ඝාතනවලට හේතු පරණ කෝන්තරලු

කෙසෙල්වත්ත පාතාලය යළි වැඩ අල්ලයි

යුක්තිය මෙහෙයුමට පින්සිදු වන්නට පාතාලය තරමක් නිහඬවී ඇත. එහෙත් අළුයට ඇති ගිනි පුපුරු මෙන් විටින් විට පාතාලය ද ගිනියම් වේ. එය මනාව පසක් වූයේ පසුගිය 11 සහ 16 දින දෙක තුළ සිදුවූ ඝාතන දෙකත් සමගිනි. පහතින් පෙළගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

පාතාල නායක කෙසෙල්වත්තේ දිනුක මියගිය පසු එම ස්ථානයට පැමිණියේ කෙසෙල්වත්තේ ධනුකය. ධනුක මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් තම ගෝලබාලයන් යොදවා සිදුකරගෙන ගියේ ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ සිටයි. දිනුකගේ ප්‍රධාන ගෝලයකු වූයේ ලොකු කවීය. දිනුක මියගිය පසු ඔහු ධනුක සමග එක්විය. ලොකු කවී දැන් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.

ඉන්දියාවේ සිටින ධනුකගෙන් ඩුබායි සිටින ලොකු කවීගේ ආශිර්වාදයෙන් කෙසෙල්වත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරගෙන ගියේ පොඩි කවීය. පොඩි කවී යනු ලොකු කවීගේ එක් කුස උපන් සහෝදරයාය. එලෙස පොඩි කවී සෙලෙවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 28 අතර තරුණයන් පිරිසක් එකතු කරගෙන විවිධ අපරාධවල නිරතවෙමින් සිටියේය. මෙම සියලුම දෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය වෙති.

ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම, භාණ්ඩ ලබාගැනීම, මිනිසුන් කපා කොටා දැමීම සහ මත්ද්‍රව්‍ය ආදිය විකිණීම නිසා එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට පමණක් නොව ජනතාවට ද මෙම කල්ලිය හිසරදයක් වී තිබුණි. මෙම කල්ලියට විරුද්ධව පොලිසිවල පැමිණිලි දැමුවත් පලක් වූයේ නැත. ඔවුන් සිදුකරන අපරාධවල අඩුවක් දක්නට නොලැබුණි.

මොහොමඩ් ඉර්ෆාන් කෙසෙල්වත්තේ මුල් පදිංචිකරුවෙකි. එකල ඔහු කෙරුමෙකි. සිදුකළ අපරාධ නිසා අවස්ථා කිහිපයකදීම ඔහු නීතියේ රැහැනට ද කොටු විය. එහෙත් ඔහු සිදුකළ අපරාධ නැවැත්වූයේ නැත. අවසානයේ ඔහුට මෙරට ජීවත් වීමට ද නොහැකි විය. ඒ පොලිසිය ඔහු පසුපස පැන්නූ නිසාය. එම නිසා පොලිසියෙන් බේරීම සඳහා ඔහු සමහර පාතාලයන් මෙන්ම ඩුබායි රාජ්‍යයට පැන ගත්තේය.

ඉර්ෆාන් සිටියේ පොඩි කවීගේ කල්ලිය සමග බද්ධ වෛරයකිනි. ඔහු අවස්ථා කිහිපයකදීම පොඩි කවීට කෙසෙල්වත්තේ දමන සංදර්ශන නවත්වන ලෙස පවසා තිබුණි. එහෙත් පොඩි කවී එය සත පහකටවත් ගණන් ගත්තේ නැත. ඒ ධනුක සහ තම සහෝදරයා වන ලොකු කවී නිරන්තරයෙන්ම ඔහු සමග සම්බන්ධවී සිටි නිසාය.

දනිෂ් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින තවත් එක් අපරාධකරුවෙකි. ඔහු ඉර්ෆාන්ගේ හොඳම මිතුරෙකි. දිනක් ඉර්ෆාන් ඔහුට මෙලෙස පැවසුවේය.

“මචං මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.”

“ඒ මොකක්ද බං.”

“උඹ දන්නවනේ පොඩි කවියා”

“ඔව් කෙසෙල්වත්තේ උඹගේ නඩේ නේද ඉන්නේ.”

“ඔව්”

“ඉතිං”

“දැන් ළඟකදී ඉඳලා ඌ කෙසෙල්වත්තේ රඟපානවා වැඩියි. මම කීප පාරක් කිව්වා සද්දේ වහගෙන පාඩුවේ ඉදපන් කියලා. ඒත් අහන්නේ නැහැ. කරන්නේ තරිසන් වැඩ.”

“එහෙමද?”

“ඔව් බං”

“ඉතිං මොකක්ද වෙන්න ඕනේ.”

“මට මූව ඉවරයක් කරන්න ඕන. දන්න හොඳ වැඩ්ඩෙක් හොයලා දීපන්. මොකද මිස් කරගන්න බැහැ. දන්නවනේ ධනුක සහ ලොකු කවියා තමයි මූගේ පිටිපස්සේ ඉන්නේ.”

“හරි මම හොයලා දෙන්නම් හොඳ බුලට් එකක්. ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක්.”

ඒ අනුව ඉර්ෆාන් දනිෂ්ගේ

මාර්ගයෙන් චානුක අමිත් ඉරංග නමැති පුද්ගලයාව හඳුනාගත්තේය. චානුක හිටපු යුද හමුදා සෙබළෙකි. ඉර්ෆාන් දුරකථන ඇමතුම් මාර්ගයෙන් චානුකට පොඩි කවී පිළිබඳ සියලු විස්තර ලබා දුන්නේය. ලබාගත් විස්තරවලට අනුව චානුක පොඩි කවී ඝාතනය කිරීමට සැලසුම් කළේය.

දිනය පසුගිය වසරේ ජූලි මස 30 වැනිදාය. වේලාව සවස 3.00 පසුවී තිබුණි. ගණේමුල්ල සංජීවගේ යතුරුපැදිකරුවෙක් ආමර්වීදියට පැමිණ සිටියේ ගිනි අවියක් ද සමගින්ය. පෙර කතාකර ගත් පරිදි චානුක ද නියමිත වේලාවට එම ස්ථානයට පැමිණියේය. ඉන් පසු දෙදෙනා යතුරුපැදියෙන් කෙසෙල්වත්ත බලා පැමිණියහ.

මේ කිසිත් නොදත් පොඩි කවී කෙසෙල්වත්ත මාර්ටින් ලේන් හි සැරිසරමින් සිටියේය. එක්වරම ඔහු ඉදිරියේ යතුරුපැදියක් නැවතුණි. ඔහුට මතක එපමණකි. ක්‍ෂණයකින් ගිනි අවිය එළියට ගත් චානුක පොඩි කවී ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කළේය. ඒ වෙඩි ප්‍රහාර හමුවේ පොඩි කවීට කිසිවක් කරගත නොහැකි විය. ඔහු රෝහල්ගත කරන විටත් අවසන් හුස්ම පොද ද වාතලයට මුසුකර තිබිණි.

පොඩි කවී ඝාතනයෙන් පසු ලොකු කවී සහ කෙසෙල්වත්තේ ධනුක සිටියේ ඉර්ෆාන් ගැන බද්ධ වෛරයකිනි. ‘මම ඕකට ඉන්න දෙන්නේ නැහැ. මගේ මල්ලි මරපු පලිය අනිවාර්යෙන්ම ගන්නවා.” ලොකු කවී නිතරම එලෙස පැවසුවේය.

පසුගිය වසරේ සැප්තැම්බර් 1 වැනිදා ලොකු කවීගේ අනුදැනුම මත මාලිගාවත්ත වාහන සේවා ස්ථානයක පුද්ගලයකුට වෙඩි තැබුවේය. බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයාගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. එලෙස වෙඩි කෑ පුද්ගලයා පොඩි කවී ඝාතනයට අනුබල දුන් ඉර්ෆාන්ගේ ළඟම හිතවතෙකි. පසුව එම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගැනුණි.

ඉලක්කය වැරදුණු නිසා ලොකු කවී ඉර්ෆාන් සමග තව තවත් උරණ විය.

“මගේ මල්ලිට වෙඩි තියන්න උදව් කරපු හැමෝටම මම ජීවත් වෙන්න දෙන්නේ නැහැ. පවුල් පිටින් මරලා දානවා” ඒ ලොකු කවී නිතරම පවසන දෙයකි.

ඉමානුල් ෆාරුක් කෙසෙල්වත්ත මාටින්ස් ලේන් හි පදිංචි පුද්ගලයෙකි. ඔහු ඉර්ෆාන්ගේ ළඟම හිතවතෙකි. පොඩි කවී ඝාතනය කරන අවස්ථාවේදී මග බැලූ පුද්ගලයා මොහුය. එම නිසා ලොකු කවීගේ ඊළඟ ඉලක්කය වී තිබුණේ ඉමානුල් ෆාරුක්ය.

ලොකු කවී ඉමානුල් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණේ අවුරුදු 20ත් 26ත් අතර වයසේ පසුවූ සිව්දෙනකුටයි.

දිනය පසුගිය 11 වැනිදාය. ත්‍රිරෝද රථයක නැගගත් මෙම තරුණයන් සිව්දෙනා තියුණු ආයුධ සමගින් කෙසෙල්වත්ත මාටින්ස් ලේන් වෙත පැමිණියහ. එලෙස පැමිණි ඔවූහු ඉමානුල් ෆාරුක්ගේ නිවස අසල නතර වූහ. ඉන්පසු ත්‍රිරෝද රථයෙන් බැසගත් එම පිරිස ඉමානුල්ගේ නිවසට ඇතුළු වූහ.

කඩු මන්නා රැගෙන තම නිවස තුළට පැමිණි පිරිස දුටු ඉමානුල් එක්වරම තුෂ්ණිම්භූත විය. ඒ සමගම ඔහු “ඇයි මේ මොකද?” කියා විමසුවේය.

“මොකද කියලා බලාගනින්” එම පිරිසේ සිටි එකෙකු පැවසුවේය. ඒ සමගම එහි සිටි පිරිස ඉමානුල්ව කපා කොටා දැමුවේ ඉතාමත් තිරිසන් ලෙසයි. ඔහු ජීවිතය යැදුවත් එම නරුමයන් එය කනකටවත් ගත්තේ නැත. විනාඩි දහයක් පමණ එක දිගටම ඔහුට තියුණු ආයුධවලින් කපා කොටා දැමුවේය. එපමණක් නොව ඔහු ඇඳ සිටි කලිසම ද ගලවා රහස් ප්‍රදේශයට මන්නා පහරවල් එල්ල කළේය. එම දරුණු ප්‍රහාරය හමුවේ ඔහුට ජීවිතය ගලවා ගැනීමට නොහැකි විය. පසුව ඝාතකයන් කිසිදු කරදරයකින් තොරව එම ස්ථානයෙන් පැන ගත්හ.

සිද්ධිය සැලවූ වහාම කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජිත් ප්‍රියන්තගේ මෙහෙයවීම මත මෙම ඝාතනය පිළිබඳ මූලික විමර්ශන සිදු කෙරිණි. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ද අපරාධ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්‍ෂාව සිදු කළේය. වැඩිදුර සිදුකළ පොලිස් පරීක්‍ෂණ හමුවේ ඝාතකයන් පැමිණි ත්‍රිරෝද රථය සහ ලේ තැවරුණු කඩුවක් කෙසෙල්වත්ත සොන්ඩර්ස් පෙදෙසේ නිවසක තිබියදී සොයා ගැනුණි. ඝාතනය සිදුකළ සැකකරුවන් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශවල පදිංචි තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට ද පොලිස් නිලධාරීහු කරුණු අනාවරණය කර ගත්හ.

මෙම ඝාතන සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කරනු ලැබීය. එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඇනසලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද ජයතිලක ඇතුළු නිලධාරීහු විමර්ශන කටයුතු ආරම්භ කළහ.

ඒ අනුව පසුගිය දිනක දෙමටගොඩ ගුවන්පාලම අසල සිටි තරුණයන් පිරිසක් පරීක්‍ෂාවට ලක් කළහ. එලෙස පරීක්‍ෂා කිරීමේදී තරුණයන් කිහිපදෙනකු දිව යෑමට උත්සාහ කළේය. එහෙත් පොලිස් නිලධාරීහු ඔවුන් පසුපස හඹාගොස් සියලුදෙනාවම අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට පත් ඔවුන්ගේ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් අඩංගු පාර්සලයක්ද සොයාගැනීමට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදී අනාවරණය වූයේ කෙසෙල්වත්තේ ඉමානුල් ෆර්හාන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ඔවුන් බවයි. පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළිවූයේ පොඩි කවී ඝාතනයට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදුකළ බවයි.

කෙසෙල්වත්තේ ඉමානුල් ෆර්හාන් එලෙස ඝාතනය කර සතියක් ගතවීමටත් මත්තෙන් තවත් ඝාතනයක් සිදුවිය. ඒ ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල ප්‍රදේශයේදීය. එම ඝාතනය සිදුකර තිබුණේ මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන කංචිපානි ඉම්රාන්ගේ අනු දැනුම මතයි.

කංචිපානි ඉම්රාන් යනු මෙරට පාතාලයේ සිටින ප්‍රබලයෙකි. මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ කංචිපානි මෙරටට රැගෙන ආපසු වසර ගණනක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියේය. එලෙස රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියදී තම මත්ද්‍රව්‍ය ජාවාරම, මෙහෙයවූවා පමණක් නොව පොලිස් නිලධාරියකුට ද මරණ තර්ජන එල්ල කළේය.

කංචිපානි ඉම්රාන් එලෙස බන්ධනාගාරගතව සිටියදී ඔහුගේ පියා වන මොහොමඩ් නජීම්ට මාලිගාවත්ත ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දුන්නේය. එදින ඔහු බරපතළ තුවාල ලැබුවත් ජීවිතය බේරුණේ පෙර පිනකටය.

පසුගිය වසරේ කංජිපානි ඉම්රාන්ට ඇප ලැබුණි. ඇප ලැබුණු දිනම ඔහු ඉතා සූක්‍ෂම ලෙස මෙරටින් පැන ගත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව මෙරට නීතිය ද සරදමට ලක් කරමින්ය. ඉන් පසු කංචිපානි පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.

එලෙස විදෙස් රටකට පැනගත් කංචිපානි තම පියාට පහරදීමේ සිද්ධියට පළිගැනීමක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකර අති බවට තොරතුරු අනාවරණය විය.

මියගිය පුද්ගලයා සේනමුල්ල ප්‍රදේශයේ පදිංචි බඩා රංජි නමැති අයෙකි. ඔහු පූකුඩුකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානියා මෙන්ම මුදල් පරිපාලකයා වශයෙන් කටයුතු කළ අයෙක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

යුක්තිය මෙහෙයුම ඇතුළේ කංචිපානි ඉම්රාන් ලොකු කවීලා ඇතුළු පාතාලයන් තම විරුද්ධවාදීන්ගෙන් පළිගන්නේ එලෙසින්ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment