නව වසර උදාව!

මහ රෑ රතිඤ්ඤා සද්දයක් ඇහුණා. සද්දෙ ටික ටික වැඩි වුණා. වැඩි වෙවී වැඩි වෙවී ගියා සද්දෙ. අලුත් අවුරුද්ද ලබලා කියල බිරිඳ කිව්වෙ එතකොට. රතිඤ්ඤා මිනිස්සු තවම දානවාද? රතිඤ්ඤ පත්තු කරන්න පුළුවන්ද මිනිස්සුන්ට? නිලා කූරු, අහස් කූරු, අලිඩොං…. ඇයි බැරි? රතිඤ්ඤා හදන්නෙ මිනිස්සු පත්තු කරන හින්දා. ඡන්ද තියන්නෙ මිනිස්සු ඡන්දෙ දාන හින්දා. සීනුව ගහන්නෙ මිනිස්සු සීනුවට අවනත වෙන හින්දා. ඉස්සර කළේ මොනවද? බස් ඇරියද බේරෙ වැවේ? සීසීටීවී ගැලෙව්වද ජනපති මැඳුරෙ? ගිනි තිබ්බද ගෙවල්? පොත්පත්? නැත්නම් ට්‍රාන්ස්පෝමර? පොලිසි? ඒවා වැදගත් නෑ. දැන් කරන දේයි වැදගත්.

මං ඇඳට වෙලා හුඟ වෙලාවක් බලාගෙන සිටියා. නින්දක් නෑ. නින්ද අහලකටවත් එන්නෙ නෑ. නින්ද නැති වෙන්න අරන් හුඟක් කල්. මං එළියට බැස්සා. අහසෙ හඳ පායලා නෑ. ඒත් තරු වළල්ලක් තියෙනවා. දඩයක්කාරයාගේ බඳ පටිය. බඳ පටිය විතරක් නෙවෙයි, දඩයක්කාරයාම ඉන්නවා පේනවා. දඩයක්කාරයො ගොඩක් පේනවා. 225 ක් විතර ගණන් කළ හැකි මයෙ හිතේ. ඇයි අහසට මෙහෙම වුණේ? අහස කොච්චර සුන්දරද? ඒත් දැන් අහස හොරු අරන්. මගෙ හිත දොම්නසින් බර වෙලා. ඇයි එහෙම වෙන්නෙ? මේ ලබලා තියෙන්නෙ අලුත් අවුරුද්දක් නේද? මං දන්නෑ. මට උත්තර නෑ මේවාට. ඒත් එකක් දැනෙනවා. මොනවාහරි දෙයක් වෙන්න ඕන. මේ අන්තිම අවුරුද්ද වෙන්න පුළුවන් පණ ගැටගහගන්න.

“හෙට ඉඳලා මේ පඩියෙන් ජීවත් වෙන්න හිතන්න එපා. තව පඩියක් ලෑස්ති කරගන්නවා!” බිරිඳ කංකෙඳිරි ගානවා ඇහෙනවා. කන් බීරි වුණා නම් කොච්චර හොඳද මගෙ! ඇස් අන්ධ වුණා නම් අඩු ගාණෙ! ඒත් එහෙම වුණා කියල එක වහල යට ඉන්න බෑ ගෑනිටයි මිනිහාටයි. මේ අබුද්දස්ස කාලෙ. ලබුත් තිත්ත වෙන කාලෙ. යුක්තිය ඉටු වෙයි කියල හිතන්න එපා යුක්තිය ඉස්සරහට දැම්මාට. යුතුකම කියල එකක් ඉස්සරහාට දාලා අපේ කෙනෙක් පාර්ලිමේන්තුවටත් ගියා. ඒත් එයා යුතුකම් ඉටු කරන්න ගිය මිනිස්සු කරපු දේ ආයෙ කියන්න දෙයක් නෑ. යුතුකමයි යුක්තියයි එකම නේද!

තවම රෑ ගෙවිලා නෑ. අන්ධකාරය බැලු බැලූ පැත්තෙ. මේ රෑ ගෙවිලා හෙට හිරු උදා වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කියන්න එපා. අලුත් අවුරුද්ද ලැබුවා විතරයි. අසුබ දේවල් දොඩවන්න එපා මනුස්සයො. ඔව්. මේ කළුවර ඉවර වෙන්න ඕන. හැමදාම කළුවර නෑ. කළුවර තියෙනවා නම් කොතැනක හරි ආලෝකයත් තියෙන්න ඕන. සෑම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවාලු. ඉතිං මේ වලාකුළේ නැද්ද කොහේ හරි රිදී ඉරක්? අඩු ගාණෙ රිදී රැයක්? අං… රිදී රැයක් රූපවාහිනියේ යනවා මං දැක්කා. තව රැයවල් චැනල්කාරයො 31 රාත්‍රියේ පෙන්නනවා. තරගෙ තමයි තුප්පහිම සංස්කෘතික ජීවියා තෝරන්නෙ. ෆ්ලෑෂ් බෑක්, ආශාවරී, ෂයිනි… එහෙනම් බය වෙන්න කාරි නෑ. හෙට එළිවෙනවා සිකුරුයි. ඡන්ද දෙකකුත් තියෙනවාලු නව අවුරුද්දෙ. දැනටම ඡන්ද දිනපු හඬ ඇහෙනවා අර සීනුවක් නාද කරන සද්දෙන්. සීනු හැමදාම ගහනවා ඡන්දයක් තියන්න ලකලෑස්ති වෙනකොට. ඒත් සීනුවේ සද්දෙ විතරයි. ඒත් මට හිතෙනවා මොනවාහරි වෙනසක් වෙයි කියල. අඩු ගාණෙ මුහුණු වෙනසක්. ඒ බකමූණා වෙනුවට වෙන බකමූණෙක්. ඒ වවුලා වෙනුවට වෙන වවුලෙක්. කොකොටන් වවුලෙක්වත්. කොස්ඇට වවුලෙක්වත්.

වෙනදා අලුත් අවුරුද්ද ලබන වෙලේ ඇහෙන්නෙ පන්සලේ ඝණ්ටාර නාදෙ. ඒත් දැන් ඇහෙන්නෙ රතිඤ්ඤා සද්දෙ. මල්වෙඩි සංදර්ශන. කාලෝ අයංතේ! කාලය වෙනස් වෙනවා. කිසිවක් සදාකාලික නෑ. සදාකාලික එකයි තියෙන්නෙ. ඒ, සෙරෙන්ඩිබ් කියන රටේ පාර්ලිමේන්තුව. ඒක ලෝකෙම ආදර්ශයට ගන්න ඕන තැනක්. ඒකෙ වෙන දේවල් කියන්නත් බෑ. ලියන්නත් බෑ. ඒත් කෑ ගහලා කියන්න – ලියන්න මට දෙයක් තියෙනවා. මං උදේටවත් කාලා නෑ. මගෙ බඩ රිදෙනවා. මගෙ බඩ පිච්චෙනවා. බත් පිඟානක් කාපු කාලයක් මතක නෑ මං.

මට ජීවිතේ ගැන ලොකු කලකිරීමක් තියෙන්නෙ. මිනිස්සු මේ ලෝකෙට උපදින්නෙ ඇයි? බුදු හාමුදුරුවො නම් කිව්වෙ ජීවිතේ දුකක්, ඒ හින්දා මේ සංසාර චක්කරෙන් දුරු වීමයි විමුක්තිය කියල. මට බුදු බණ තේරෙන්නෙ නෑ. මට හාමුදුරු බණ තේරෙන්නෙම නෑ. අසපුවේ හාමුදුරුවො කියන බණ විතරයි මට තේරෙන්නෙ. ඒවා ඇහුවත් නොඇහුවත් මට ඕන එක දෙයයි. මට ජීවත් වෙන්න ඕන. දේශපාලනඥයෙක් වගේ, දේශපාලන හෙංචයියෙක් වගේ නෙවෙයි, නිකන් මනුස්සයෙක් වගේ. හුස්ම ගන්න, කන බොන, ආදරය කරන සාමාන්‍ය මනුස්සයෙක් වගේ. ඒත් මට එහෙම ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බැරි තැනක් මේ ජීවිතේ තියෙනවා හිර වෙලා. නිවැරදි කරන්න බැරි අවුලක් කොහෙ හරි තියෙනවා. ඇත්ත වශයෙන් අවුරුදු ලැබුවා කියලවත් මට දැනෙන්නෙ නෑ. පරණ අවුරුද්ද ඉවර වුණාද කියලවත් මං දන්නෙ නෑ. මං ජීවත් වෙනවාද, මං ජීවත් වුණාද, දැන් මං මැරිලාද කියලවත් මට තේරෙන්නෙ නෑ. මහා වියවුලක් තියෙනවා. පියදාස සිරිසේන හිටියා නම් මේ මහා වියවුල තේරුම් ගනීද කියල මට සැකයි. ඒත් මට වියවුල තේරෙනවා. ඒක දැන් ඕනවටත් වඩා තේරෙන්නයි යන්නෙ. හෙට කඩේකට යන්න. ගිහින් ලොකු ලූනු කිලෝ එකක්, වට්ටක්කා පන්සීයක්, වම්බටු පන්සීයක්, කරවල කූරියෙක් ඉල්ලන්න. බැරිම නම් අරක්කු කාලක්. සිගරට්ටුවක්. අන්න එතකොට වියවුල තේරෙයි කාට වුණත්.

හෙට ඉර පෑව්වත් මට හෙට ගැන නිච්චි නෑ. හෙට දවසේ ජීවිතේ සරු වෙයිද කියල විශ්වාසයක් නෑ. විශ්වාසය නැති වෙලා හුඟක් කල් මගේ. දැන් මං ජීවත් වෙන්නෙ විශ්වාස කළ නොහැකි ලෝකෙක. අදහන්න බැරි දේ සිද්ධ වෙන කාලෙක. සමහර විට හෙට මට හුස්ම ගන්න පුළුවන් වෙයි. සමහර විට හුස්ම නැතිව මැරෙයි. මං ඒ ගැන හිතන්නෙ නෑ. උන්නත් දාහයි, මළත් දාහයි. මේක තේරුමක් නැති ගමනක්. මේ ගමන නවත්වන්න ඕන. ඒත් නවත්වන්න මං දන්නෙ නෑ. අංගුලිමාල කියනවා බුදු හාමුදුරුවන්ට “නවතිනු මහණ!” කියල. එතකොට බුදුහාමුදුරුවො කියනවා “මං නැවතිලා. නුඹ නැවතියන්!” කියල. ඒත් අංගුලිමාල දුවනවා. හැබැයි ප්‍රබුද්ධ කියනවා නැවතීමමයි ගමන කියල. මේවා මට තේරෙන්නෙ නෑ. දැන් අංගුලිමාලලා නෑ. අහිංසකලාත් නෑ. ප්‍රබුද්ධලාත් නෑ. ප්‍රබුද්ධයි, අහිංසකයි කියන එවුන්ගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕන. අපි හොරකම්, දූෂණ කරලා නෑ, අපට දීලා බලන්න එක වතාවක්! අන්න එවුන්ගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕන හුඟක්. ඒ කිව්වෙ දන්න යකා හොඳයිද නොදන්න යකාට වඩා? නෑ, ඒක එහෙම නෙවෙයි. අපට සපුමල් කුමාරයෙක් ඕන කරනවා. කුමාරයෙක් නොවුණත් හැබෑ නායකයෙක් ඕන කරනවා. අන්න ඒ නායකයායි අපි හොයාගන්න ඕන. එකම දේ එහෙම නායකයෙක් පේන මානෙක නෑ. පේන මානෙක ඉන්නවා හුඟ දෙනෙක්. ඒත් ඒ අයට බෑ. මැදමුලනට නම් බෑමයි. ඒත් කරුමෙ ඒක අපි තේරුම් ගන්නෙ නෑ.

ඇඟට හීතලක් දැනෙනවා මගෙ. හීතල වෙලා මුළු ඇඟපතම. මං මැරිලාද එහෙනම්? නෑ, හීතල වෙන්නෙ මැරුණාම විතරද මිනිහෙක්? පණපිටින් ඇඟ හීතල වෙන්න බැරිද? ඒත් මගෙ පණ තියෙනවාද කියල මං දන්නෙ නෑ. සමහර විට තවම පණ තියෙන්න පුළුවන්. පණ අදිනවා වෙන්නත් පුළුවන්. ඒ හින්දා වෙන්න ඕන මේ අබූත විකාර දොඩවන්නෙ මං? ඒත් දොඩවලා හරි ඇත්ත තේරුම් ගන්නයි මට ඕන කරන්නෙ. ඇත්ත වශයෙන් මං දොඩවන්නෙක්. මං කරපු කිසිවක් නෑ. නිකන් දොඩවලා විතරයි. දොඩවපු දේ අහපු මිනිහෙකුත් නෑ. ඒත් දොඩවලා. අද නොදොඩන එකෙක් හොයාගන්න බෑ. ඒත් මේ හීතලට මට දොඩවන්න ශක්තියකුත් නෑ. මගෙ පණකෙන්ද අන්තිම හුස්ම අදින්නෙ. ඒ හින්දා තමයි මං අපට අවුරුද්දක් ලබලාද කියල දන්නෙ නැත්තෙ. අපි හෙට කිරිබත් කයි. ඒත් අපි පණ අදින මිනිස්සු. මේ පණ යන්න කලින් සපුමල් කුමාරයා වඩියිද? නැත්නම් අපිම අපි ඇතුළෙ සපුමල් කුමාරයෙක් බිහි කර ගනීද? ඒක මං දන්නෙ නෑ. ඒත් එහෙම වුණත් ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවායි කියල මං ඉල්ලනවා දෙයි හාමුදුරුවන්ගෙන්.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment