හෙදිය විද්ද බෙහෙත් තුනෙන් පසු දරුවා නිල්පාට වුණා

874

මහත්තයා දරුවාගේ ලේ එක පරීක්‍ෂා කරගෙන එන්න ගියා…
මම ඇහුවම බෙහෙත් තුනක් ඇයිද කියලා අම්මේ එකක් වතුරය කිව්වා – මව කියයි
දරුවා ගැන රෝහලේ වෛද්‍යවරුන් කිසිදු සැලකිල්ලක් දැක්වූවේ නෑ

තිස්සමහාරාමයේ දින 15ක බිළිඳකු මිය යෑමේ ඛේදාන්තය

දින 15ක් වයසැති බිළිදු දරුවකු දෙබරවැව රෝහලේ වෛද්‍යවරයකුගේ නොසැළකිල්ල නිසා මිය ගිය බවට දරුවාගේ පියා විසින් තිස්සමහාරාම පොලිසියට පසුගිය 10 වන දින පැමිණිල්ලක් සිදුකර තිබේ.

මියගිය දරුවාගේ පියා වන අංක 36/2, කුඩාගම්මාන 04, බෙරළිහෙල, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි එල්. වයි. චාමර මහතා විසින් පසුගිය 10 වන දින තිස්සමහාරාම පොලිසියට මෙලෙස පැමිණිළි කර තිබේ.

දරුවගේ උපන් දිනය 2022.07.21. දරුවා හොඳට නීරෝගිව හිටියා. දරුවගේ අතේ පුංචි බිබිළි කිහිපයක් ඇවිත් තිබුණා. පසුව මමයි නෝනයි දෙනත් එක්ක දරුවා පසුගිය 07 වන දින දෙබරවැව පුද්ගලික වෛද්‍යවරයකු හමුවට එක්කගෙන ගියා. එහිදී එම වෛද්‍යවරයා අපට කිව්වා දරුවා පොඩි වැඩි නිසා බෙහෙත් දෙන්න බෑ. රෝහලට අරන් ගිහින් සමේ රෝග වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා. ඒ නිසා අපි 07 වෙනිදා දෙබරවැව රෝහලට දරුවා ඇතුළත් කළා. එහිදී දරුවා පරීක්ෂා කරපු වෛද්‍යවරයා කිව්වා දරුවගේ ලේ එකක් බලන්න ඕනේ කියලා. ඒක රෝහලෙන් කරන්න බෑ. පිටින් ගිහින් කරගෙන එන්න කියලා. ලේ එකක් අරගෙන දුන්නා. මම ලේ එකත් අරගෙන ඒක පරීක්ෂා කරන්න දෙන්න ගියා.

හෙදිය විද්ද බෙහෙත් තුනෙන් පසු දරුවා නිල්පාට වුණා

දරුවාගේ හදිසි මිය යාම සම්බන්ධයෙන් දරුවාගේ මව වන මෙරෙන්චිගේ දිලක්ෂි හේමමාලී මෙලෙස පැවසුවාය.

දරුවා දෙබරවැව රෝහලට ඇතුළක් කළාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිත් බෙහෙත් තුනක් දරුවාට විද්දා. මං නර්ස්ගෙන් ඇහුවා මොකද්ද මිස් බෙහෙත් තුනක් විද්දේ කියලා. ඒ වෙලාවේ නර්ස් කිව්වා අම්මේ බෙහෙත් දෙකයි විද්දේ. අනිත් එක වතුර එකක් විද්දේ කිව්වා. කොහොම හරි ඒ බෙහෙත් එක විදලා වැඩි වෙලාවක් ගියේ නෑ. බෙහෙත් විද්ද අත නිල් පාට වෙන්න ගත්තා.ටික වෙලාවකින් දරුවගේ මුළු ඇගම නිල් පාට වේගෙන දරුවගේ ඇස් පියවී ගියා. මම හයියෙන් කෑ ගහලා කිව්වා මගේ දරුවට මොකද්ද වෙනවා කියලා. එතකොට එතනට ආව දොස්තර මහත්තයා මගෙන් ඇහුවා දරුවට කිරි දුන්නද කියලා. මම කිව්වා කිරි දුන්නේ නෑ කියලා. පස්සේ වෛද්‍යවරු දරුවා වෙනම ඇඳක තියලා කෘත්‍රීම ශ්වසනය දුන්නා. දරුවට ඒ වෙනකොටත් හොඳටම අමාරුයි. පස්සේ ඇම්බියුලන්ස් එකක දාලා දරුවා එදාම රෑ හම්බන්තොට මහ රෝහලට යැව්වා. එහිදී වෛද්‍යවරු කිව්වා ලෙඩාව බාරගන්න බෑ කියලා. මං අඬ අඬා මොනවා හරි කරන්නකෝ මගේ දරුවා බේරා දෙන්න කියා ඇඬුවා. ඊට පස්සේ හම්බන්තොට දොස්තර මහත්තයලා දරුවා රෝහලට අරගෙන ප්‍රතිකාර කළා. ඒත් දරුවට සනීපයක් තිබුණේ නෑ. ඒ නිසා පසුදින දරුවා හම්බන්තොට මහ රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැව්වා. නමුත් මට මගේ දරුවා බේරා ගන්න බැරි වුණා. මගේ දරුවා මරා ගත්තේ දෙබැරවැව රෝහලේ දොස්තර මහත්තයයි.

මගේ දරුවා නැති වුණා. කිසිදු අම්මා කෙනෙකුට මේ වගේ විපත්ති වෙන්න දෙන්න එපා. මොකද මන් දන්නවා මගේ දරුවට කිසිදු මරණාසන්න ලෙඩක් තිබුනේ නෑ කියලා. අතේ ආව පුංචි බිබිලි කිහිපයකට බෙහෙත් ගන්නයි මං ඉස්පිරිතාලෙට ගියේ. එහිදී තමයි අපිට මේ අවාසනාවන්ත සිදුවීම සිදු වුනේ. නොසැළකිල්ලෙන් රාජකාරි සිදුකළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකල යුතුයි යැයි දරුවාගේ මව හඩා වැළපෙමින් කීවාය. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

මත්තල – දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment