ජාතික ජ්‍යෙෂඨ ශූරතා මලල ක‍්‍රීඩා උළෙලේ ශතක ඉනිම අද දියගමදී දිගහැරේ

268

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි හා කාන්තා මලල ක‍්‍රීඩා තරගාවලියේ 100 වැන්න අද (08) පෙ:ව: 07.00 ට ක‍්‍රීඩිකාවන් 22 කුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කාන්තා මීටර් 10,000 ඉසව්වෙන් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

පෙ:ව: 07.45 ට පිරිමි තරග ආරම්භ කරමින් මීටර් 5000 ඉසව්ව පැවැත්වේ. ඒ සඳහා ඉදිරිපත්ව සිටින ක‍්‍රීඩකයන් සංඛ්‍යාව 62 කි.

මෙම ඉසව් 02 ට අමතරව තවත් ඉසව් 08 ක අවසන් තරග අද (08) දින ක‍්‍රියාත්මක කෙරෙන අතර තවත් ඉසව් කිහිපයක මූලික තරග පැවැත්වීමට තීරණය කර තිබේ.

තම ශත සංවත්සරය ද සමරමින් ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය තීරණය කර තිබීම මෙවර ඇති විශේෂත්වයකි.

දින තුනක් මුළුල්ලේ ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ දෙවන දින තරග හෙට (09) පැවැත්වෙන අතර අවසන් දින තරග ඉසව් ඉරිදා (10) ක‍්‍රියාත්මක කෙරේ. ඒ හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී ය.

මෙහි දෙවන දිනය වන සෙනසුරාදා (09) පැවැත්වෙන අවසන් තරග සංඛ්‍යාව 13 කි. ඉසව් 15 ක අවසන් තරග ඉරිදා (10) ක‍්‍රියාත්මක කෙරේ.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණය තුළ සිදු කෙරෙන නවීකරණ කටයුතු හේතුවෙන් තම ශත සංවත්සරික මලල ක‍්‍රීඩා ශූරතාවලිය දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබීම ද කැපී පෙනෙන්නකි.

තරග ඉසව් 38 ක දක්ෂයන් තෝරා ගැනීම සඳහා ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සපිරි යොවුන් සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 909 දෙනකු සහභාගි වෙති. ඒ අතර ක‍්‍රීඩකයන් 547 කු ද ක‍්‍රීඞීකාවන් 362 කු ද වෙති. මේ සියලූ දෙනා ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වීම ද විශේෂත්වයකි.

ඒ එකදු විදේශීය ක‍්‍රීඩකයෙකු හෝ ක‍්‍රීඩිකාවක සහභාගි වීමේ නොහැකියාව මත ය.

ජාතික ජ්‍යෙෂඨ ශූරතා මලල ක‍්‍රීඩා උළෙලේ ශතක ඉනිම අද දියගමදී දිගහැරේ

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලන සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප‍්‍රනාන්දු, එහි ලේකම් පේ‍්‍රමා පින්නවල, උප සභාපති ජී. එල්. එස්. පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් මෙවර තරගාවලිය සංවිධානය කර තිබේ.

තරඟ කළමනාකරු ලෙස පාලිත ජයතිලක මහතා කටයුතු කරයි.

මෙම වසරේ චීනයේ දී පැවැත්වෙන ආසියාතික ක‍්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණයද මෙවර ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය ආශ‍්‍රිතව සිදු කිරීමට මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබීම ද විශේෂත්වයකි.

ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිත්වය විමලසේන පෙරේරා මහතා හොබවයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment