අභයවැව අභිනවයෙන් ඉදිවූ සත්විසිරියන් බුද්ධප්‍රතිමා වහන්සේ සසුනට පූජා කළ දා

67

ඉකුත් දෙසැම්බර් මස 23, 24 දෙදින අනුරාධපුර අභයවැව සමීපයේ පිහිටි අභයවැව ගම්මානය තෙල්, මල්, සුවඳ දුම් ආදියෙන් සුගන්ධවත්වූ දිනයක් විය. රුවන්මැලි මහ සෑරදුන් පේන මානයේ පිහිටි අභයවැව ගම්මානයට එවැනි අසිරියක් එක්කළ එම දිනයන් සුවිශේෂී වූවේ එතෙක් දිනක් අභයවැව සිරිඅභය විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති සත්විසිරියන් (අඩි 42) බුද්ධප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවය හේතුවෙන්ය.

ඔස්ටේ්‍රලියාවේ පදිංචි සුගන්ධ ප්‍රනාන්දු මහතා ඇතුළු පරිත්‍යාගශීලී පිරිසගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද එම බුදුපිළිම වහන්සේ ඉදිකිරීම පිණිස රුපියල් කෝටියකට අධික මුදලක් වැයවී තිබෙන අතර එම අසිරිමත් ඉදිකිරීම පිණිස මුල්ගල තබනු ලබන්නේ 2019 වසරේ එක්තරා දිනයකය. ඉන් පෙරද මෙම විහාර ස්ථානය ආශ්‍රිත ඉදිකිරීම් රැසක් සිදුකර ඇති සුගන්ධ ප්‍රනාන්දු මහතා ඇතුළු දානපතියන් පිරිස අටවිසි බෝධි ප්‍රාකාරයක්, ධර්ම ශාලාවක් සහ අනුරාධපුර ශුද්ධ නගරයේ වන්දනා පිණිස පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් පිණිස අංග සම්පූර්ණ විශ්‍රාම ශාලාවක් ඉදිකොට ඇත. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිණිස නිර්ලෝභීව තම පුද්ගලික ධනය පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන් පිරිසට නායකත්වය සපයන සුගන්ධ ප්‍රනාන්දු මහතා ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ අනුරාධපුරය කෙරෙහිවූ යම් ආත්මීය බැඳීමක් තමන් තුළ පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ඇතුළු සමීපතමයන් එක්ව කලක පටන් අනුරාධපුරය කේන්ද්‍රකොට ගනිමින් විසල් ශාසනික මෙහෙරවක නිරතවන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගන්ධ ප්‍රනාන්දු මහතා,

අභයවැව අභිනවයෙන් ඉදිවූ සත්විසිරියන් බුද්ධප්‍රතිමා වහන්සේ සසුනට පූජා කළ දා

කුඩා කළ පටන්ම අනුරාධපුරය කියන්නේ මගේ ජීවිතය හා තදින් බැඳුන පූජා නගරයක්. ඊට හේතුව තමයි මගේ තාත්ත සෑම වසරකම පොසොන් පිංකම නිමිත්තෙන් කුඩා අපිවත් අරගෙන අනුරාධපුරයේ යනව. මම ඕස්ටේ්‍රලියාවේ පදිංචියට යන්නෙ 1998 වසරේ. ඒ වෙනතුරුම මමත් ඒ ගමනට සහභාගි වුණා. කොටි ත්‍රස්තවාදය පැවැති කාලයෙත් අපේ පවුලේ උදවිය, ඥාතීන් මේ ගමන නතර කළේ නැහැ. එහෙම ගමනක ප්‍රතිඵලයක් ලෙස තමයි සිරි අභය විහාරාධිපති ස්වාමීන්වහන්සේව හඳුනාගන්න ලැබුණේ. උන්වහන්සේ සමඟ සමීපව කටයුතු කරද්දී තමයි මම දැක්කෙ විහාරස්ථානයේ අඩුපාඩු රැසක් පවතිනව කියල. එහි ප්‍රතිඵලයක් ලෙස වරින්වර ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්න මා ඇතුළු මගේ හිතවතුන් නිරන්තරයෙන් උත්සාහ ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අඩි 42 ක් උස “කායෝත් සර්ග අභය මුද්‍රාවෙන් නිර්මිත මේ වගේ අලංකාර බුදුපිළිම වහන්සේනමක් නිර්මාණය කරල සසුනට පූජා කිරීමේ මහා පිංකම සිදුකරන්න අපට අවස්ථාව ලැබුණේ. මේ ඉදිකිරීම සඳහා ලංකාවෙ ජීවත්වන මගේ හිතවතුන් මෙන්ම විදේශීයව ජීවත්වන මිතුරන් කීපදෙනෙකුත් ලොකු දායකත්වයක් ලබා දුන්නා.”

අභයවැව අභිනවයෙන් ඉදිවූ සත්විසිරියන් බුද්ධප්‍රතිමා වහන්සේ සසුනට පූජා කළ දා

සුගන්ධ ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස විසින් සිදුකරන ආගමික සේවාව එතෙකින් නිමාවන්නේ නැත. ප්‍රදේශවාසී කුඩා දරුවන්ගේ දහම් දැනුම දියුණු කිරීම පිණිස සිරි අභය විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, දාන ශාලාවක් ඉදිකිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් එම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ඉදිරි අරමුණු බවට පත්ව ඇත. තවත් වසර කීපයක් තුළ එම සැලසුම් මහපොළොව මත යථාර්ථයක් බවට පත්කිරීම පිණිස සුගන්ධ ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස දැනටමත් කටයුතු කරමින් ඇත.

අභයවැව අභිනවයෙන් ඉදිවූ සත්විසිරියන් බුද්ධප්‍රතිමා වහන්සේ සසුනට පූජා කළ දා

මෙම බුදුපිළිම වහන්සේ සසුනට පූජා කිරීම නිමිත්තෙන් කිරි ආහාර පාත්‍ර 2008ක් සහිත සම්බුද්ධ පූජාව, පිච්ච මල්, නෙළුම් මල් දසදහසක් පූජා කිරීම, මහා සංඝරත්නය සියක් නමක් උදෙසා පූජා කරන ලද මහා සංඝගත දක්‍ෂිණාවක්ද ඉකුත් 24 වන දින පවත්වන ලදී.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment