යාපනයේ දෙපිරිසක් ගැටී වාහන දෙකකට ගිනි තබති

41

යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසුව නාවන්තුරේ ප්‍රදේශයේ එක් නිවසක නවතා තිබූ වාහන දෙකකට කිසියම් පිරිසක් විසින් 15 දා අලුයම ගිනි තබා විනාශ කොට තිබේ.

ඊට පෙර දින සවස අලුත් අවුරුද්ද වෙනුවෙන් පිරිසක් එකතු වී මත්පැන් සාදයක් පවත්වා අති අතර, එහිදී ඇතිවූ බහින්බස්වීමක් නිසා එම ස්ථානයේදී ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

අවට සිටි පිරිස ගැටුමට මැදිවූ දෙපිරිස සන්සුන් කොට මත්පැන් සාදය ද නවතා දමා නිවෙස්වලට යෑමෙන් පසුව අලුයම 3 ට පමණ පිරිසක් පැමිණ නිවසක් ඉදිරිපිට නවතා තිබූ වාහන දෙකට ගිනි තබා ඇත.

මෙම ගින්නේන් විනාශයට පත්ව ඇත්තේ වෙළෙඳාම් කටයුතු සඳහා යොදාගන්නා ලොරියක් හා ත්‍රිරෝද රථයකි.

මේ සිද්ධියෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක පමණ අලාභයක් වාහන අහිමි වූ පුද්ගලයාට සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට කීපදෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් කිසිවකුටත් තුවල සිදුව නොමැති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment