චරිතය සුළු වුණත් ඊට හිමි අනන්‍යතාව අවශ්‍යමය – සජිත් කුමාර

136

කාගේත් හිත දිනාගෙන කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑම තම අපේක්‍ෂාව යැයි රංගන ශිල්පී සජිත් කුමාර මහතා සඳහන් කරයි.

පාසල් අධ්‍යාපනය ලබන කාලයේ සිට සජිත් කුමාර කලාවට දැක්වූයේ ලොකු ඇල්මක්. ඔහු ඒ පිළිබඳව අප සමඟ මෙසේ සිහිපත් කළා.

පාසල් කාලයේ ඉඳලම මම කලා කටයුතුවලට ලැදිව කටයුතු කළා. පාසලේදී මිතුරන් සමඟ එක් වී නාට්‍ය කළා. විවිධ කලා ප්‍රසංග පැවැත්වූවා. රංගනය වගේම ගායනයටත් මා ඉතා කැමැතියි. මේ ක්‍ෂේත්‍රවලින් ඉදිරියට යෑමයි මගේ අපේක්‍ෂාව.

චරිතය සුළු වුණත් ඊට හිමි අනන්‍යතාව අවශ්‍යමය - සජිත් කුමාර

මේ වන විට ටෙලි නාට්‍ය කීපයක සුළු චරිතවලට සිය දායකත්වය ලබා දී ඇති සජිත් කුමාර තමන් රඟපෑ චරිත අතරින් හිරු ටෙලිවිෂනයේ විකාශය වූ ‘දිවිතුරා’ ටෙලි නාට්‍යයේ මාධ්‍යවේදියාගේ චරිතයට වඩාත් කැමැති බව අප සමඟ සඳහන් කළා. ඊට අමතරව තමා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය පිළිබඳව ඔහු මෙසේ සඳහන් කළා.

දෙරණ රූපවාහිණියේ විකාශය වූ සංගීතය ටෙලි නාට්‍යයේ සටන් නළුවෙකු ලෙස කටයුතු කරමින් එහි අත්දැකීම් විඳ ගැනීමට මට අවස්ථාව ලැබුණා. ස්වාර්ණවාහිනියේම විකාශය වූ ‘බස් එකේ ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයේත් මම සුළු චරිතයක් කළා. මේ දිනවල විකාශය වන හිරු ටෙලිවිෂනයේ ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයටත් මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. අයි.ටී.එන්. රූපවාහිනියේ විකාශය වූ ‘ඉන්ටර්නැෂනල් ස්කූල්’, එම නාලිකාවේම විකාශය වූ ‘කොළඹ ඉතාලිය’ ටෙලි නාට්‍යවලත් මම විවිධ චරිත නිරූපණය කළා. ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘අහිමි’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයේත් මම රංගනයෙන් දායක වුණා.

මේ වන විට සජිත් කුමාරට තවත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබේ. ඒවාට ද රංගනයෙන් සිය උපරිම දායකත්වය ලබාදීම තම අපේක්‍ෂාව යැයි ඔහු සඳහන් කරයි.

කලා ක්‍ෂේත්‍රයේ මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව සෑහීමකට පත්වෙනවා දැයි අප ඔහුගෙන් විමසුවා. ඊට ඔහු ප්‍රතිචාර දැකුවූයේ මේ අයුරින්.

“ඇත්තටම ආ ගමන ගැන සතුටුයි. මට ලැබුණේ සුළු චරිත වුවත් ඊට උපරිම සාධාරණය ඉටුකිරීමට මම කැප වුණා. ලැබුණු චරිතය සුළු එකක් ද, ප්‍රධාන එකක්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. අප ඊට ලබාදෙන රංගන දායකත්වයයි වඩා වැදගත් වෙන්නේ. චරිතය සුළු වුණත් ඊට සාධාරණය නොකොළොත් අනෙක් චරිත ඉදිරියට යන්නේ නැහැ. කලා කෘතියකදී චරිතය සුළු වුණත් ප්‍රධාන වුණත් ඊට හිමි අනන්‍යතාවය ලබා දුන්නේ නැත්නම් ඕනෑම කලා කටයුත්තක් සාර්ථක වෙන්නේ නැහැ. කලා ක්‍ෂේත්‍රයේ හිමින් අඩි තබමින් සාර්ථක දිගු ගමනක් යෑමයි මගේ අපේක්‍ෂාව.

කලා ක්‍ෂේත්‍රයේ නියැලීමේදී තම බිරිඳ චන්දිමා චූලංගනීගෙන් මෙන්ම පුතා සඳුන් තාරක සහ දැහැමි සත්සරණි දියණියගෙන් ලැබෙන සහාය හෘදයාංගමව සිහිපත් කරන බව සජිත් කුමාර පවසයි.

කලා කටයුතුවලට මෙන්ම සමාජ සේවා කටයුතුවලට දායකත්වය ලබා දෙමින් කටයුතු කරන සජිත් කුමාරට කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට අපගේ සුබ පැතුම්.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment