පාරම්පරික වෛද්‍යවරයා පොලිසියෙන් ඇල්ලූ පසු – තඹුත්තේගම උණුසුම් වෙයි

149

තඹුත්තේගම පොලිසිය මගින් අත්තනෝමතිකව පාරම්පරික දේශීය වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පවසා ඊට විරෝධය පළ කරමින් පාරම්පරික දේශීය වෙදකමේ නිරත මහා සංඝරත්නය, පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හා අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන් පිරිසක් තඹුත්තේගම පොලිස් ස්ථානය ඉදිරිපිට ඊයේ (23දා) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරත වූහ.

පසුගිය 16 වැනි දින තඹුත්තේගම නගරයේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා, එම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හිමිකරු වන එප්පාවල ප්‍රදේශයේ පදිංචි පාරම්පරික දේශිය වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෛද්‍යවරයා විසින් ව්‍යාජ ලිපි ලේඛන සකසා, ලියාපදිංචියකින් තොරව අදාළ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අදාළ ස්ථානය වටලා එහි හිමිකරු වන දේශීය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන, තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 17 වැනි දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය, සැකකරු ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම අනීතික බව පවසමින්, මෙලෙස ඊට විරෝධය පළ කරමින් පාරම්පරික දේශීය වෙදකමේ නිරත මහා සංඝරත්නය, පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හා අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන් පිරිසක් තඹුත්තේගම පොලිස් ස්ථානය ඉදිරිපිට ඊයේ (23දා) පෙරවරුවේ සාමකාමී විරෝධතාවක නිරත වූහ. පළමුව පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි බුදු පිළිම වහන්සේට මල්, පහන්, සුවඳ දුම් හා කිරි ආහාර පූජා කර සෙත් පිරිත් සජ්ඣායනා කර මෙම පිරිස විරෝධතාවය ආරම්භ කළහ. ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ මැදිරිගිරියේ සිකී ස්වාමීන්වහන්සේ,

අපි පොදුවේ හෙළ වෙදවරුන් ලෙස මේ එකතු වෙලා ඉන්නේ, දිසානායක වෙද මහතාව අනීතිකව අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, හෙළ වෙදකමට පහර ගැසීම, හෙළ වෙදකමට බාධා පැමිණවීම, ආදී කටයුතු සිදු කිරීමට එරෙහිව අපි අද විරෝධය පළ කරනවා. මීට විරුද්ධව අපි ජනතාව පෙළගස්වනවා, හෙළ වෙදවරු පෙළගස්වනවා, අපේ හඩට ඇහුම්කන් නොදුනහොත් අපි මාරාන්තික උපවාසයක නිරත වෙනවා.

දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ එකමුතුවේ සංවිධායක චින්තක ජයලත් ආරච්චි වෙද මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ,

අද අපි නිහඩ විරෝධතාවක නිරත වන්නේ, පසුගිය කාලයේ පාරම්පරික වෙදකමට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශාල කෙණෙහිලිකම් තියෙනවා. අපේ රටට අනන්‍ය වූ වෙදකම පාරම්පරිකව කරගෙන ආව වෛද්‍යවරුන් පහුගිය කාලයේ අගතියට පත් කිරීම්, කෙණෙහිලිකම් සිද්ධ වුණා. මේ රටෙන් හෙළ වෙදකම තුරන් කරන්න විවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිද්ධ වුණා. ඖෂධ මාෆියාව සිදු කරන අය කැමති නෑ මේ රටේ ගහෙන්, කොළෙන්, මුලෙන්, පොත්තෙන් බෙහෙත් කරලා අසරණ රෝගීන් සුවපත් කරනවාට. අපි කියන්නේ පාරම්පරික වෛද්‍යවරයෙක් අත්තනෝමතිකව අත්අඩංගුවට ගන්න බෑ, අපේ රටේ නීතිය අනුව. නමුත් තඹුත්තේගම පොලිසිය අපේ පාරම්පරික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුට බොරු චෝදනා එල්ල කරලා තියෙනවා. පොලිස් ස්ථානය තුළදී පරුෂ වචනයෙන් බැණවැදී අපහාස කර තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යට අසත්‍ය ප්‍රවෘත්තියක් පවා නිකුත් කරලා තියෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනෙක්ට සලකන ආකාරයක් තිබෙනවා. මේක වැරදි පූර්වාදර්ශයක් වෙලා දිගමට මේ විදිහට අත්අඩංගුවට ගැනීම සිදු කළහොත්, දේශීය වෙදකම මේ රටෙන් නැති වෙලා යයි. ඒ නිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මෙතැනදී මානව හිමිකම් කඩවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව සාධාරණයක් ඉටු නොවුණහොත් අපි මාරාන්තික උපවාසයක නිරත වෙනවා. අපි රට හැමතැනකම පාරම්පරික වෛද්‍යවරුන් නැගිට්ටවනවා.

එහිදී තවත් පාරම්පරික වෛද්‍යවරුන් මෙන්ම දිසානායක වෙද මහතාගෙන් සුවය ලැබූ රෝගීන් ද අදහස් දැක්වීය.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවෙහි නිරත වූ පිරිස විසිර ගියහ.
තිසර සමල්

advertistmentadvertistment
advertistmentadvertistment