අයගම දිමියාව හරහා රත්නපුර මාර්ගයේ මැදගලතුර පාලම කඩා වැටේ

140

මැද ගලතුර දිමියාව හරහා රත්නපුර මාර්ගයේ ගලතුර ගඟ හරහා මීට වසර 15ට පෙර ඉදිකළ අඩි 70 ක් දිග පාලම ඉකුත් එකොළොස් වෙනිදා සවස ගඟට කඩා වැටිණි. මේ අවස්ථාවේ කිසිදු දේශගුණික වෙනසක් තිබුණේ නැති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. අයගම ප්‍රාදේශීය සභාව මගින් ලක්ෂ 90ට ආසන්න මුදලක් වැයකර සබරගමු පළාත් සභාවේ අධීක්ෂණය යටතේ මෙම පාලම ඉදිකිරි කර තිබුණි.

මෙහිදී ප්‍රදේශවාසීන් පැවසුවේ අපට ඉක්මනින් ප්‍රධාන නගරයකට යෑමට තිබූ පාලමයි මේ කඩා වැටී ඇත්තේ. කිසිදු අවදානමක්, ආපදාවක් මෙම පාලමේ තිබුණේ නැහැ. මෙම පාලම ඉදිකිරීමත් සමග අපේ ගම්මාන දියුණු වුණා. අපිත් වහාන පවා මිලදී ගත්තා. එදා මෙම පාලම ඉදිකිරීමට අවස්ථා කීපයකදී මුල් ගල් තියන්න දේශපාලනඥයෝ කටයුතු කළා. හැබැයි කියන්න කනගාටුයි බලධාරීන් එක්කොම එකතුවෙලා තමයි මෙම පාලම ඉදිකිරීමේ කොන්තරාත්තුව ගත්තේ. ඉන් පස්සේ සිදු වුණේ සිමෙන්ති කොට්ටය, ගල් තාච්චියේ සිට මුදල් ගසා කෑමයි. අද කිසිදු ස්වාභාවික ආපදාවක් නොමැති අවස්ථාවක මෙම පාලම ගඟට කඩා වැටීම ඒවායේ ප්‍රතිපලයි. මේ වනවිට තිබ්බ මුල් ගලුත් (පලක) අතුරුදන් වෙලා. දැන් වගකීම් ගන්න අයකුත් නැහැ.

මෙහිදී පාලම ඉදිකරන අවස්ථාවේ කම්කරුවකු ලෙස සේවය කළ අයකු මෙහිදී පැවසුවේ -මෙම පාලම ඉදිකරන අවස්ථාවේ මම දවස් පඩියට එහි වැඩකළා. පාලමේ කණු ඉදිකිරීමට ගං පතුල හාරන කොට මැණික් ඉල්ලම් මතුවුණා. ඊට පසු ඉල්ලමට තමා මුල්තැන දුන්නේ. ඒ මත වැලි අතුරලා තමයි කොන්ක්‍රට් දැම්මේ. පාරුගලට කම්බි බැස්සුවේ නැහැ. මෙහි කොන්ත්‍රාත්කරුයි, ඉංජිනේරුවයි, වැඩ පරීක්ෂකයි එක්කොම වගකීම් දැරුවේ එක් අයෙක්. දැන් ඒ අය ජීවතුන් අතරත් නැහැ.

දිනකට මගී බස් රථ ඇතුළු රථවාහාන සිය ගණනක් භාවිතා කරන මෙම මාර්ගයේ ප්‍රවාහන කටයුතු ඇනහිටීම හේතුවෙන් ගම්මාන 17 ජනතාවට බාධා සිදුව ඇත. ඒ අතරට කවච්චිකන්ද, වැලිවේරිය, නොම්බර දෙක, කන්දේවත්ත, කඩුගම්මුල්ල, කෝට්ටබන්ඩාව, හේන්යාය, දම්මුළුවන සහ කහවත්ත යන ගම්මාන ප්‍රධාන වන අතර හත්දහසකට අධික පිරිසකට මින් සෘජු බලපෑම් ඇතිවේ. අයගම සිට රත්නපුර නගරයට ඇති කෙටිම මාර්ගය මෙය වේ.
ඩී. කේ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment