හොඳම දේ දරුවන්ට නම් මේ කතාව කියවන්න…

පැන්සල් සහ පාට පැන්සල්වල ෑභ71. 3 ප්‍රමිති සහතිකය නැත්නම් ගන්න එපා… පතුල මත අංක 05 තියන වතුර බෝතල් පමණක් මිලදී ගන්න!

රටේ අනාගතය භාර ගැනීමට සිටිනුයේ දරු සම්පතයි. එය සුරැකීම අපගේ පරම යුතුකමයි. මෙය අපි කවුරුත් අසා ඇති පොදු කියමනකි. එහෙත් වර්තමානය වන විට එම දරු සම්පත් අප දන්නා සහ නොදන්නා විවිධ හේතූන් මත විනාශ මුඛයට ඇදයමින් පවතී. එක අතකින් මෙරට දරු සම්පත මත් රකුසා විසින් බිලි දී ගනිද්දී තවත් අතකින් අප නොදන්නා විවිධ හේතූන් මත දරු සම්පත විනාශ වෙමින් පවතී.

ඔබ දන්නවාද අනාරක්ෂිත බාල පාසල් උපකරණ නිසා පාසල් දරුවන් දරුණු ගනයේ ලෙඩ රෝගවලට සහ ආබාධවලට ලක්වන බව.

පසුගිය 16 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා එම රෝහලේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ ප්‍රමිතියෙන් තොර අනාරක්ෂිත සෞඛ්‍ය උපකරණ භාවිතයෙන් දරුවන් බරපතල සෞඛ්‍යය අවදානමකට ලක්විය හැකි බවයි. එහිදී ඔහු මෙරටට ආනයනය කරන ලද බාල තත්ත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධව දෙමව්පියන්ගෙන් සහ විවිධ වගකිය යුතු පාර්ශ්වවලින් ලැබුණු තොරතුරු සහ පැමිණිලි මත මේ පිළිබඳව කළ සොයා බැලීමේදී මෙම කරුණු අනාවරණය වූ බව පැවසුවේය.

එහිදී වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ද ප්‍රකාශ කළේය.

“ආනයනික ප්‍රමිතියෙන් තොර පැන්සල්, පාට පැන්සල්වල මතුපිට ආලේප කරලා තියෙන වර්ණවල බැරලෝහ අඩංගු වෙන්න පුළුවන්. දරුවන්ට භාවිතා කරන්නට දෙන දැව ආශ්‍රිත උපකරණ වර්ණ ගැන්වීම සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙනවා EN71.3 කියලා. දරුවන් භාවිතා කරන සෙල්ලම් බඩු, පැන්සල් සහ පාට පැන්සල් වැනි උපකරණවල මතුපිට වර්ණ ගැන්වීමේදී මේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි. එහෙත් වර්තමානයේ වෙළඳපොළේ නමක් ගමක් නොමැති ඉතාමත් බාල තත්ත්වයේ ආනයන කරන ලද පැන්සල් සහ පාට පැන්සල් තියෙනවා. මේවා ඉහත සඳහන් කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනවා කියලා අපිට විශ්වාස කරන්න බැහැ. එම නිසා මෙම තත්ත්වයෙන් බාල පැන්සල් සහ පාට පැන්සල් භාවිතා කරන පොඩි දරුවන්ගේ සිරුරට අහිතකර බැර ලොව ඇතුල් වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දරුවන් පැන්සල් කටින් හැපීම සහ මුව තුළ රඳවා ගැනීම නිසා එම බැර ලෝහ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මේක පාසල් සිසුන්ගේ ජීවිතයට ලොකු අවදානමක්.”

දරුවන්ගේ පාසල් උපකරණ තුළ සැඟව එන නිහඬ මාරයා…

“ප්ලාස්ටික් සම්බන්ධව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව භාවිතයට සුදුසු ප්ලාස්ටික් ශ්‍රේණි ගතකර තියෙනවා. ඒ අංක 01, 02, 04 සහ 05 ලෙසින්. ඒ අතරින් ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි වැනි නැවත නැවත භාවිතයට ආහාර පාන හැසිරීම සඳහා සුදුසු වන්නේ අංක 05 ලෙස සඳහන් ප්ලාස්ටික්. ඒ අනුව වතුර බෝතල් සහ ඝනකම ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන්ගේ භාවිතයට ලබා දෙන්න.”

එම වෛද්‍යවරයා පවසන අයුරින් මෙරට වෙළඳපොළේ ඇති බහුතරයක් පාට පැන්සල්, පැන්සල් ප්‍රමිතියෙන් තොර ඒවාය. එම නිසා වෙළඳපොළේදී පාසල් ළමුන් සඳහා පාට පැන්සල්, පැන්සල්, ප්ලාස්ටික් බෝතල්, කෑම පෙට්ටි මිලදී ගැනීමේදී අනිවාර්යෙන්ම ඔබ මේ පිළිබඳව සිතා බැලිය යුතුය. එසේ නොමැතිව ප්‍රමිතියෙන් තොර මෙවැනි පාසල් උපකරණ භාවිතා කළොත් ඔබගේ දරුවා නිරෝගිමත් දරුවකු නොවනු ඇත. ඔහු පිළිකා, සමේ රෝග පීනස වැනි දරුණු ගණයේ රෝගවලට ද ලක් විය හැකිය.

විවිධ වර්ගයේ පැන්සල්, පාට පැන්සල් වෙළඳපොළේ අනන්තවත් ඇත. එහෙත් ඔබගේ දරුවාට පැන්සල්, පාට පැන්සල් මිලදී ගැනීමේදී EN71.3 ප්‍රමිතිය යටතේ නිෂ්පාදිත ඒවා දැයි අනිවාර්යයෙන්ම බැලිය යුතුය. එවැනි සහතිකයකින් තහවුරු කරනුයේ එම පාට පැන්සල් සහ පැන්සල්වල ආලේපන තීන්තවල බැර ලොව නොමැති බවයි.

එලෙසම ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි මිලදී ගැනීමේදී අංක 05 සඳහන් කර ඇති ප්‍රමිතියෙන් යුතු ඒවා මිලදී ගත යුතුය.

මෙලෙස ප්‍රමිතියෙන් තොර ඉහත සඳහන් කළ පාසල් උපකරණ ඔබේ දරුවාට ලබා දුනහොත් එම දරුවා පිළිකා, පීනස සහ සමේරෝග වැනි ආබාධවලට ලක්විය හැකිය. තවද වෙළඳපොළ තුළ නොයෙක් වෛවාරණ විදිහට සරසන ලද පාසල් උපකරණ අඩු මිලට විකිණීමට තිබේ. එම නිසා සමහරු මිල අඩු ඉහත සඳහන් කළ ආකාරයේ පාසල් උපකරණ එහි ප්‍රමිතිය ගැන සැලකිල්ලක් නොදක්වා මිලදී ගෙන තම දරුවනට ලබා දෙති. එහෙත් මිල අඩු නිසා එවැනි පාසල් උපකරණ ඔබේ දරුවාට ලබා නොදෙන්න. එහි තනිකරම සැඟවී සිටිනුයේ ඔබේ දරුවා රෝගියකු බවට පත් කළ හැකි අති භයානක රසායනික ද්‍රව්‍යයයි. මිල ටිකක් වැඩි වුවත් ප්‍රමිතියෙන් යුතු පාසල් උපකරණ ඔබේ දරුවාට ලබා දෙන්න. එසේ නොවුණහොත් ඔබේ දරුවා ඉහත සඳහන් කළ ආකාරයේ ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය.

පාසල් ගුරුවරුන්ට මේ පිළිබඳව වගකීමක් ඇත. මෙරට බහුතරයක් දෙමව්පියන්ට ඉහත සඳහන් කළ ප්‍රමිතියෙන් යුතු පාසල් උපකරණ පිළිබඳ නිසි දැනුමක් නොමැත
එම නිසා ගුරුවරු පාසල් සිසුන් මෙන්ම දෙමව්පියන්වද මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුව ඇත. එසේ නොමැති වුවහොත් ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතා කර සිසුන් පිළිකා වැනි දරුණු ගණයේ ආබාධවලට ලක්විය හැකිය.

තත්ත්වයෙන් බාල පාසල් උපකරණ මෙරටට ගෙන්වීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මෙලෙස අදහස් දැක්වූවේය.

“අද වෙළඳපොළේ නොයෙක් ආකාරයේ ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ විකිණීමට තියෙනවා. විශේෂයෙන්ම පැන්සල්, පාට කූරු, කෑම පෙට්ටි සහ වතුර බෝතල්. ප්‍රමිතියෙන් තොර මෙවැනි පාසල් උපකරණ භාවිතා කිරීමේදී පාසල් සිසුන් විවිධ රෝගාබාධවලට ලක්වීමට පුළුවන්. විශේෂයෙන් පැන්සල්, පාට පැන්සල් කුඩා ළමුන් කටේ ගසා හපනවා. එලෙස හැපීමේදී ඒවා නිසි ප්‍රමිතියෙන් තොර වුවහොත් පිළිකා පවා සෑදීමට ඉඩ තියෙනවා. එම නිසා මම වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ ගෙන්වන අය පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්න කියලා. එලෙසම දෙමව්පියන්ද තම දරුවන්ට පාසල් උපකරණ ලබා දීමේදී ප්‍රමිතියෙන් යුතු පාසල් උපකරණ ලබාදීමට කටයුතු කළ යුතුයි.

මේ සියලු කරුණු සලකා බලමින් අපි මේ රටේ ආදරණීය දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් සිදු කරන ආදරණීය ඉල්ලීම එළඹෙන පාසල් වාරයේ දරුවන්ගේ පාසල් උපකරණ සම්බන්ධව නිවැරදිම තීරණය ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment