සිය මෙහෙයුම් කටයුතු සිදුකරන හැටි ශ්‍රී ලංකන් රටට කියයි….

92

මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් පිරිසක් වෙත වෙනස්ම ආකාරයක අත්දැකීමක් ලබාදෙමින් දේශීය ගුවන් සේවයක් විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සුවිශේෂී වැඩමුළුවක් පසුගියදා කටුනායක පිහිටි ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් හිදී පවත්වන ලදී. එහි මූලික අරමුණ බවට පත්වූවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමය. එය ගුවන් කර්මාන්තය සම්බන්ධ වාර්තාකරණයේ නව පරිච්ඡේදයක ආරම්භය විය. මෙරට ගුවන් සේවයක් විසින් එවැනි වැඩමුළුවක් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව ලෙසද එය ගුවන් සේවා ඉතිහාසයට එක්විය.

එම වැඩමුළුව මගින් ගුවන් යානා මෙහෙයුම් කටයුතු, ඉංජිනේරු කටයුතු, ගුවන් ගමන් තුළදී ලබාදෙන සේවාවන්, ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීමේ කටයුතු, ගුවන් සේවා කර්මාන්තයේ ආරක්ෂක විධිවිධාන සහ සිවිල් ගුවන් සේවා රෙගුලාසි ආදී මාතෘකා රැසක් ආවරණය වන පරිදි පවත්වන ලදී. එමගින් මෙරට පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි හා ඩිජිටල් මාධ්‍ය නියෝජනය කරමින් ඊට සහභාගි වූ ජනමාධ්‍යවේදීන් දැනුවත් කළ අතර ඒ සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් මාධ්‍ය කරණයෙහි යෙදී සිටින ජනමාධ්‍යවේදීහු 50ට අධික පිරිසක් සහභාගි වූහ.

සිය මෙහෙයුම් කටයුතු සිදුකරන හැටි ශ්‍රී ලංකන් රටට කියයි….

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ පොදුවේ ගත්කල මෙරට ගුවන් සේවා කර්මාන්තය නියෝජනය කරමින් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පිරිසක් මේ සඳහා දායකත්වය ලබාදුන්හ. එහි සමාරම්භක උත්සවයට සහභාගිවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි රිචර්ඩ් නටාල් මහතා කලාපයේ ගුවන් සේවා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා අනාගතය පිළිබඳව දීර්ඝ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළේය.

ශ්‍රී ලංකන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා විසින් පළමු දිනයේ පිලිගැනීමේ කතාව සහ හැඳින්වීම සිදු කළ අතර ඉන් අනතුරුව internation Air transport Association (IATA) හී සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු ආසියානු පැසිෆික් කලාපය) කපිතාන් හොසේ ෆනෑන්ඩිස් සහ ආයතනික සන්නිවේදන ප්‍රධානි ඇල්බර්ටි ටිජෝන්ග් යන මහත්වරුන් විසින් ගුවන් සේවා කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන පිළිබඳ අතථ්‍ය (Virtual) සැසියක් පවත්වන ලදී.

දිනයේ ඉතිරි වැඩසටහන් මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පත් දායක දායිකාවන් විසිනි. එහිදී තාක්ෂණික ගුවන් නියමු කපිතාන් ජයස්ක බරණගේ විසින් ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳව ද, උපදේශක ඉවැන්ජලීන් ලැපන් විසින් ගුවන් යානා අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු පිළිබඳවද ශ්‍රී ලංකන් ඉංජිනියරින් හී පුහුණු හා ශක්‍යතා සංවර්ධන කළමනාකරු අමිල ප්‍රනාන්දු විසින් ඉංජිනේරු කටයුතු පිළිබඳවද ගුවන්තොටුපළ සේවා කළමනාකරු (පුහුණු හා සංවර්ධන) තෙරේකා තිලකවර්ධන විසින් ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීම පිළිබඳව ද දැනුවත් කිරීම් සිදු කරන ලදී.

සිය මෙහෙයුම් කටයුතු සිදුකරන හැටි ශ්‍රී ලංකන් රටට කියයි….

වැඩමුළුවේ දෙවෙනි දිනය ආරම්භ වූවේ ගුවන් ගමන් සුරක්ෂිතතා කළමනාකරු කපිතාන් ශවන්ත පේද්‍රිස් සහ අර්බුද කළමනාකරණ කළමනාකාරිනි ප්‍රසාදිනී පෙරේරා විසින් සුරක්ෂිතතාව සහ අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන් පවත්වන ලද සැසියකිනි. ඉන් අනතුරුව කාර්යමණ්ඩල දායකත්වය සහ මානව සම්පත් සහය සේවා කළමනාකරු නිරෝෂන් රණවක, අලෙවි හා ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිණී ජයනි සේනානායක සහ ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් හී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාලිංග හිරණ්‍ය යන මහත්ම මහත්මීහු තමන්ට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධ විවිධ මාතෘකා යටතේ අදහස් දැක්වූහ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් ප්‍රවාහන සහ ආරක්ෂක රෙගුලාසි) රේහාන් වන්නිඅප්පා සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අලෙවි හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා යන මහත්වරුන් විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව වැඩමුළුවේ දේශන අවසන් විය.

මෙම වැඩමුළුවේ දී ගුවන් සමාගම් සහ ගුවන් සේවා කර්මාන්තයේ මූලිකාංග පිළිබඳව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් විසින් ජනමාධ්‍යවේදීන් හමුවේ වටිනා කරුණු කාරණා රාශියක් හෙළි කරන ලදී. ඒ සියලු කරුණු හේතුවෙන් වැඩමුළුව බෙහෙවින් සාර්ථක මුහුණුවරක් ගත් අතර ඊට සහභාගි වූ ජනමාධ්‍යවේදීන් එහිදී සඳහන් කර සිටියේ දෙදිනක් පුරා පැවැති එම වැඩමුළුව මගින් අදාළ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගත් බවකි.

වැඩමුළුව අවසානයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් 747 ගුවන් යානා අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ද ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වූ අතර වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් ඊට සහභාගි වූ සියලුම ජනමාධ්‍යවේදීන් වෙත සහතික පත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment