2023 ඔක්තෝබර් මාසයේදී ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ (Indian Ocean Rim Association) සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම කලාපීය සංවිධානය IORA යන කෙටි නමින් හැඳින්වේ. සාමාන්‍ය සමාජය තුළ තවමත් එතරම් අවධානයට ලක් නොවුව ද මෙම අවස්ථාව අප රටේ භූ දේශපාලනික ගමන් මගේ වැදගත් සංධිස්ථානයකි. ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිතැතින්ම අපට වැදගත් කලාපීය භූමිකාවක් අත්පත් කර දී ඇත. IORA නායකත්වය තුළින් එකී භූමිකාව තව තවත් වර්ණ ගන්වා ඇත. සභාපතිත්වය ඉදිරි වර්ෂ දෙකක කාලය සඳහා බලපැවැත්වෙන අතර මෙකී කාලය තුළ ශ්‍රී ලංකාව සිය ප්‍රමුඛ තේමාව ලෙස තෝරා ගෙන ඇත්තේ කලාපීය සැකැස්ම ශක්තිමත් කිරීම හා ඉන්දියානු සාගරයේ අනන්‍යතාවය නැවත තහවුරු කිරීමයි. මෙකී තේමාව තුළින් IORA සහ එහි හවුල්කාර රටවල් උදෙසා ශ්‍රී ලංකාවේ දැක්ම සහ මෙහෙවර ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ සාමාජික රටවල තිරසාර ආර්ථික වර්ධනය, පාරිසරික ස්ථාවරත්වය, සමුද්‍ර සම්පත් කළමනාකරණය, සමුද්‍රීය ආරක්ෂාව, නීල ආර්ථික අවස්ථා, ආපදා කළමනාකරණය, දේශගුණික විපර්යාස, කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණතා සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.

ලෝකය ඉන්දියානු සාගර යුගයකට

ඉන්දියානු සාගර කලාපයේ නායකත්වය ශ්‍රී ලංකාවට

වර්තමාන ගෝලීය බල දේශපාලනයේදී වඩාත් අවධානයට ලක් වී ඇත්තේ ගොඩබිමට වඩා සාගර කලාපයන් ය. ඉන්දියානු සාගරය යනු ලොව තුන්වන විශාලතම සාගරයයි. ඉන්දු නිම්න හා මෙසපොටේමියා ආදී සුප්‍රසිද්ධ සමුද්‍රීය ශිෂ්ටාචාරවල මූලාරම්භය ඉන්දියානු සාගර කලාපයයි. ලෝකයේ දැනට පවතින ආගම් වැඩි ප්‍රමාණයක් බිහි වී ඇත්තේ ද ඉන්දියානු සාගර ශිෂ්ටාචාරයන් ඔස්සේය. හින්දු, බෞද්ධ, සීක්, ජෛන ආදී ආගම්වල උපත ඉන්දියාව ආශ්‍රිතව සිදු වූ අතර ඉස්ලාම් ආගම ඉන්දියානු සාගරයට මායිම්ව ඇති අරාබි අර්ධද්වීපයෙන් ආරම්භ වී ඇත. ආගමික හා සංස්කෘතික වශයෙන් පමණක් නොව බොහෝ ක්ෂේත්‍රවල චින්තන ආධිපත්‍යයක් සහිත ඉන්දියානු සාගර කලාපය මානව ඉතිහාසයේ සෑම අදියරකදීම ක්‍රියාකාරීව පැවති බවට ඓතිහාසික සාක්ෂි ඇත.

විසි වැනි සියවසේ ජීවත් වූ ඇමෙරිකානු ඉතිහාසඥයකු වූ ඇල්ෆ්‍රඩ් මහන්ට අනුව ඉන්දියානු සාගරය පාලනය කරන කවුරුන් වුව ද ඔහු ආසියාවේ ආධිපත්‍යය දරනු ඇත. “ලෝකයේ ඉරණම එහි ජලය මත තීරණය වේ” යන්න ඔහුගේ අදහසකි. ඉන්දියානු සාගරයේ පිහිටීම අනුව එය කලාපීය සහ ගෝලීය බලය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. වර්තමාන ගෝලීය සහ උපායමාර්ගික සැකසුම් තුළ මෙම සාගරය පවතින සහ නැඟී එන සුපිරි බලවතුන්ගේ මර්මස්ථානය බවට පත් වී ඇත.

විසිඑක් වැනි සියවසේ ආරම්භය ඒක ධ්‍රැව හෙවත් තනි සුපිරි බලවතකුගේ යුගයකි. සෝවියට්-ඇමෙරිකා නිරවි යුද්ධයේ නිමාවත් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ගොඩනැඟුණු ගෝලීය ඒක ධ්‍රැව බලය දැන් නිමාවට පත් වෙමින් ඇත. ඒ වෙනුවට ඒ ඒ කලාප තුළ ගොඩනැගෙන සුපිරි බලවතුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත යුගයකට ලෝකය ගමන් කරමින් ඇත. කෙසේ නමුත් ඕනෑම කලාපීය බලවතෙකුට ලෝකයේ සෑම ප්‍රදේශයකම කිරීමට බොහෝ දේ ඇත. සාගරය ද එකී උපාය මාර්ගයන්ගෙන් බැහැර නොවේ. ඉන්දියානු සාගරය මෙහිදී සුවිශේෂී වැදගත්කමක් දරයි. ඇමෙරිකාවේ අනාගත භූ දේශපාලනික උපාය මාර්ග සකස් කිරීමට දායකත්වය සැපයූ විද්වතෙකු වූ රොබට් කැප්ලාන්ට අනුව ද ඉන්දියානු සාගරය විසි එක් වැනි සියවස සඳහා ‘මධ්‍ය වේදිකාව’ බවට පත් වනු ඇත.

මෙහිදී සාගරයේ සිදු කරන ලද වෙළෙඳාමේ පරිමාව ද සැලකිය යුතු ය. වියමනක් මෙන් වෙළෙඳ මාර්ගවලින් එකිනෙකට බද්ධ වී ඇති ඉන්දියානු සාගරය ජාත්‍යන්තර වෙළෙඳාමට හා ප්‍රවාහනයට අතිශය වැදගත් සාගර කලාපයකි. ගෝලීය වෙළෙඳාමෙන් 30% ක් පමණ ඉන්දියානු සාගරය තුළ සිදු කෙරේ. ලෝකයේ බහාලුම් නැව්වලින් අඩක් රැගෙන යන ප්‍රධාන මුහුදු මාර්ගය වැටී ඇත්තේ ඉන්දියානු සාගරය හරහාය. එසේම තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවන්ගෙන් තුනෙන් එකක් සහ තෙල් නෞකාවන්ගෙන් තුනෙන් දෙකක ගමන් මාර්ග ද මෙම සාගර කලාපය ඔස්සේ වැටී ඇත. මෙම පරිමාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී.

IORA සාමාජිකත්වය

ඉන්දියානු සාගරය යනු විවිධ ජාතීන්ගෙන් වට වූ විශාල සාගරයකි. එය බටහිර දෙසින් අප්‍රිකාවේ කේප් අගුල්හාස් දක්වාත්, සූවස් ඇළේ සිට මැලේ අර්ධද්වීපය දක්වාත්, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව සහ තස්මේනියාව දක්වා නැඟෙනහිර දෙසටත්, දකුණට ඇන්ටාක්ටිකාව දක්වාත් විහිදෙයි. ඉන්දියානු සාගර රාජ්‍ය යන යෙදුම සාගරය තුළ පිහිටි ගොඩබිම් රාජ්‍යයන්ට මෙන්ම ඊට මායිම් වූ වෙරළ තීරයන් සහිත රාජ්‍යයන්ට ද භාවිතා වේ. ඉන්දියානු සාගර උපාය මාර්ග තුළ රටවල් ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ලක් වෙයි. මේ අතරින් රටවල් 23 ක් ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ (IORA) සාමාජිකත්වය උසුලයි. ඊට ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරෝස්, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මුරුසිය, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා යේමනය යන රටවල් අයත් වෙයි. මීට අමතරව චීනය, ඊජිප්තුව, ජර්මනිය, ඉතාලිය, ජපානය, සෞදි අරාබිය, දකුණු කොරියාව, රුසියාව තුර්කිය, එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන් සහ යුරෝපා සංගමය මෙහි සංවාද හවුල්කරුවන් (Dialogue Partners) ලෙස කටයුතු කරයි. IORA හි පදනම ගොඩනැඟී ඇත්තේ විශේෂයෙන් වෙළෙඳ පහසුකම්, ආයෝජන, ප්‍රවර්ධනය, සමාජ සංවර්ධනය පිළිබඳව වූ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මූලධර්ම මතය. IORA හි සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මුරුසියේ පිහිටා ඇත.

මෙම කලාපය බිලියන 2.7 කට ආසන්න ජනතාවකට නිවහනක් වන අතර එම ප්‍රමාණය සමස්ත ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්නය. සංස්කෘතික හා භාෂා විවිධත්වයෙන් පොහොසත් ඉන්දියානු සාගර කලාපය ආගමික, සම්ප්‍රදායික, කලා සහ ආහාර රටා ආදී සෑම ක්ෂේත්‍රයකින්ම පොහොසත් ආකර්ෂණයක් උසුලා ගෙන ඇත. කලාපයේ රටවල් ජනගහනය සහ ආර්ථික සංවර්ධන මට්ටම් අනුව සැලකිය යුතු ලෙස එකිනෙකට වෙනස් වේ. එය ඔස්ට්‍රේලියාව, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, බටහිර ආසියාව සහ නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව ආදී වශයෙන් උප කලාප ගණනාවකට බෙදිය හැකිය. මෙහි සාමාජිකයන් වූ සෑම රටක්ම ASEAN, SAARC, ගල්ෆ් සහයෝගිතා කවුන්සලය (GCC) සහ දකුණු අප්‍රිකානු සංවර්ධන එකමුතුව (SADC) වැනි කලාපීය සංවිධාන තුළ වෙන් වෙන්ව කටයුතු කරයි. එවැනි විවිධත්වයන් තිබියදීත් මෙම රටවල් ඉන්දියානු සාගරය ඔස්සේ එකට බැඳී ඇත.

IORA ආරම්භය

ඉන්දියානු සාගරය ඉන්දියාවේ නමින් ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම ඉන්දියානු පාලනයේ පවතින්නක් නොවේ. නමුත් දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රධානම භූමිකාව ඉන්දියාව සතුය. ඉන්දියාවට ලෝක බලවතකු ලෙස නැඟී සිටීමට විශාල ආශාවක් තිබේ. ඇය ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික අවකාශය වැඩි කර ගැනීමට අපේක්ෂා කරන්නේ එබැවිනි. ඉන්දියානු සාගරයට සමාන්තරව පැසිෆික ් සාගරය ද උපායමාර්ගික වැදගත්කමක් සහ ලෝක වෙළෙඳාමේ දැවැන්ත කොටස්කාරීත්වයක් උසුලන කලාපයකි. පැසිෆික් සාගරය තුළ මෙන්ම ඉන්දියානු සාගරය තුළත් චීනය, යුරෝපා බලවතුන් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය තම ක්‍රියාකාරකම් උත්සන්න කර ඇත. මේ සියවස මැද භාගය වන විට අප්‍රිකානු මහාද්වීපය ද තවත් එක් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත. චීනය මෙන්ම ඉන්දියාව ද අප්‍රිකානු මහාද්වීපය සමග සම්බන්ධ වීමේදී ඉන්දියානු සාගරය භාවිතයට ගත යුතුය. කෙසේ නමුත් ඉන්දියාවට පහළින් ඇති මුහුදු කලාපය තුළ වඩාත් ප්‍රබල රාජ්‍යයක් හමු නොවන බැවින් ඇය ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛත්වය ලබා ගැනීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බව සැඟවිය නොහැක. ඉන්දියාව මුල සිටම සාක් සංවිධානය පිළිබඳව එතරම් කැමැත්තකින් පසු වූ බව දක්නට නැත. තම අසල්වැසි පසමිතුරා වූ පාකිස්තානය නොමැති කලාපීය සංධානයක් කෙරෙහි ඉන්දියාව උනන්දු වූ බව පැහැදිලිය. IORA සඳහා වස්තු බීජය පැළවූයේ ඉන්දියාව තුළ බව රහසක් නැත. ඉන්දියානු සාගරයේ බලයට කැස කවන එම සාගරයට මායිම් නොවන චීනයට ද මෙම දැවැන්ත සංධානයට ඇතුළු වීමට අවකාශයක් නොතිබීම ඉන්දියාවේ තවත් එක් උපක්‍රමයකි. කෙසේ නමුත් අද වන විට චීනය මෙහි සංවාද හවුල්කරුවකු ලෙස එක්ව සිටීමෙන් පෙනී යන්නේ ඉන්දියානු සාගරය කෙරෙහි ඔවුන්ට ද ඇති අත්හළ නොහැකි බැඳීමයි.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංවිධානයක් පිළිබඳව මුලින්ම අදහස් පළ වී ඇත්තේ 1993 දී හිටපු දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍ය පික් බෝතාගේ ඉන්දීය සංචාරයේදී බව අසන්නට ලැබේ. නමුත් මේ පිළිබඳව උපාය මාර්ගික අදහස ඉන්දියානු පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ බවට වූ සාධක බොහොමයකි. පසුව 1995 දී එවකට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ඉන්දීය සංචාරයේදී මෙම අදහස වඩාත් ශක්තිමත් විය. ඔහුගේ දැක්මට “සමාජ-ආර්ථික සහයෝගීතාව සඳහා ඉන්දියානු සාගරීය නිම් වළලලක්” යන සංකල්පය ඇතුළත් විය. 1995 දී සංවිධානය ආරම්භ කිරීමට මුල පිරුවේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාවයි. පසුව ඊට මුරුසිය හා ඔස්ට්‍රේලියාව ද එක් විය. 1997 දී ඊට ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව, යේමනය, ටැන්සානියාව, මැඩගස්කරය සහ මොසැම්බික් යන රාජ්‍යයන් ද එක් වූ අතර ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංවිධානය (Indian Ocean Rim Association) අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස 1997 මාර්තු 7 වන දින ආරම්භ කරන ලදී. IORA හි උත්තරීතර ආයතනය වන්නේ වාර්ෂිකව රැස්වන විදේශ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයයි.

ශ්‍රී ලාංකික නායකත්වය සහ අරමුණු

මීට පෙරද 2003 දී ශ්‍රී ලංකාව IORA හි සභාපතිත්වය උසුලා ඇත. නමුත් ඒ යුගයට සාපේක්ෂව දශක දෙකකට පසු ඉන්දියානු සාගර කලාපය කෙරෙහි ඇති ගෝලීය අවධානය කිහිප ගුණයකින් වැඩි වී ඇත. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මැද පිහිටා ඇත. පැරණි ඉතිහාසය තුළද එය ලෝකයේ විවිධ කලාපයන් සම්බන්ධ කරන ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පැවති බවට සාක්ෂි ඇත. නොබැඳි රටක් වූ ශ්‍රී ලංකාව මෑත ඉතිහාසය තුළද මධ්‍යස්ථව හා අන්‍යොන්‍ය ගෞරවය පිළිගන්නා ජාතියක් ලෙස සිය ස්ථානය තහවුරු කර ගෙන ඇත. IORA හි නායකත්වය උසුලමින් එහි සාමාජික රටවල් සමග එක්ව කටයුතු කිරීමට ලැබීම මේ මොහොතේ අප රටට ලැබෙන මහඟු අවස්ථාවකි. ඉන්දියානු සාගර කලාපය තුළ අනෙකාගේ විශ්වාසය හා ගෞරවය ලබාගත හැකි වීම සමස්ත ලෝකය තුළම ශ්‍රී ලංකාවේ ස්ථාවරය තහවුරු කිරීමකි.

නව සාගර ආර්ථිකයක් උදෙසා ගමන් කරන අප රටට IORA රාමුව තුළ ස්ථානගත වීම බලවත් වාසියකි. භූමියට වඩා සය ගුණයකින් වැඩි සාගර කලාපයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවට සාගරය යනු අත්‍යවශ්‍යම සම්පත් ආකරයකි. තවද සාගරය කලාපීය දේශගුණය නියාමනය කරන සාධකයක් ලෙස ද ක්‍රියාකරයි. කලාපීය රටවල ආරක්ෂක, සංචාරක, ධීවර, කෘෂීකාර්මික, වෙළෙඳ ආදී ක්ෂේත්‍රයන්ට මෙන්ම සංස්කෘතික හා සෞන්දර්යාත්මක ක්ෂේත්‍රයන්ට ද ඉන්දියානු සාගරය විසින් ඇති කරන බලපෑම සුළුපටු නැත. කාලගුණය හා දේශගුණය කෙරෙහි ඉන්දියානු සාගරය විසින් ඇතිකරන අවදානම ද විශේෂයෙන් අවධානයට ලක්ව ඇත. මුහුදු මට්ටම ඉහළ යෑම, කුණාටු ඇතිවීම, සාගර ජීවිතයට බලපාන ශබ්ද දූෂණය, සුනාමි අනතුරු ආදී ආපදාවන්ගෙන් ඇතිවිය හැකි අවදානම් කළමනාකරණය කර ගැනීම උදෙසා සාගර විද්‍යාත්මක අධ්‍යයන කටයුතු වේගවත් කිරීමට සැලසුම් කර ඇත. එසේම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත කාලගුණ වෙනස්වීම් පිළබඳ අධ්‍යයනය සඳහා වූ සරසවිය මඟින් සමස්ත කලාපයට මෙන්ම විශේෂයෙන් අප රටට ලැබෙන ප්‍රතිලාභ අධිකය.

ගෝලීය වෙළෙඳාම, මුහුදු මාර්ග ආරක්ෂා කිරීම, බලශක්තිය හා ආහාර සුරක්ෂිතභාවය ද IORA ප්‍රමුඛතාවයන් අතර ඇත. සමුද්‍ර ආරක්ෂාව යනු අදාළ සාගර කලාපීය රටවල ජාතික ආරක්ෂාවට හා පාරිසරික ආරක්ෂාවට බද්ධ වී ඇති විෂයකි. රටක දියඹ ආරක්ෂා කිරීම විෂය වන්නේ ජාතික ආරක්ෂාවට පමණක් නොවේ. එහි කේන්ද්‍රීය අරමුණු වන්නේ මුහුදේ නිදහස, සාගර වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීම සහ සාගරය තුළ යහපාලනය පවත්වා ගැනීමයි. ඒ ඔස්සේ අන්තර් රාජ්‍ය සමුද්‍රීය ආරවුල්, සමුද්‍රීය ත්‍රස්තවාදය, මුහුදු කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් වෙළෙඳාම හා ජාවාරම්, පුරාවස්තු හා කෞතුක භාණඩ ජාවාරම්, නීති විරෝධී අවි ආයුධ ප්‍රවාහනය, නීති විරෝධී මසුන් ඇල්ලීම සහ පාරිසරික අපරාධ තුරන් කිරීමට අපේක්ෂිත ය. දිවයිනක් ලෙස මෙම කාරණා අප රටට විශේෂයෙන් බලපාන අතර ඉදිරි දෙවසර තුළ IORAහි නායකත්වය උසුලමින් එකී අවදානම් තුරන් කර ගැනීමට දැන අප රටට අවස්ථාවක් උදාවී ඇත.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment