්දියන් සමාගම රුපියල් කෝටි 3000ක් සහ චීන සමාගම රුපියල් කෝටි 3000බැගින් මේ රටේ මුදල් ඒ රටවල්වලට පොම්ප කරමින් තිබේ. එකී සමාගම් දෙකේ සේවය කරන්නේ එක්කෝ අතේ ඇඟිලි ගණනකි. නැතිනම් අතේ සහ කකුලේ ඇඟිලි ගණනටය. සංස්ථාව තුළ නම් සේවක ගණන හාරදහස් හත්සියයද පැන ඇත. වරද කොතැන වුවත් තැලෙන්නේ පොදු මහජනතාවය. මේ රාජ්‍ය ආයතනවල සේවය කරන සියයට අනූවක්ම දේශපාලන පත්වීම් මත ඒ රැකියා ගත් අය බවට ද චෝදනා ඇත.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද හරි අපූරු ප්‍රශ්නයක් හෙළිකර ඇත.

සිපෙට්කෝ ඉන්ධන හල් ඇත්තේ එක්දහස් අටකි. ඉන්දියන් තෙල් සමාගම සතුව ඉන්ධන හල් ඇත්තේ දෙසීය අසූවකි. චීන සිනෙපෙක් සමාගමට මෙරට ඉන්ධහල් එකසිය පනහක් හිමිය.

සිපෙට්කෝ ඉන්ධන හල් හිමියන් ඉන්ධන මිලදී ගත යුත්තේ අත්පිට මුදලටය. මීට පෙරාතුව විකුණා පසුව මුදල් දෙන පදනම මත ඉන්ධන නිකුත් කළත් එය දැන් නතර කර ඇත. ඉන්දියන් අයිඕසී සමාගමට හා චීන සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන හල් වෙත පසුව ගෙවන පදනම මත ඉන්ධන ලබාදෙන බව ද එම සංගමය කියා සිටී. මේ අතර රජය විසින් පැනවූ සියයට දහඅටක වැට් බද්ද ද ඉන්ධන හල් හිමියන්ටම ගෙවීමට දැන් සිදුව ඇත. වැට් බද්ද හරිනම් අදාළ භාණ්ඩයට එකතු කළ යුතුව ඇත. ගෑස් මිලට සියයට දහඅටක වැට් බද්ද එකතු කර ඇති ලෙස හරිනම් ඉන්ධන මිලටම ඒ අගය එකතු කළ යුතු වුවත් තෙල් සංස්ථාව විසින් වැට් බද්ද ඉන්ධන හල් හිමියන්ගෙන් අයකර ගනිමින් සිටී. මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින ව්‍යාපාරිකයන්ට ඉන්ධන අලෙවියෙන් ලැබෙන්නේ සියයට තුනටත් අඩු කොමිස් මුදලකි. ඒ සියයට තුනක කොමිස් මුදලින් සියයට දහඅටක වැට් බදු ගෙව් පසු පඩිනඩි, විදුලි බිල් හා අනෙකුත් නඩත්තු සඳහා මුදල් වැය කළ පසු ඒ ව්‍යාපාරිකයන්ට මේ වෙළෙඳාම ලාබ ලබන ව්‍යාපාරයක් නොවන තැනට වැටී ඇත. ලිපි පිට ලිපි යොමු කළත් වගකිවයුතු නිලධාරීන් නිහඬය. සංස්ථාවට අයත් ඉතිරි ඉන්ධන හල් ටිකත් විදෙස් සමාගම්වලට විකුණා දමා සංස්ථාව ඉවරයක්ම කර දැමීම සැලසුම බව ද වෘත්තීය සමිති කරන චෝදනාවකි.

ජනතාව මත මිල ගණන් පතිත කර පාඩු ලැබූ ආයතන ලාබ ලබන තැනට පත්කර ඇත. දැන් සේල් එක ආරම්භ කර ඇත්තේ එනිසාය. ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් ගන්නට ඉන්දියාවත්, චීනයත් පොරයකය. විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණීමට සියල්ල සූදානම් කොට හමාරය. ජනතාවගේ බඩටම ගසා පාඩු ලැබූ ආයතන ලාබ පෙන්වා ඇත. ‘ලාබයි ලාබයි’ කියා සේල් එක පටන්ගෙන ඇත. මේ සේල් එක අවසන් වූ පසු සේලයින් බෝතල් ගෙනැවිත් මැරෙන්නට වැටී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුගේ හෝ ජීවිත බේරාදෙන්නට නොරටුන්ගේ සිත උණු නොවුණහොත් ‘ශ්‍රී ලාංකික’ ජාතියම පුරා වෘත්තයක් වීමට බැරි කමක් නැත.

ශිරන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment