බෝධි පූජා සාර්ථක වීමේ එකම රහස…

1416

අපල සඵල කරන බොදු පිළිවෙත් 03

ජෝති යනු ආලෝකය හෙවත් බැබළීමයි. රාත්‍රී කාලයේ දී ආලෝකය විහිදුවන ග්‍රහ වස්තූන් හා දිවා කාලයේ ආලෝකය පතුරුවන හිරු දෙස බලා ඒවා විශ්වයේ ගමන් කරන ස්වභාවය අනුව ලෝකයට සිදුවන යහපත හා අයහපත විමසන හා පෙන්වා දෙන ශාස්ත්‍රය ජ්‍යොතිෂය වේ. එනම් යම් මනුෂ්‍යයකු තමන්ගේ කුසල් අකුසල් අනුව උපදින ස්ථානය හා වේලාව අනුව විශ්වයේ ග්‍රහ තරු පිහිටීම තුළ එම පුද්ගලයාගේ ජන්ම චරිතය හා පෙර ආත්මවලදී කරන ලද පින් පව් අනුව මෙලොව දී ඔහුට හෝ ඇයට සිදුවන හොඳ හෝ නරක දේවල් එළිදැක්වීම මෙම ශාස්ත්‍රය උපයෝගි කරගනිමින් කළ හැකිවේ. ජ්‍යොතිශ්‍ය වනාහි ඉපැරණි ශාස්ත්‍රයක් වන නමුත් ඕනෑම කෙනකු මේවායේ ප්‍රමාණයට වඩා අන්ධානුකරණයෙන් එලඹගෙන නොසිටිය යුතු වේ. එනම් එය රාත්‍රී කාලයේ දී ගමන් කිරීමට විදුලි පන්දමක් පාවිච්චි කරන්නකුට හා සමානය. එනම් අඳුරේදී වළවල්වල නොවැටී, ගල් මුල්වල නොවැදී විවිධ බාධකයන් ජය ගෙන තම ඉලක්කය කරා යෑමට ඔහුට එම විදුලි පන්දම උදව් උපකාරී වේ. ජ්‍යොතිෂය ද මෙවැනිම වේ. එසේම බුද්ධිමත් ජ්‍යොතීර්වේදීන් ප්‍රකාශ කරන්නේ ග්‍රහයින් අපල නොකරන බවය. එනම් අප පෙර ජීවිතවල කරන ලද කුසල් අකුසල්ම අපගේ අද ජීවන තත්ත්වය සඳහා ප්‍රධාන හේතුවම වේ. අප අද කරන කුසල කර්මයන් තුළින් පෙර කරන ලද අකුසල කර්මයන්ගේ යම් ප්‍රමාණයක් යටපත් කිරීම හා පෙර කරන ලද කුසල කර්මයන්ගේ සුබ ඵල ලබා ගැනීම කළ හැකි වේ.

ජ්‍යොතිර්වේදීන්ගෙන් තමන්ට අපල යැයි දැනගත් බොහෝ පිරිස් ඉන් පසුව බොහෝවිට කරනුයේ මිථ්‍යාදෘෂ්ටික මතවාදයන් කරපින්නා ගමන් කිරීමයි. රාජ්‍ය නායකයන් පවා විවිධ මිථ්‍යා දෘෂ්ටික මාර්ගයන්ගෙන් ගමන් කොට අඳුරෙන් අඳුරටම යන ආකාරයක් අද ද විද්‍යමාන වේ. එයින් වන්නේ අපල සඵල බවට පත්වීම නොව අපල තව තවත් අපල බවටම පත්වීමය. ඔවුන්ගේ මේ ජීවිතය සුගතිගාමී වුවද මෙම නිසා මතු ජීවිතය බොහෝ දුගතිගාමී විය හැකි වේ.

පෙර ලිපිවලින් අප පැහැදිලි කළ ආකාරයට අපල තත්ත්වයක් යනු අප පෙර කරන ලද අකුසල් මෙම ජීවිතය තුළ විපාක දෙන කාලයන්ම වේ. මෙම කාලයන් තුළ බෞද්ධයන් ලෙස අප කළ යුත්තේ දස අකුසලයන්ගෙන් වෙන්ව, දස කුසලයෙන් මත පිහිටා කටයුතු කිරීමය. තවද එහිදී මූලිකවම දෙවියන්, බ්‍රහ්ම රාජ්‍යයන්ගේ පවා වන්දනාවට නිරන්තරයෙන් පාත්‍රවන, බොහෝ දෙවිවරුන්ගේ ද ශාස්තෲවරයා වූ සත්ථා දේවමනුස්සානං වන ඒ භාග්‍යවතුන් වහන්සේ නිවැරදිව සරණ යෑම හා නිරන්තරයෙන් වන්දනාමාන කිරීම කළ යුතුය.

චත්තාරෝ ලෝකේ පජ්ජෝතා
පංච මෙත්ත න විජ්ජති
දිවා තපති ආදිච්චෝ
රත්තිං ආභාති චන්දිමා
අත අග්ගි දිවාරත්තිං
තත්ත පකාසති
සම්බුද්ධො තපතං
සෙට්ඨෝ ඒසා ආභා අනුත්තරා ති,

ආලෝක සතරක් තිබෙයි. නමුත් ආලෝක පහක් නැත. දවල්ට සූර්යයා බබළයි. රාත්‍රියට සඳ බබලයි. දිවා රාත්‍රී දෙකේම ගින්න බබළයි. මේ බබළන හැම දේකටම වඩා සම්බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය. ඒ ආලෝකය අනුත්තර වේ යන්න එම ගාථාවේ අර්ථය යි.

මේ අනුව මෙම ලොව සෑබෑම ආලෝකය වන දෙවියන් බඹුන් පවා වඳින සම්බුදුරජාණන් වහන්සේ අප ද වන්දනා කරන විට අපට නිරන්තරයෙන් දේව ආශිර්වාදයම ලැබේ. එහිදී බෝධි වන්දනාව මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ පවා නේත්‍ර වන්දනාව ලද (අනිමිසලෝචන පූජාව) වන්දනාමාන සිදුකරන්නට අනුදැන වදාළ (ආනන්ද බෝධි පුවත) උතුම් පූජාවකි. පසුගිය කලාප දෙකකින් අප බෝධි පූජාව සිදුකිරීමෙන් අකුසල කර්මයන් වෙනස් වූ මේ ජීවිතේම උදාහරණ කිහිපයක් දැක්වූවෙමු.

නමුත් බෝධි වන්දනාවේ සාර්ථකත්වය සඳහා බලපාන ප්‍රධානම කාරණා ගණනාවක් ඇත. ඉන් කිහිපයක් අද සරලව මෙසේ අප සාකච්ඡා කරමු.

1) බෝධි වන්දනාව කරන දින කිහිපය තුළ දස අකුසල්වලින් වෙන්වී දස කුසල් වෙත පැමිණිය යුතුය.

2) එම දින කිහිපය තුළ ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම කළ යුතුය.

3) බුදුරජාණන් වහන්සේගේ ගුණ මොනවාද යන්න සොයා බලා එම බෝධි පූජාව සිදුකරන කාලය තුළ නිරන්තරයෙන් බුදුගුණ සිහි කිරීම කළ යුතුය.

4) කරණීය මෙත්ත සූත්‍රය රතන සූත්‍රය, ධජග්ගසූත්‍රය මෙවැනි සූත්‍ර සජ්ඣායනා කිරීම කළ යුතුය.

5) බෝධි වන්දනාවට පෙර අදාළ ස්ථාන සුද්ද පවිත්‍ර කිරීම කළ යුතුය.

සියලු අකුසල්වලින් වෙන්වූ (අරහං) සියලු අකුසලයන්ගෙන් වෙන් වීමට නිසි මග පෙන්වූ (බුද්ධ) ඒ ශාස්තෲවරයාණන් ශ්‍රද්ධාවකින් යුතුව වන්දනාමාන කරන විට සිදු වන්නේ පෙර කරන ලද අපගේ අකුසලයන් යටපත්වී කුසල ශක්තීන් මතු වීම වේ.

එනම් බෝධි පූජා සාර්ථක වීමේ ප්‍රධාන රහස ශ්‍රද්ධාවකින් යුතුව කිරීමම වේ. ඔබගේ නිවසේ ප්‍රධාන දොරටුවේ යතුරින් ඔබගේ අල්මාරිය හෝ වෙනත් දොරටුවක් විවෘත කළ නොහැකිය. ඒ ආකාරයම බෝධි වන්දනාව යම් දොරටුවක් නම් එය සාර්ථකව විවෘත කිරීමේ යතුර ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවම වේ. එසේ නම් ඔබ බෝධි පූජාවක් සාර්ථකව සිදුකිරීම සඳහා මූලිකවම එහි භෞතික පැත්තට වඩා අවධානය යොමුකළ යුත්තේ ඔබගේ ශ්‍රද්ධාව බලවත් කර ගැනීම වෙතමය. එහිදී ඔබ මූලිකවම නව අරහදි බුදු ගුණයන්ගේ තේරුම හොඳාකාරවම දැන සිටිය යුතුමය.

පෙර කරන ලද අකුසලයන් නිසා දුකට පත් වී සිටින අප, සියලු දුක් දුරු කළ, සියලු දුක් නසන මඟ දෙසූ ඒ ශාස්තෲවරයන් සඳහා ශ්‍රද්ධාවෙන් බෝධි පූජා සිදු කරන විට, සියලු දුකින් මිදෙන මාවතකට අපත් යොමුවී අපගේ ද අපල සඵල වීම සිදු නොවන්නේ ද යන්න ඔබම මදක් බුද්ධිමත්ව සිතා බලන්න.

ජ්‍යොතිෂවේදී, මනෝවිද්‍යා උපදේශක
ශාස්ත්‍රපති, ශ්‍රී නුවන්තික බුලත්සිංහල
දම්හිරු ජ්‍යොතිෂ උපදේශන සේවය
දු. අ 0706181000/ 0777957700

advertistmentadvertistment
advertistmentadvertistment