ලෝකෙට අලුතෙන් වෛරස් තුන්දාහක්

162

මිනිසා මිහිපිට ආධිපත්‍ය පැතිරීම ඇරැඹූ දිනයේ සිට තමන් ද සත්ත්ව සංහතියේ ම තවත් එක් පුරුකක් බව අමතක කර ඇත. මේ දෙපා සතා පරිසරය සිය සින්නක්කර දේපළක් මෙන් විනාශ කරමින් පරිභෝජනය කිරීමේ ප්‍රතිඵල බූමරැංගුවක් මෙන් හඹා එමින් පවතියි. එහෙත් ඒ ගැන සිතන්නට ආත්මාර්ථකාමී මිනිසාට අවශ්‍යතාවක් නැත. ලොවම දවන උණුසුම, කඳු – අහස සූරන මැදුරු බිමට සමතලා කරන නාය යෑම්, ලොව ම කම්පා කරන භූ කම්පන, ගොඩබිමත් මහ සයුරක් කරන සුනාමි තත්ත්වයන් ඇතුළු සොබාදහම් විකෘතිවලට හේතුව දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන මිනිසාගේ ක්‍රියාකාරකම් ය. පරිසර විනාශයේ ප්‍රතිඵල බීමට ජලය පොදක් නැති වීම, සිරුරට දැරිය නොහැකි තරම් දැඩි උණුසුමක් දැනීම පමණකින් සීමා නොවෙයි. පරිසර විනාශය මිනිස් වර්ගයා ගේ සුව සම්පතට බලවත් තර්ජනයකි.

මිනිසා – පරිසරය – සත්ත්වයා අතර වෙන් කළ නො හැකි අයුරින් පරිණාමිකව අන්තර් සබඳතාවක් පවතියි. මිනිසා ගේ පැවැත්මට පරිසරය සහ සත්ත්වයා ගේ බලපෑම ගසට පොත්ත බඳුය. මේ බැඳීම දෙදරා යෑම කෙතරම් භයානකද ? ඉදිරි වසර හතළිහක කාලයකදී මිනිසා සතුන්ගේ වෛරස තුන් දහසකින් රෝග තුන් දහසකට ගොදුරුවීමේ අවදානමක් පවතියි. ඒ රෝග මොනවාද? කුමන සතුන්ගෙන් බෝ වනවාද ? ඒවා කෙතරම් බරපතළ ද ? මේ කිසිවක් ගැන අනාවැකි කීමට වෛද්‍ය විද්‍යාවට ද හැකියාවක් නැත. එයින් ම අනාගතයේ මිනිසා ගේ සෞඛ්‍යයට ඇති තර්ජනයේ තරම, භයානක කම හෙළිවෙයි. සතුන්ට තියෙන ලෙඩක්, සතුන් තුළ ජීවත් වන බැක්ටීරියා, වෛරස වැනි පරපෝෂිතයන් මිනිසා ගේ ශරීරගතවී රෝගී වීම නිසා ඇතිවන රෝග (Zoonotic Diseases) ගණනාවක් මේ වන විට හඳුනා ගෙන ඇත. විශේෂ ගණනාවක ගැහැනු මදුරුවන්ගෙන් මිනිසාට ඇති වන රෝග රැසක් මේ වනවිට හඳුනාගෙන අවසන් ය. ඒ රෝග මානව ශිෂ්ටාචාරයට කෙතරම් තර්ජනයක් වී ඇත්දැයි කිවහොත් සෑම වසරකම අගෝස්තු 20 වැනිදා ලෝක මදුරු දිනය සමරන්නේ මදුරුවන්ගෙන් මිනිසාට වැළඳෙන රෝග ගැන දැනුවත් කර ඉන් ආරක්ෂා වීමට ගත හැකි පියවර පිළිබඳව ජනතතාව ඥානනය කිරීමට ය.

මානව වර්ගයා සතුන්ගෙන් බෝ වන රෝගවලින් පීඩා විඳිබව වාර්තා වන්නේ ක්‍රි.පූ. 1320 තරම් දුරාතීතයේ සිට ය. මීයන්ගේ බැක්ටීරියාවකින් පැතිරුණු බැක්ටීරියාවකින් ඇතිවුණු මහාමාරිය මානව ශිෂ්ටාචාරය, සාහිත්‍ය, කලාව, මිනිස් ජනගහනය යන සියල්ලටම සුවිසල් බලපෑමක් එල්ල කළේ ය.

සතුන්ගෙන් බෝ වන රෝගවලින් ලාංකික අපට මුලින් ම මතකයට නැගෙන්නේ මැලේරියාව ය.

● මැලේරියා මදුරුවාට නිජ බිම් වුණේ කුඩා දිය කඩිති

2016 වසරේ සිට ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික ලද දේශයක් වුවත් 1906 තරම් ඈත කාලයේ මෙරට ජනතාවට ගම් නියම්ගම් හැර යෑමට පවා මැලේරියා රෝගය හේතුවිය. 1934 – 1935 කාලයේදී අපේ රටින් මැලේරියා රෝගීන් මිලියන 4කට වඩා වාර්තා වී තිබෙයි. ඒ කාල සීමාවේදී මියගිය රෝගීන් ගණන අසූදහසක් බව සඳහන් වෙයි.

රෝගය පැතිරුණේ වනාන්තරයේ සිටින මදුරුවන් විදීමෙන් නොවෙයි. උතුරු නැගෙනහිර පළාත්වල වියළි කාලවල තැන තැන රැඳුණු කුඩා ජල කඩිතිවල බෝවුණු ඇනෝපිලස් ගැහැනු මදුරුවන් රෝගය ව්‍යාප්තියට මුල්විණි. තවමත් මැලේරියාව ගෝලීය තර්ජනයකි. 2022 අප්‍රේල් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව රෝගීන් මිලියන 241ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 627000 කි.

● ඩෙංගු (ඩෙංගි) තොටිලි හැදුවෙත් අපමයි

ඩෙංගි කොවිඩ් – 19 ට පෙර ප්‍රධාන සිරස්තල මැවූ රෝගයකි. රෝගය ගැන ජනතාව කෙතරම් සෞඛ්‍ය සේවාවන් මගින් දැනුවත් කළාද කිවහොත් කුඩා දරුවකු පවා ඩෙංගි මදුරුවා බෝ වන්නේ පිරිසුදු ජලයේ පිරුණු තැන්වල බව හොඳින් දනියි. නිවෙස අවට හිස් භාජනවලින් තොරව, දිය බිඳක් හෝ රැඳෙන ස්ථානවලින් තොරව තැබිය යුතු බව පිළිගනියි. නිවෙසේ ශීතකරණයේ පිටුපස පවා පිරෙන ජලය ඩෙංගු ගැහැනු මදුරුවන්ට සිය ගහනය වර්ධනය කර ගැනීමට තෝතැන්නක් බව නො දන්නා ගෘහණියක් නැති තරම් ය. එහෙත් අසල්වැසි නිවෙසේ සාමාජිකයකුට ඩෙංගි වැළඳුණ විටදීවත් තමන් ගේ නිවෙස අවට පිරික්සීමට වැඩි දෙනකුට අමතක ය. ඔවුනට තරු විසිවන්නේ පවුලේ සාමාජිකයකු රෝගයට ගොදුරුවූ විට ය. අඩු වශයෙන් නිවෙසේ එක් සාමාජිකයකු හෝ නිවෙස අභ්‍යන්තරයේ, නිවෙස අවට පරිසරයේ ජලය රැඳෙන තැන් සොයා බලනවා නම් පහසුවෙන් ඩෙංගි රෝගය වළක්වා ගත හැකි ය. රටේ සියලු ජනතාවගෙන් සියයට අසූවක් එසේ කරනවා නම් ගැහැනු ඊඩිස් ඊජිප්ට් හෝ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවාගෙන් ඩෙංගි ව්‍යාප්ත වීමක් සිදුවන්නේ නැත. වොට්ස්ඇප් කණ්ඩායම්, මුහුණු පොතේ සගයන් සමග ඇති සාමූහික හැඟීම, බැඳීම පන්සල්, පාසල්, අලුතින් ඉදිකිරීම් සිදු කෙරෙන තැන් පරීක්ෂා කිරීම වැනි සමාජ සේවා ක්‍රියාකාරකමකට ද යොදාගත හැකි නම් කෙතරම් අපූරුද ?

● මදුරු තර්ජන ඉදිරියටත්

මැලේරියා, ඩෙංගි, සිකා, වෙස්ට් නයිල් වෛරස වාහකයකු ලෙස ක්‍රියා කරන ගැහැනු මදුරු විශේෂවල තර්ජනවල කෙළවරක් දක්නට නැත. ඔස්ට්‍රේලියාවේ ක්ෂුද්‍ර ජීවී කණ්ඩායමක් මිනිසා ගේ සමට, ඇතැම් විට අස්ථිවලට පවා බලපාන සියලු මදුරු වාහක රෝගවලට වඩා භයානක බැක්ටීරියාවක් සමහර ගැහැනු මදුරු විශේෂවල දැකිය හැකි බව සොයා ගෙන තිබෙයි. Mycobacterium ulcerans නම් ඒ බැක්ටීරියාව විසින් Buruli ulcer නම් තත්ත්වය ඇති කරයි. බැක්ටීරියාව විසින් ජීවී සත්ත්වයන් ගේ මාංශ කුණුවන තත්ත්වයට පත් කරයි.

● වඳුරාගෙන් මිනිසාට පැන්න එච්අයිවී

ලෝකෙට අලුතෙන් වෛරස් තුන්දාහක්

1980 දශකයේදී වැඩි වශයෙන්ම පිරිමි පිරිමි අතර පවත්වන කායික සබඳතාවලදී සෑදෙන රෝගයක් ලෙස හඳුනා ගත් එච්අයිවී ආසාදිත වී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය ගණන මේ වන විට මිලියන 40කට අධිකය. 2022 අවසානය වන විට ගෝලීයව එච්අයිවී ආසාදනය වූවන් මිලියන 39ක් පමණ ජීවත් වන බවට ගණන් බලා තිබෙයි. ආසාදනය කවරාකාරයකින් හෝ මිනිසාට ශරීරගතවී තිබෙන්නේ බටහිර – මධ්‍යම අප්‍රිකාවේ කැලෑ චිම්පන්සියන්ගෙනි. කෙතරම් පර්යේෂණ සිදු කළ ද අදට ද ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිය ලබාදෙන එන්නතක් නිපදවී නැත.

● කොවිඩ් – 19 මරණ ප්‍රතිශතය අඩුයි

වසර තුනකට ආසන්න කාලයක් ලෝකයාට සොබා දහම කියා දුන් අපූරු පාඩමක් ලෙස කොවිඩ් – 19 හඳුන්වා දිය හැකියි. පරිසරය විනාශ කිරීමේ බරපතළකම ගැන සිතන්න මිනිසාට රෝගය මගින් කාලය උදාකර දුනි. ඉතිහාසයේ වසංගතවල භයානකකම, කටුක බවට ලෝකයාට එකල හොඳින් ම ලැබිණි. වාසනාවකට නව කොරෝනා වෛරසයට ගොදුරු වූවන්ගෙන් වැඩි ප්‍රතිශතයකට දිවි බේරා ගැනීමට හැකිවිය. එහෙත් දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳි සහ වයෝවෘද්ධව සිටි පුද්ගලයන් වැඩි වශයෙන් මරණයට පත්විය. වසරක් තුළ නව කොවිඩ් – 19 ට එරෙහි එන්නත් නිපදවීම ඇරැඹිණි.

චීනයේ වුහාන් මත්ස්‍ය ආහාර තොග වෙළෙඳපොළෙන් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ මූලරාම්භය සිදුවූ බව වාර්තා වෙයි.

● සෞඛ්‍ය සේවකයන්ට ඇති තර්ජනය

ඉබෝලා මුලින්ම හඳුනා ගත්තේ 1976 දී මධ්‍යම අප්‍රිකාවෙනි. වඳුරන්, චිම්පන්සින්ගෙන්, ගෝරිල්ලන්ගෙන් බෝවන මේ රෝගය වැළඳුණු සියයට පනහකට වඩා මියයෑමේ අවදානමක් පවතියි.

කෙතරම් මාරාන්තික වුවද සෞඛ්‍ය සේවකයන් රෝගීන්ට සේවය කිරීමට වෘත්තියෙන් බැඳී සිටියි. එහෙත් සෞඛ්‍ය සේවයන් ද මනුෂ්‍යයන් ය. 2014 ඇතිවුණු ඉබෝලා වසංගතයෙන් අප්‍රිකාවේ වෛද්‍යවරු, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 881කට රෝගය ආසාදනය වූ අතර 513 ක් මියගොස් තිබෙයි. මේ වන විට ඉබෝලා වෛරස ප්‍රභේද ගණනාවකට එන්නත් නිපදවා ඇත.

කොවිඩ් – 19 වසංගත සමයේ අපේ රටේ සමහර පවුල් සිය පවුලේ සෞඛ්‍ය සේවා සාමාජිකයාට රැකියාවට යෑමට අවසර ලබා නුදුන් බව රහසක් නො වෙයි. වයස්ගත වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පැමිණ කොවිඩ් වැළඳී මියගිය අවස්ථා ද ඇත.

● අනාගත රතු එළි

ඉදිරි වසර 40 ඇතුළත ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දෙකකින් වැඩි වීමේ අවදානමක් ඇති බවට අනුමාන කරයි. වැඩිවන උෂ්ණත්වයට මුහුණ දීමට නො හැකිව සතුන් අලුත් පරිසර සොයා සංක්‍රමණය වනු ඇත. ඒ සමග සතුන් අතර භ්‍රමණය වන ක්ෂුද්‍රජීවීන් මිනිසාට ශරීරගතවීමේ අවදානම ද ඉහළ යයි.

මිනිසාට සතුන්ගෙන් ශරීරගතවී තිබෙන වෛරසවලට ප්‍රතිදේහ (රෝගයට එරෙහිව සටන් කරන සෛල) සෑදෙන බැවින් රෝගය දරුණු ලෙස බලපෑමට තිබෙන ඉඩ අඩු ය. එහෙත් නව වෛරස එසේ ශරීරගතවූ ඒවා නොවන බැවින් ඒවා කෙතරම් භයානක අයුරින් බලපානවා ද යන්න මැනීමට ක්‍රමයක් තවමත් නො මැත.

උෂ්ණත්වය ඉහළ යෑමේ තවත් අවදානමක් වන්නේ ලෝකයේ ග්ලැසියර් (හිම ගංගා) දිය වීම ය. හිම, මුහුදු අයිස් දියවීමේ හේතුවෙන් පෞරාණික වෛරස, බැක්ටීරියා, දිලීර මතුවීමේ අවදානමට දැනටමත් මිනිසා මුහුණ පා සිටියි. 2021 දී විද්‍යාඥයන් කණ්ඩායමක් දියවූ ග්ලැසියර් අයිස් පරීක්ෂා කර වසර 15000ක් පැරැණි වෛරස 33ක් සොයා ගෙන ඇත. ඉන් 28ක්ම අලුතින්ම හඳුනාගත් වෛරසය ය. මුහුදු අයිස් දියවීමෙන් ක්ෂීරපායින්ගේ Phocine distemper virus (PDV) වෛරසය මිනිසාට ශරීරගතවීමේ අවදානමක් පවතින බව ට්‍රසි ගෝල්ඩ්ස්ටීන් විද්‍යාඥවරිය සයන්ටිෆික් රිපෝට්ස් ජර්නලයේ සඳහන් කර තිබිණි. එය ප්‍රබල ලෙස ආසාදනය වන වෛරසයකි. වසර 1988 දී PDV වෛරසය ශරීරගත වීමෙන් යුරෝපියානු හාබර් සීල් මසුන් 23000ක් මියගොස් තිබෙයි. 2002 වසරේදී ඇතිවූ වසංගත තත්ත්වයේදී සීල් මසුන් 30000කට අධික ප්‍රමාණයක් මියගියහ. 2004 දී ඇලස්කාවෙන් රෝගී ඔටර්ස් සතුන් හමුවී තිබෙයි. මුහුදු අයිස් මගින් එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට වෛරසය යෑම වැළකී තිබුණ ද මුහුදු අයිස් දියවීම සමග සෙසු පෙදෙස් කරා පැතිර යෑමේ අවදාන ම ඉහළ යයි. එය එසේ නම් මිනිසාට එවැනි රෝග බෝවීම ගැන කවර කතාද? තවමත් ග්ලැසියර් සහ මුහුදු අයිස් දියවීමේ භයානකකම විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කිරීම ඇරැඹුවා පමණි.

● අපට කළ හැකි දේ කුමක්ද ?

පරිසරය රැක ගැනීමට අප වෙනුවෙන් අප ඉදිරිපත් විය යුතුයි. ජීවිත කාලය තුළ අප පරිසරයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කළ හැකි නම් මිනිසා – පරිසරය – සතුන් අතර පවතින අන්තර් සබඳතාව සුරකමින් සුව සම්පන්න දිවියක් ගත කිරීමට හැකි වනු ඇත. ඒ සඳහා අප කාබනික පියසටහන් “carbon footprint” හැකි තරම් අවම ප්‍රමාණයක් තබා මිහි මවගෙන් සමුගත යුතුය. එසේ කරන්නේ කෙසේද ? එළවළු පලතුරු ගෙවත්තේ ම වවා කෑමට ගන්නේ නම්, මස් මාංශ වෙනුවට වැඩි වශයෙන් එළවළු පලතුරු කෑමට ගන්නේ නම්, පයින් යා හැකි දුර වාහනයකින් නො යා පයින් ගමන් කරන්නේ නම්, පරිසරයට ප්‍රයෝජනවත් පැළ සිටුවන්නේ නම් නිවෙසේදීම ආහාර පිළියෙල කර ගන්නේ නම් භාවිත නොකරන වෙලාවට විදුලිය විසන්ධි කරන්නේ නම්, රූපවාහිනි යන්ත්‍රය, පරිගණකය ක්‍රියා විරහිත කරන්නේ නම්, වියළි කොළ වැනි කාබනික ද්‍රව්‍ය පුළුස්සන්නේ නැතිව කාබනික පොහොර බවට පත් කරන්නේ නම් කෘත්‍රිම රෙද්දෙන් මැසූ ඇඳුම් වෙනුවට කපු ඇඳුම් අඳින්නේ නම් අපෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුකළ හැකිය. අපට වැළඳීමට ඇති ආගන්තුක වෛරස ප්‍රමාණය ද අවම කිරීමට පුළුවන.

උපදෙස් – පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ හිටපු කුලපති, ශල්‍ය වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය එම්. ඩී. ළමාවංශ

****

නිපා ඊළඟ ලොක්ඩවුන් වසංගතය ද?

ඉන්දියාවේ කේරළ ජනපදයේ දෙදෙනකු නිපා (Nipah) වෛරසයෙන් මිය යෑමත් සමග එරට රජයේ පමණක් නොව අන්තර්ජාතිකව ද දැඩි අවධානයක් මේ වෛරසය කෙරෙහි යොමුවී පවතියි. කේරළ ජනපදයේ දැනට රෝගය ආසාදනය වී ඇති ගණන 700කට අධික ය. පස් වසරක කාලයකදී කේරළ ජනපදයෙන් නිපා රෝගීන් හමුවූ සිව්වැනි අවස්ථාව මෙය වෙයි. අවසන් වරට නිපා රෝගියකු හමුවී තිබුණේ 2021 වසරේදී ය.

නිපා වෛරසය සතුන්ගෙන් මිනිසාට ශරීරගත වන රෝගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඌරන්, පලතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසාට රෝගය පැතිරෙයි (zoonotic disease). ආසාදිත පුද්ගලයකු ස්පර්ශ කළ ආහාර මගින් ද නීරෝගි කෙනකුට විසබීජය ශරීරගත විය හැකි ය. වෛරසය ශරීරගත වූ ඇතැමුන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. තවත් අයට ස්වසන ගැටලු මතුවෙයි. වමනය, උණ වැනි රෝග ලකුණු ඇතිවෙයි. රෝගය අසාධ්‍යව බලපෑ විට මාරාන්තික එන්සෙෆලයිටිස් (මොළය ප්‍රදාහයට පත්වීම) තත්ත්වයට ගොදුරු වෙයි. එන්සෙෆලයිටිස් තත්ත්වයෙන් දරුණු ලෙස හානි සිදුවන්නේ මොළයට ය.

නිපා ආසාදනයට නිසි ප්‍රතිකාරයක් හෝ රෝගයෙන් වැළකී සිටීමට එන්නතක් නැත. රෝගී වූ අයට රෝග ලක්ෂණ අවම කිරීමට ප්‍රතිකාර ලබාදෙයි.

මුලින්ම නිපා රෝගීන් වාර්තා වූයේ 1999 දී මැලේසියාවෙන් සහ සිංගප්පූරුවෙනි. රෝගී වූ ඌරන් දෙදෙනකු සහ පුද්ගලයන් රැසක් මැලේසියාවෙන් සහ සිංගප්පූරුවෙන් වාර්තා විණි. මැලේසියාවේ පුද්ගලයන් 265කට රෝගය ආසාදනය වූ අතර 105ක් මිය ගියහ. සිංගප්පූරුවේ රෝගී වූ ගණන 11කි. එක් අයකු මිය ගියේය.

රෝගය වැළඳුණු විට මියයෑමේ අවදානම 40% – 75% ක් වෙයි. මියයෑමේ අවදානම නිපා වෛරස ප්‍රභේදය අනුව තීරණය වෙයි.

සත්ත්ව වාසස්ථාන විනාශ කිරීමත් සමග සතුන්ගෙන් මිනිසාට වැළඳෙන රෝග ගණනට එක්වූ තවත් එක් භයානක වෛරසයක් ලෙස නිපා වෛරසය හැඳින්විය හැකි ය.

****

සතුන්ගෙන් මිනිසාට ඇතිවන රෝග කිහිපයක්

ජලභීතිකා – බල්ලන්, පූසන්, දඬුලේනුන් වැනි සතුන්ගෙන් බහුලවම බෝවෙන මාරාන්තික ජලභීතිකා රෝගයෙන් පහසුවෙන්ම ආරක්ෂා වීමට පුළුවන. ඒ නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයන්, බළලුන් වැනි සතුන්ට රෝගයට එරෙහි එන්නත් ලබා දීමෙනි.

ඇන්ත්‍රැක්ස් – ගොවිපළ සතුන්ගෙන් පැතිරෙන්නකි. සතුන් එන්නත් කිරීමෙන් රෝගය වළක්වාගත හැකි ය.

මර්ස් – Middle East Respiratory Syndrome ගෘහස්ථ සහ වන සතුන් අතර පැතිරෙන රෝගයකි.

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment