සරම්ප රෝගය ගැන ඔබ දැනුවත්ද?

965

පවතින කාලගුණ තත්ත්වයත් සමග වෛරස රෝග පැතිර යෑමේ අවදානමක් පවතී. එම වෛරස රෝග අතර පාලනයකට ලක්ව තිබූ සරම්ප රෝගය ද නැවත වරක් දරුවන් අතර වැඩි වශයෙන් මතු වන්නට පටන් ගෙන ඇත. එබැවින් වයස අවුරුද්දට අඩු දරුවන් සිටින දෙමාපියන් තම දරුවන්ට නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට අවධානය යොමු කළ යුතුය.

සරම්ප

සරම්ප යනු (Measles) පැරමික්සො (Paramyxo) වෛරස කාණ්ඩයට අයත් ශ්වසන රෝගයකි. සරම්ප රෝගය වැළඳුනු අයකු කහින විට පිට වන සෙම බිඳිති ශ්වසන පද්ධතිය හරහා ශරීරගත වීමෙන් තවත් අයෙකුට බෝවිය හැකිය. වෛරසය ශරීරගත වී සති දෙකකින් පමණ පසු රෝග ලක්ෂණ මතු වේ. රෝග ලක්ෂණ මතුවීමට දින කිහිපයක සිටම ආසාදිතයාගෙන් වෙනත් අයකුට රෝගය බෝවිය හැකිය.

රෝග ලක්ෂණ

මුලින්ම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව පෙන්නුම් කරයි. ඉන්පසු උණ, නාසයේ බර ගතිය, සොටු දියර ගැලීම සිදු වේ. ඒ සමගම ඇස් දෙක තද පැහැයට රතු වීමට පටන් ගනී.

රෝග ලක්ෂණ මතු වී දින 04 කට පසු සමේ රතු ලප මතු වේ. මෙම රතු ලප සිරුර පුරාම දැකිය හැකිය. එය හැඩයකට අනුව පැතිරීමට පටන් ගනී. එනම් පළමුව මුහුණේත්, ඉන්පසු පපුව ප්‍රදේශයේත් පිට දෙපැත්ත, දෙඅත්, දෙපා ලෙස සිරුරේ පහළට පැතිර යයි.

තද උණ සමග කුෂ්ඨයක් ආකාරයට ද රෝග ලක්ෂණ පැතිර යා හැකිය. රෝගී තත්ත්වයේදී තෙහෙට්ටුව, මලානික බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම, ෆැරන්හයිට් අංශක 104 ට පමණ තද උණ මතු වේ.

මෙම රෝග ලක්ෂණ සතියකින් පමණ පසු පහව යයි.

සරම්ප රෝගයේ අවදානම

සරම්ප රෝග කාරක වෛරසය නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී පසුකාලීනව නිව්මෝනියාව, මොළයට බලපෑම් එල්ල වීම ආදිය සිදු විය හැකිය.

සරම්ප රෝගය වළක්වා ගැනීම

දරුවකු ඉපදී මාස 09 න් හා අවුරුදු 03 දී සරම්ප රෝගය බෝවීම වළක්වන එන්නත ලබා දේ.

එය MMR නමින් හඳුන්වයි. මෙම එන්නත මගින් සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝග ත්‍රිත්වය පාලනය සඳහා සිරුරට ප්‍රතිශක්තිය ඇති කරයි.

මෙහි පළමු මාත්‍රාව මාස 09 දී ලබාදී දෙවැනි මාත්‍රාව අවුරුදු 03 දී ලබා දෙයි.

සරම්ප රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාගත යුත්තේ රෝගය වැළඳුනහොත් විශේෂිත ප්‍රතිකාර නොමැති බැවිනි. එහිදී කළ හැක්කේ රෝගී දරුවාගේ නිසි පෝෂණය පවත්වාගෙන යෑම සහ විජලනය තත්ත්වයෙන් වළක්වාගෙන උණ තත්ත්වය වහාම පාලනය කිරීමය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා ශ්වසන රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා
සංස්කරණය – උපාලි ද සේරම්

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment