තිරිඟු පිටිත් ඩොලරයට යටවෙන රටේ බඩ ඉරිඟු වගාවත් කපෝතියි…!

417

අස්වැන්න නෙළලා ඉවර වුණත් තාමත් පොහොර නැහැ

පොහොර නොමැතිව හානි වූ බඩ ඉරිඟු වගාව නියඟය නිසා හානි වූ බවට ගොවීන්ගෙන් බලෙන් ලියුම් අරන්

මේ ගෙවමින් තිබෙන්නේ දිගාමඩුල්ලේ බඩ ඉරිඟු ගොවීන්ගේ අස්වැන්න නෙළන කාලයයි. වෙනදා අස්වනු නෙළන සමයේදී නම් ගොවීන්ගේ මුහුණු සිනහ මලින් විකසිත තිබුණි. ඒ ගිනියම් අව්වේ අතේ කරගැට පුපුරා ලේ ගලද්දී, මහ පොළවත් සමඟ ඔට්ටු වෙන ගොවියාගේ මහන්සියට ප‍්‍රතිඵලයක් ලැබුණ නිසාවෙනි. මෙවර නම් ඒ වෙනුවට අපට දැක ගන්නට ඇත්තේ ඇසට කඳුළු පිරුණු අසරණ වු බඩ ඉරිඟු ගොවි රජවරුන්ගේ වේදනාබර මුහුණුය.

වස විසෙන් තොර යහපත් සෞඛ්‍යයෙන් පිරී අනාගතයක් වෙනුවෙන් ගොවීන්ට මෙවර අස්වැන්න කැප කරන්නට සිදුවූයේ ආණ්ඩුවේ තදියම් තීරණ නිසාය. වස විස සහිත වගාවන් වලින් ලැබෙන ප‍්‍රතිඵල අහිතකර බව සැබෑය. එයින් ගොවියා සහ පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමට අදහසක් පහළ වීම වටිනා කරුණකි. නමුත් වැරැද්ද වූයේ පටන් ගත් ආකාරයයි. ඒ නිසා කාබනික පොහොර වැඩසටහන අවුල් ජාලාවක් වී ආණ්ඩුව ඇන ගන්නට විය. චීන කුණු පොහොර නැව හරවා යවන්නට සිදු වූහ. ගිවිසුම් ගැසූ නිලධාරීන්ගේ අමනකම් නිසා හිඟාකමින් සිටින ඩොලර් මිටි මිටි පිටින් චීනුන්ට පුදන්නට සිදු වූහ. ආණ්ඩුව හත්පලේම ගා ගන්නට විය.

ජනතාවගේ මුදලින් යැපෙන ඇතැම් නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් නිසා මෙවර වී ගොවියෝ පමණක් නොව බඩ ඉරිඟු ගොවියෝද අන්ත අසරණ වන්නට වූහ. බොහෝ නිලධාරීන් සිය තනතුරේ මාන්නයෙන් ඉදිමී ජාවාරම්වල නියැලීමේ ප‍්‍රතිඵලය නිසා රටෙහි ජීවය වූ ගොවීන්ගේ කොන්ද කැඞී අසරණ වන්නට වූහ. එවන් හිතුවක්කාර තක්කඩි නිලධාරීන් මට්ටු කරන්නට බලධාරීන්ගේ කොඳුනාරටිය ශක්තිමත් නොවීම නිසා ගොවීහු තව තවත් අසරණ වූහ.

එවකට ජනපති පේ‍්‍රමදාස සමයේ රාජ්‍ය නිලධාරීන් සීරුවෙන් සිටින්නට විය. රාජ්‍ය නියෝග ක‍්‍රියාත්මක වන්නට විය. ඔවුනට වැඩ නොකර සිටීමට නොහැකි විය. රාජ්‍ය නිලධාරීන්ගෙන් නිසි පරිදි වැඩ ගැනීමට ජනපති පේ‍්‍රමදාසයන්ට හැකි විය. පේ‍්‍රමදාස ජනපතිවරයාගේ අඩුපාඩුකම් වැරදි තිබුණි. නමුත් රාජ්‍ය නිලධාරී නඩය පාලනය කිරීම පිළිබඳව ජනතාව තුළ තවමත් ඇත්තේ ප‍්‍රසාදයකි.

මෙලෙස අසරණ වූ ගොවි ජනතාව පිළිබඳව සැමවිටම සොයා බලමින් කටයුතු කරන සක්නද සංවිධානයේ සභාපති නාමල්තලාව ශෛලබිම්බාරාමාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

කෘෂිකාර්මික පුරවරයක් වුණ දිගාමඩුල්ලේ ගොවීන් මේ වෙද්දි අන්ත අසරණ වෙලා ඉන්නවා. කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා වී ගොවියා අසරණ වෙලා ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරන්න බැරි වෙලා තියෙනවා. දැන් වෙනදා මෙන් අස්වැන්නක් ඔවුන්ට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම බඩඉරිඟු වගාවේ යෙදුන ගොවියා ද හෙට දිනයේ දවස ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. බඩ ඉරිඟු ගොවියාට හරියට පොහොර ටික දෙන්න බැරි වුණා. ඒ නිසා හේන් ගොවිතැන අසාර්ථක වෙලා තියෙද්දී ජිවත් වෙන්න විදිහක් නැතිව ගොවීන් අන්ත අසරණච ඉන්නවා.

මේ වන විට ගොවීන් බඩඉරිඟු වගාවට යොදන්න රජයෙන් දුන් යූරියා ගන්නට සල්ලි බැඳලා මාස දෙක තුනක් වෙනවා. කොටසකට ලැබුණා. කොටසකට අස්වැන්න නෙළලා ඉවර වෙනකම් තාම පොහොර ලැබුණේ නැහැ. ඒ නිසා ගොවි සංවිධානවල ගොවීන් දැන් ඒ නිලධාරීන්ට එරෙහිව පොලිසියේ පැමිණිලි කරලත් තිබෙනවා. ගොවීන්ට ආපු පොහොර ඇතැම් නිලධාරීන් රුපියල් තිස්පන්දාහට, තිස්දාහට හොරට විකුණලා තියෙනවා. ඇතැම් ගොවිජන නිලධාරීන් ගොවීන් විකුණගෙන කනවා.

මේ වෙද්දි බඩ ඉරිඟු ගොවියා දරු පවුල් නඩත්තු කරන්න බැරිව අන්ත අසරණ වෙලා ඉන්නවා. ඒ නිසා සක්නද සංවිධානයේ අපි අසරණ බඩඉරිඟු ගොවියා වෙනුවෙන් හඬ නගනවා. ගොවීන්ට සහනයක් ලබා දෙන්න බලධාරීන් දැනුවත් කරමින් කටයුතු කරනවා. අනිවාර්යෙන්ම බඩඉරිඟු ගොවියාට හෙට දවසේ ජීවිතය යම් තරමින් හෝ ගැට ගසා ගෙන ජීවත් වීමට වන්දි මුදලක් ඉතා ඉක්මනින් ලබා දිය යුතු යැයි නාරද හිමියන් පැවසූහ.

තිරිඟු පිටිත් ඩොලරයට යටවෙන රටේ බඩ ඉරිඟු වගාවත් කපෝතියි…!

වෙනදා රන්වන් ඇත්දල මෙන් සරුවට වැඞී මෝරා පැහී තිබෙන ඉරිඟු යායවල් වෙනුවට අද බොහෝ තැන්වල ඇත්තේ කේඬෑරිව ගොස් අඟල් දෙකක් තුනක් දිගැති පුංචි ඉරිඟු කරල් ය. එක්කෝ මුළුමනින්ම විනාශ වූ වගාවන්ය.

අම්පාරේ ඒකාබද්ධ බඩඉරිඟු වවන්නන්ගේ සංවිධානයේ සභාපති කේ. එම්. ආරියරත්න මහතා කීවේ මෙවැනි කතාවකි.

සාමාන්‍යයෙන් අම්පාර දිස්ත‍්‍රික්කේ බඩඉරිඟු හෙක්ටයාර් 12500ක් වගා කරනවා. නමුත් මෙවර හෙක්ටයාර් 8000කට ආසන්න ප‍්‍රමාණයක් තමයි අම්පාර බඩඉරිඟු වගා කෙරේ. හෙක්ටයාර් 4500 කට ආසන්න ප‍්‍රමාණයක ගොවීන් පොහොර නැති නිසා වගා බිම් අත් ඇරලා දැම්මා. පොහොර දෙනවා කිව්වත් ඒකෙන් කළෙත් ගොවියා

රැවටීමක්. අපි 2021 ඔක්තෝබර් 24 පල්ලංඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්ට පොහොර මිටි 186කට සල්ලි බැන්දා. ඔක්තෝබර් 27 තවත් මීටි 20කට සල්ලි බැන්දා ඔක්කොම 206 කට සල්ලි බැන්දා. පසුගිය දෙසැම්බර් මාසයේ 13 වැනිදා පොහොර මිටි 65 ක් ලැබුණා. දෙසැම්බර් 31 වන විට මිටි හැත්ත දෙකක් ලැබුණා. තව පොහොර මිටි 69ක් ලැබෙන්න තිබෙනවා. සල්ලි බැඳලා මාස දෙකකටත් වැඩියි. තවමත් පොහොර නැහැ. වගාව විනාශ වෙලා ගියා. මම ගිය කන්නයේ අක්කර හතළිහක් ඉරිඟු වගා කරා. මේ පාර පොහොර නැති නිසා අක්කර 10යි ඉරිඟු වගා කළේ. මම පොහොර මිටි 10 සල්ලි බැන්දා. මට ලැබුණේ පොහොර මිටි හතරයි. ඒ ටික පුළුවන් විදියට යන්තමින් අක්කර හතරකට විතර දැම්මා. වෙනදා අඩි හතක් අටක් උසට හැදෙන ඉරිඟු ගහ මේ පාර පොහොර නැතිව අඩි තුනක් හතරක් උසට හැදුනේ… පුංචි කරල් හැදුනේ.. ඒවගේ ඇට හරියට නෑ. අක්කර පහක් ඉරිඟු වගාවක් මම අත්හැරියා. ඉරිඟු කරල් ඇඟිලි වගේ… කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා බඩඉරිඟු වගාවට හොඳයි

ගැටලූවක් නෑ කියලා. අපි කියනවා එන්න වගා බිම්වලට, ඉරිඟු වගාව සාර්ථක ද කියල බලන්න කරුණාකරලා. බඩඉරිඟු ගොවියා අසරණවීම පිළිබඳ සමීක්ෂණයක් කරලා බඩ ඉරිඟු ගොවියාට වන්දි ලබා දෙන්න කටයුතු කරන්න.

මේ වෙද්දි අපේ රත්නභූමි ගොවි සංවිධානයට පොහොර මිටි 69 සල්ලි බැඳලා තිබ්බා. වගාව අස්වනු නෙලලා ඉවරයි. ඒත් පොහොර නැහැ.

ඒ නිසා අපි ඉඟිනියාගල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ගොවිජන සේවා නිලධාරීන් ඇවිත් අපිට කියනවා ඉරිඟු වගාවට වන්දි දෙන්න නම් නියඟය නිසා වගා හානි වුණා කියලා ලියුමක් දෙන්න කියලා ගොවීන්ගෙන් බලෙන් ලියුම් ගත්තා. වන්දි නොදෙයි කියලා බයට ගොවීන් එහෙම ලියුම් දුන්නා.

අපේ වගා හානි වුණේ නියඟය නිසා නෙවෙයි. කෘෂිකර්ම නිලධාරීන් පවා කියන්නේ පොහොර නැතිව වගාවන් විනාශ වුණා කියලා. ගොවිජන නිලධාරීන් ඔවුන්ගේ වැරැදි වහගන්න නැති නියඟයක් මවනවා. ඒ නිසා අපිට ලැබුණ පොහොර මාටියා ගහලා ගොවීන් අසරණ කළ නිලධාරීන් ගැන හොයන්න. ඔවුන්ට නිසි දඬුවම් දෙන්න. ඒ වාගේම හානි වුණ ඉරිඟු අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් දෙන්න’ කියලා අපි බලධාරීන්ට ඉතා අවධාරණයෙන් දැනුම් දෙනවා යැයි ආරියරත්න මහතා පවසා සිටියේය.

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

මගේ කෙවිලියාමඩුව ගොවිපළේ අක්කර 25ක ඉරිඟු වගාව පොහොර නැතුව මුළුමනින්ම විනාශ වුණා. මීට කලින් සේනා දළඹුවා විනාශ කළා. ඊට පස්සේ නියඟයට විනාශ වුණා. මේ පාර පොහොර නැතිව විනාශ වුණා. ලක්ෂ ගණන් මුදලක් වියදම් කරා. ඒ ආදායමෙන් ගම්වාසීන් පිහිටක් වෙන්න බලාගෙන. ඒ නිසා මගේ ගොවිපොළ පමණක් නෙවෙයි නැගෙනහිර පළාතේ, අම්පාර, වගේ හැම තැනකම වගේ බොහෝ ඉරිඟු වගාකරුවන් ගොඩක් අන්ත අසරණ වුණා. රජයේ මුල් කාලයේ පොහොර දුන්න නම් මෙහෙම වෙන්නේ නෑ. ඉරිඟු වගාව ගොඩ ගන්න තිබ්බා.

කාබනික වගාව කාබනික වගාව කියලා ඉඳලා අන්තිම මොහොතේ පොහොර දුන්නේ පහුවෙලා. අන්තිමේදී ඔක්කොම විනාශ වෙලා ගියා. දැන්වත් මේ අසරණ ජනතාවට වන්දි මුදලක් දෙන්න වැඩපිළිවෙළක් හැදිය යුතුයි. ගොවියා ගැන දැන්වත් හිතන්න. ඔවුන් රැකගන්න යනුවෙන් අම්පිටිය සුමනරතන හිමියෝ පැවසූහ.

මෙලෙස කිව්වේ වඩිනාගල කරඹාන එස්. ඩබ්ලිව්. සුගතදාස මහතායි.

මම අමාරුවෙන් ණය වෙලා මේ පාර අක්කර 8 ක බඩඉරිඟු වගාවක් කරා. පොහොර මිටි දහයකට සල්ලි බැන්දා. හැබැයි මාස දෙකකට පෙර. ඒත් පිරිසකට පොහොර දුන්නා. මට එක මිටියක්වත් ලැබුණේ නැහැ. සල්ලි බැඳලත් පොහොර ලැබුණේ නැති නිසා මගේ බඩඉරිඟු වගාවෙන් වැඩක් නැහැ. අපි බොහොම අමාරුවෙන් සල්ලි බැන්දත් නිලධාරීන් අපිට පොහොර නොදි අපිව අසරණ කරා ඉරිඟු වගාවෙ අස්වනු නෙළුවා. තාම පොහොර නැහැ. පල්ලං ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්ට තමා සල්ලි බැන්දේ කොහොමද හෙට දිනේ ජීවත් වෙන්නේ අපි. අපි හැමදාම හේන් ගොවිතැනින් ජීවත් වුණේ. දැන් අපිට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ යනුවෙන් සුගතදාස මහතා තමන් පත්ව ඇති අසරණභාවය ගැන පවසා සිටියේ එලෙසිනි.

නාමල්ඔය ප‍්‍රදේශයේ දී අපට හමුවූ ඞී. ජී. රත්නසිරි ගොවි මහතා මෙසේ කීවේය.

අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. අවුරුද්දකට වතාවක් කරන බඩඉරිඟු වගාවෙන් අපි වසරක්ම යන්තම් පණ ගැට ගහගන්නවා. පොහොර නැති නිසා වී වගාව බඩඉරිඟු වගාව ඔක්කොම අඩාල වුණා. පස්සේ බඩඉරිඟු වගාවට රජයේ පොහොර දුන්නා. අන්තිමේ ඒවා හරි වෙලාවට ලැබුණෙත් නෑ. කොටසකට පොහොරවලට සල්ලි බැන්දාත් ලැබුණේ නැහැ. බඩඉරිඟුවලට මුලින්ම පොහොර දුන්න නම් කිසි ගැටලූවක් නෑ. හරියට කරේ ‘අශ්වයා ගියාට පසු ඉස්තාලය වැහුවා’ වගේ වැඩක්. ඒකෙන් ඉරිඟු ගොවියා අන්ත අසරණ වුණා. දැන් ඒවාට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අපිට. දෙයියනේ කියලා අපි කාටවත් බරක් නෙවෙයි ජීවත්වුණේ බඩඉරිඟු වගා කරලා. දැන් එන අවුරුදු කාලයේ ජීවත් වෙන්නෙ කොහොමද? දරු පවුල් නඩත්තු කරන්නේ කොහොමද? අහස උසට යන බඩු ගන්නේ කොහොමද? හෙට දිනේ ජීවත්වෙන්නේ කොහොමද කියලා අද බඩඉරිඟු ගොවියා අන්ත අසරණ වෙලා කල්පනා කරමින් ඉන්නවා. ඒ හින්දා අපි රජයෙන් ඉල්ලා සිටිනවා අපේ ගොවිතැන විනාශ වුණේ නිලධාරීන්ගේ වැඩ නිසා. කරුණාකරලා හෙට ජීවත් වෙන පුළුවන් මුදලක් ලබා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි රත්නසිරි මහතා පවසා සිටින්නට විය.

අම්පාරේ පල්ලම්ඔය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පමණක් නොව බොහෝ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මුදල් බැඳ තිබෙන ගොවීන්ට අත්ව තිබෙන්නේ මෙවැනි ඉරණමකි. සල්ලි බැන්දත් මාස ගාණක් යන තුරු පොහොර නැත.

දැනගන්නට ලැබුණ විදිහට නම් බැන්ද සල්ලිවලට පොහොර ලැබී ඇත. එසේ ලැබුණ පොහොර පසුගිය සමයේ රුපියල් විසිපන්දාහත් තිස්පන්දහසත් අතර මිලකට විකුණා ඇති බවට ගොවීහු චෝදනා කරති. අවසානයේ දී බඩඉරිඟු වගාවට පොහොර ලබාගන්නට සල්ලි බැන්ද ගොවියෝ අන්ත අසරණව සිටිති.

අවසානයේ බැඳපු සල්ලිත් නැත. ලැබුණ පොහොරකුත් නැත. වගාවන් ද විනාශව ගොස් ඇත. අම්පාර සහකාර ගොවිජන සේවා කොමසාරිස්තුමියට මේ පිළිබඳ වගේ වගක් නැත. ඇයගේ කෙරුවාව පිළිබඳ දිගින් දිගටම විවිධ පාර්ශ්වයෙන් චෝදනා නගද්දී වගකිව යුත්තන් දෑස් පියා ගෙන මර නින්දේ සිටින්නේ ඇයි දැයි ගොවීහු ප‍්‍රශ්න කර සිටිති.

රසායනික පොහොර නවතා පටන් ගත් ජනාධිපතිතුමාගේ කාබනික පොහොර ව්‍යාපෘතිය ඇතැම් දූෂිත ගොවිජන නිලධාරීන් ඇතුළු ඒ හා සම්බන්ධ සමහර චෞර නිලධාරීන් අමු අමුවේම වනසා දැමූ බව ජනතාව පවසා සිටිති.

ඉතින් අප ද පුන පුනා කියන්නේ ඉරිඟු ගොවීන්ට ලැබුණ පොහොර හොර පාරේ යවා මඩි තරකර ගත් අමන නිලධාරීන් සොයා ගත යුතු බවය. ඔවුනට අරාබි දඬුවම් හෝ දී මෙම කාලකන්නි වැඩය නවතා දැමිය යුතු බවය.

වී අස්වනු නෙළා මාස කිහිපයක් ගත වූ පසු වී අලෙවි මණ්ඩලයේ ගබඩා හරින බව අපි අතීතය පුරා දුටුවෙමු. හාඞ්වෙයාර්කරුවෝ සිමෙන්ති මිටිය හිතුන හිතුන මිලට විකුණති. වී කිලෝව රුපියල් පනහකට හැටකට ගත් වී මෝල්ලූ හාල් කිලෝව රුපියල් 150ට, 160කට විකුණති. සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය දේ කළු කඩකාරයෝ හිතු හිතු මිලකට විකුණති. එසේ වෙද්දී පාරිභෝගික අධිකාරියේ මහත්වරු වකදෙක ගසාගෙන මර නින්දේ පසු වෙති.

ඒ සියලූ දේ වෙද්දී බොහෝ බඩඉරිඟු ගොවීන්ට වැලේ වැල් නැත. ජනතාව හැට නව ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ආණ්ඩුව වැඬේ හරියට කරනු ඇතැයි සිතමිනි. ආණ්ඩුවක් තිබෙනවා දැයි ජනතාව අපෙන් ද විමසා සිටිති. ජනතාවට අවශ්‍ය වන්නේ පාණ්ඩුව හැදුණු ආණ්ඩුවක් නොව ජනතාව රකින, ගොවීන් රකින ආණ්ඩුවක් බව පාලකයන් සිහියට ගත යුතුව ඇත.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment