එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2004 මහමැතිවරණයට තරග කළ ජනතා විමුක්ති පෙරමුණට (ජවිපෙ) ආසන 39 හිමිවිය. එය එම පක්ෂය පාර්ලිමේන්තු ක්‍රමය තුළ ලබා ගත් ඉහළම ජයග්‍රහණයයි. එම කණ්ඩායමට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 3 ක්ද විය. පක්ෂ දෙක අතර ගිවිසුම අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ක් ලැබිය යුතු වුවත් එයින් දෙකක් අත හැරියේය. එම ආණ්ඩුවෙන් වෙන්වීමත් සමග පක්ෂය දෙකඩ විය. විමල් වීරවංශ-නන්දන ගුණතිලක ප්‍රමුඛ කණ්ඩායමක් ආණ්ඩුව සමග කටයුතු කළේය. පක්ෂය දුර්වල විය. අද වනවිට විමල් වීරවංශ නායකත්වය දෙන පාර්ලිමේන්තු කණ්ඩායම 6 කි. ජවිපෙන් 2012 කැඩුණු පෙරටුගාමී පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැත. එම කණ්ඩායම කිසිදා පළාත් පාලන හෝ පළාත් සභා නියෝජනය කර නැත. එම පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු කීප දෙනකු දේශපාලනය තුළ අතරමං විය.

ජාතික තලයේ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායමට ප්‍රධාන අභියෝගය එල්ල වන්නේ ජාතික ජන බලවේගයෙන්ද (ජාජබ)?

නැතහොත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම මුහුණ දෙන ප්‍රබලම අභියෝගය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් ද (සජබ)?

ජනාධිපතිවරණය නියමිත කාලය තුළ පැවැත්වුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය), එක්සත් ජාතික පක්ෂ (එජාප), නායක වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමට අවස්ථාවක් තිබේද? එසේ නොවුවහොත් එම පක්ෂය දෙකඩ වී වර්තමාන කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ කණ්ඩායමක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වනු ඇත.

දැනට ජාතික තලයේ මැතිවරණ ව්‍යාපාරයක් දියත් කර ඇත්තේ ජවිපෙ නායකත්වය දෙන ජාජබ පමණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ව්‍යාපාරය ශක්තිමත්ව ක්‍රියාත්මකය. අනුර කුමාර දිසානායක නායකත්වය දෙන එම මැතිවරණ ව්‍යාපාරය ජාජබ ට පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ හිමි ආසන තුන සමග කිසිසේත් සංසන්දනය කළ නොහැක.

මෙම ලිපියේ අරමුණ ජවිපෙ නායකත්වය දෙන ජාජබ මැතිවරණ මෙහෙයුම පිළිබඳව විමසා බැලීමටයි. පළමුවෙන්ම අවධාරණය කළ යුතු වන්නේ 2020 අගෝස්තු මාසයේ පැවැත්වූ මහ මැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වූයේ ජාජබ ලාංඡනය වූ මාලිමාවෙන් බවයි. එම පක්ෂයට දිනා ගත හැකිවූයේ ආසන දෙකක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුර කුමාර දිසානායක සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ විජිත හේරත් පාර්ලිමේන්තුවට පත්වූ අතර පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු ආසනයට ආචාර්ය හරිනි අමරසූරිය පත්කෙරිණි.

එම මැතිවරණයේදී ආසන ජයග්‍රහණය කළ ආකාරය අනුව (ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 තෝරා පත් කර ගනු ලබන අතර ජාතික ලැයිස්තුවෙන් 29 පත්වේ.) ජාජබ ට හිමි වූයේ හතරවන ස්ථානයයි. පළමුවන ස්ථානය හිමි පොහොට්ටු පක්ෂයට ජාතික ලැයිස්තු ආසන 17 ක් සමග ආසන 145 හිමිවිය. ජාතික ලැයිස්තු ආසන 7 සමග ආසන 54 ලබා ගත් සජබ දෙවන ස්ථානය හිමිකර ගත්තේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය 1 ක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමග ආසන 10 සමග තුන්වන ස්ථානයට පත්විය. ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර එක බැගින් අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, එජාපයට, අපේ ජන බල පක්ෂයට සහ ජාජබ ට හිමිවිය.

අනුර කුමාර දිසානායක ජවිපෙ සහ ජාජබ පක්ෂ දෙකේම නායකත්වය දරයි. ජාජබ හිමිවූ එකම ජාතික ලැයිස්තු ආසනයට කාන්තාවක් පත් කිරීම එම පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රබල ශක්තියක් වී ඇත. එම තත්ත්වය ඇතිවූයේ 69 ලක්ෂයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි මාසයේදී පලවා හැරීමෙන් පසුව තවමත් ආණ්ඩු පක්ෂය වන පොහොට්ටු පක්ෂයට වර්තමාන පාර්ලිමේන්තුවේ එක් ආසනයකට සීමාවී සිටින එජාප නායක ජනාධිපති ලෙස පත් කර ගැනීමට සිදුවීම නිසාය. එජාප ට හිමිවූ එකම ආසනයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වීම එම පක්ෂය පත්වූ අසරණ තත්ත්වය අවධාරණය කරයි.

ජාජබ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරියක් සිටීම එම පක්ෂයට වාසිදායක වීම විමසා බැලිය යුතු වන්නේ ඡන්දය දෙන කාන්තා ප්‍රජාව දැනට ක්‍රියාත්මක මැතිවරණ ව්‍යාපාරයට කෙතරම් දුරකට ආකර්ෂණය වී ඇතිදැයි අවබෝධ කර ගැනීමෙනි.

ආචාර්ය අමරසූරිය ජනවාරි 7 දින ගාල්ලේ පැවති ජාජබ කාන්තා සමුළුවේදී අවධාරණය කළේ ගැහැනු බලය වර්තමානයේ තිබෙන්නේ මාලිමාවට බවයි. එම තත්ත්වය සම්බන්ධයෙන් සැකයක් නැති බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරිය ඩීල් දේශපාලන යුගය අවසන් කිරීමට ගැහැනු තීරණය කර ඇති බවට අවධාරණය කළේය.

“ගාල්ලට සම්බන්ධයක් තිබෙන මම පුංචි කාලයේ සිට අසා තිබූ කතාවක් තිබෙනවා. “වැඩ බැරිවුණත් ගම ගාල්ලේ” කියලා. අද ඉඳලා අපි ඒ කතාව “වැඩත් පුළුවන්, ගමත් ගාල්ල” කියලා වෙනස් කරන්න ඕනෑ. අපට වැඩ පුළුවන් කියලා සහෝදරියන් විසින් පෙන්වා තිබෙනවා. මාතර කාන්තා සමුළුවෙන් පසු අපි යන සෑම තැනකම කතා කරන්නේ ජාතික ජන බලවේගයේ ගැහැනුන් ගැන. ගැහැනු බලය අද තිබෙන්නේ මාලිමාවට බව මේ වන විට ඔප්පු කර අවසන්. 2024 මාලිමාවට ජයග්‍රාහී වසරක් බව ඔප්පු කර ඉවරයි.

අපි ජනතාවගේ බලය ගොඩනඟන අතර බය වුණු පිරිසක් ඉන්නවා. මේ රට මෙපමණ කල් විනාශ කළ අය මෙවැනි ගැහැනු බලයක් ඉදිරියේ බය වෙන්නම ඕනෑ. අපි මේ එකතු වී ඉන්නේ හුදෙක් ඡන්දයක් දිනන්න විතරක් නොවෙයි. දේශපාලනිකව ශක්තිමත් වුණු, නායකත්වය වර්ධනය කර ගනිමින් සංවිධායක හැකියාවන් ලබමින් නිර්භීතව ඉදිරියට එන බව පැහැදිලියි.

රට තුළ තීරණාත්මක පරිවර්තනයක් කරන්නයි අපි එකතු වෙන්නේ. පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැනු අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා දූෂිත දේශපාලන සංස්කෘතියේ නියැළුණු සියලුම දෙනා බය වෙන්න. ගැහැනුන්ගේ ඡන්ද බලය යොදාගෙන බලයට ඇවිත් ගැහැනුන්ට පීඩනයක් එල්ල කළ, සියලු දෙනා බිය විය යුතුයි.

ජාතික ජන බලවේගයේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනය කරන්න කරුණු නැතිවෙන කොට සතුරන් මොනවා හරි සොයනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට සියලු ක්ෂේත්‍රවලට අපි ප්‍රතිපත්ති හදාගෙන යන්නේ එක පුද්ගලයෙකුගේ කැමැත්ත මත හෝ අවශ්‍යතාවය මත නොවෙයි. රටේ විද්වතුන් සහ පුරවැසියන් සියලු දෙනාගේ අදහස් ලබාගනිමින් සාකච්ඡා කරමින් වැඩපිළිවෙළවල් හදනවා. අඩුපාඩුකම් තිබෙනවා නම්, ඒ ගැන අපි කතා කරමු. ඒ සඳහා ඉඩ තිබෙනවා.

නමුත් දේශපාලනික සද්භාවයක් නැති, දේශපාලනිකව පරාජය වුණු අය සම්බන්ධයෙන් තැකීමක් නැති බවත්, ඔවුන් දැනගත යුතුයි. ගැහැනු අපි එකතු වී ඉන්නේ මේ රට මීට වඩා සාධාරණ, සමානාත්මතාවයට ගරු කරන, එකිනෙකා රැකබලාගත හැකි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්. අපි හැමෝම එකතු වී ඉන්නේ කාවවත් අත්හැර යන්න නොවෙයි. එකිනෙකා රැකබලා ගැනීම අපේ සංස්කෘතියයි. ඒ බැඳීම්, ආදරය, එකිනෙකා රැකබලා ගැනීම තුළින් මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපේ නායකත්වය අවශ්‍ය වී තිබෙන්නේ. මේ පරිවර්තන යුගය ආරම්භ කිරීමේ වසර තව තවත් ශක්තිමත්ව ඉදිරියට යමු කියලා ආරාධනා කරනවා.”

අරගලයෙන් පසු දේශපාලනය

මාලිමාවට පුළුවන්ද?

වර්තමාන ජවිපෙ/ජාජබ දේශපාලනයේ අත්තිවාරම ‘අරගලය’ බව අමුතුවෙන් කිව යුතු නැත. ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂය ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමේ මෙහෙයුමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් නමුත් එම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොමැත. රටේ ප්‍රධාන විපක්ෂය වන සජබ ට ‘අරගලය’ ක්‍රියාත්මක වූ ගාලු මුවදොර භූමියේ ඉඩක් නොවිය. ඇත්ත වශයෙන්ම එම පක්ෂයට ගාලු මුවදොර තහනම් ප්‍රදේශයක් විය.

සජබ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ඔහු සමග එම ස්ථානයට පැමිණි අනෙකුත් සජබ මන්ත්‍රීවරයකු අරගලකරුවන්ගේ ග්‍රහණයට හසුවූවා නම් නිට්ටඹුවේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට අත්වූ ඉරණමම ඇතිවීමට තිබිණි. එම සිද්ධි දෙකම 2022 මැයි මාසයේ 09 වන දින සිදු විය. ගාලු මුවදොර සිද්ධිය නිට්ටඹුවේදී පොහොට්ටු මන්ත්‍රීවරයා මරා දැමීමට පෙර සිදුවිය.

නමුත් අනුර කුමාර දිසානායක තම කණ්ඩායම සමග ගාලු මුවදොරට එදිනම පැමිණියේ කිසිදු බාධාවකින් තොරවය. ‘අරගලය’ හරියාකාරව තේරුම් නොගැනීම හේතුවෙන් විපක්ෂ නායක ගාලු මුවදොරට පැමිණි බවට සැකයක් නැත. එජාපය ගාලු මුවදොර මෙහෙයුමට පිරිස් බලය ලබා දුන් බව රහසක් නොවේ. යහපාලන එජාප මන්ත්‍රී ආශු මාරසිංහ ගාලු මුවදොර මෙහෙයුමට එජාපය වෙනුවෙන් සහභාගී වූ බව ඔහුම ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මැයි 09 වැනි දින ගාලු මුවදොර සහ රට පුරා සිදු වූ සිද්ධීන් සහ ජුලි 09 දින ගෝඨාභය රාජපක්ෂ පලා යෑමෙන් පසුව එම පුරප්පාඩුවට එවකට ජාතික ලැයිස්තු මන්ත්‍රී එජාප නායක වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂය විසින් තෝරා පත්කර ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව විකෘති විය. ජාජබ ට කිසිසේත් පාර්ලිමේන්තුවේ නැති බලයක් මැති සභයෙන් පිටත හිමිවිය. දැනට ක්‍රියාත්මක ජාතික මැතිවරණ ක්‍රියාදාමය අවධාරණය කරන්නේ ජාජබ වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනමතය ඒකරාශී කිරීමට කරනු ලබන උත්සාහයයි.

යම් පක්ෂයක් සංවිධානය කරනු ලබන මැතිවරණ රැස්වීම් සහ මාධ්‍ය වාර්තා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා හැසිරීම නැතහොත් ක්‍රියාත්මක ආකාරය අනුව පමණක් භූමියේ තත්ත්වය තීරණය කළ නොහැක. නමුත් යම් ප්‍රමාණයකට ඡන්දය දෙන ප්‍රජාව හැසිරිය හැකි ආකාරය අවබෝධ කරගත හැකිය. ජාජබ මැතිවරණ මෙහෙයුම තක්සේරු කළ යුත්තේ ඉහත සඳහන් කළ තත්ත්වයන්ට යටත්ව ය.

නමුත් පොහොට්ටු පක්ෂය, එජාපය මෙන්ම සජබ පාර්ලිමේන්තු කණ්ඩායම ද රට බංකොලොත් කිරීමේ පාපයට හවුල් බව ජනතාව තේරුම් ගෙන ඇති තත්ත්වයක් තුළ එහි වාසිය ජාජබ ට ලැබිය හැකි අවස්ථාවක් උදාවී ඇත. සජබ පාර්ලිමේන්තු කණ්ඩායම මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදු වූ යහපාලන සමයේ (2015-2019) එජාපය නියෝජනය කළ බව අමතක කර වර්තමාන දේශපාලනය සාකච්ඡා කළ නොහැක. මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එජාපය වගකිව යුතු බවට චෝදනා කළ 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරුන් සජබට එකතු වීම ජාජබ ට වඩාත් වාසිදායක වනු ඇත.

බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී ව්‍යාපාරය සමග යහන් ගතවූ ප්‍රධාන පක්ෂ 1971 සහ 1987-1990 ජවිපෙ ත්‍රස්තවාදයට (අවි ගන්නා ඕනෑම සංවිධානයක් හෝ පක්ෂයක් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස හැඳින්විය යුතුය.) පහර ගැසීම ජනතාව දක්වන ප්‍රතිචාරය ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී රටට හෙළිදරව් වනු ඇත. අනිවාර්යෙන්ම 2023 මාර්තු තුන්වන සතිය වනවිට පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව රටේ ඉහළම අධිකරණය දුන් අතුරු තහනම් නියෝගයක් ද කඩ කරමින් කල් දැමුවේ අරගලයේ වාසිය ජාජබට හිමිවීම වැළැක්වීමට බවට තර්ක කළ හැක.

මාලිමාව මුහුණ දෙන අභියෝග

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෑතකදී අවධාරණය කළේ සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුදෙනාම එක්ව මේ රට හදමු යන මතයෙහි සිටින ජාතිවාත්සල්‍යයෙන් සහ දෑ අනුරාගයෙන් පිරුණු බලවේගවල “සැබෑ දේශපාලන නායකත්වය” ඊළඟ ජනාධිපතිවරණයේදී කරළියට රැගෙන ආ යුතු බවයි. එලෙසම මහා සංඝරත්නය ප්‍රමුඛ එම දෑහිතකාමී බලවේග ඒ අවස්ථාව ජාතිවාත්සල්‍යයෙන් තොර කිසිදු අපේක්ෂකයකුට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු බවයි.

මෑතකදී ලන්ඩනයේ පැවති, ජාතික නිදහස් පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කළ ‘9න් පසුව: ශ්‍රී ලංකාවේ ඉරණම?’ සම්මන්ත්‍රණයෙහි ප්‍රධාන දේශනය පවත්වමින් කලක් ජවිපෙ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍යවරයා පැවසිය.

ඇමෙරිකාව ඍජුව ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ මෙහෙයුමට සම්බන්ධ බවත් ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසුව එම තනතුරට ලෝක බලවතා කථානායක මහින්ද යාපා අබේවර්ධන කථානායක 2022 ජුලි 09 යෝජනා කළ බවට වීරවංශ මන්ත්‍රීවරයා 2023 අප්‍රේල් මාසයේ කළ චෝදනාව කථානායකවරයා තවමත් ප්‍රතික්ෂේප කර නැත. කථානායකවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට වීරවංශ මන්ත්‍රීවරයා කළ චෝදනාව සම්බන්ධයෙන් පැමිණිලි කළේ ද නැත. නමුත් ඇමෙරිකාව එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපතිවරයා පලා යෑමත් සමගම පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජාජබ/ජවිපෙ මෙහෙයුමක් දියත් කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

ජුලි චන්ග් ඇමෙරිකානු තානාපතිවරිය ජාජබ/ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘අරගලයට’ පෙර සහ පසුව හමුවීම සහ ඔහු මෑතකදී ඇමෙරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතීම මත එම පක්ෂයට යම් දේශපාලන පක්ෂ චෝදනා කර ඇත. ආණ්ඩු පෙරළියට ඇමෙරිකාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් කළ ඍජු චෝදනාව තවමත් කථානායකවරයා ප්‍රතික්ෂේප කර නොමැති තත්ත්වයක් තුළ ඇමෙරිකාව ජාජබ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ආන්දෝලනාත්මකය.

දෙවරක් අවිගත් ජවිපෙ මීට පෙර ආරක්ෂක හමුදාවල (සේවයේ නියුතු සහ විශ්‍රාමික) නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ පැසසුමට ලක්වී නැත. ජවිපෙ ත්‍රස්තවාදය ආරක්ෂක හමුදා ඉතාමත් කෲර ලෙස මර්දනය කරනු ලැබීය. අත්අඩංගුවට පත්වූ ජවිපෙ නායක රෝහණ විජේවීර වෙඩි තබා පුළුස්සා දැමූ බව රහසක් නොවේ. දෙපාර්ශ්වයම අතීතය පසෙකට දමා යම්කිසි දේශපාලන එකඟතාවයකට පැමිණ ඇති බව තේරුම් ගැනීම අපහසු නැත. ආරක්ෂක හමුදා පවුල් ද එම නිල නොවන ගිවිසුමේ කොටසක් බවට පත්වී ඇත. නමුත් මොනයම්ම තත්ත්වයක් යටතේවත් ආරක්ෂක හමුදා (සේවයේ නියුතු සහ විශ්‍රාමික) සහ හමුදා පවුල් ජවිපෙ ට/ජාජබ ට සහයෝගය දිය යුතු නැති බවට විශ්වාස කරන සැලකිය යුතු පිරිසක්ද ඇත. එම තත්ත්වය ජවිපෙට ද අදාළය. නමුත් විශ්‍රාමික හමුදා සහභාගිත්වය අතිශය තීරණාත්මකය.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ කිසිදිනක ජවිපෙ/ජාජබ වේදිකාවට ගොඩ වේ යැයි සිතිය නොහැකි ඉහළ විශ්‍රාමික හමුදා නිලධාරීන් පවතින දේශපාලන ක්‍රමයට එරෙහිව ‘යුද්ධ’ ප්‍රකාශ කර ඇති හෙයිනි.

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා ජාජබ වේදිකාවට ගොඩවීම ආණ්ඩුව යම්කිසි තැතිගැනීමකට ලක්කළ බව අවධාරණය කළ යුතුය. කොටි ත්‍රස්තවාදයට එරෙහිව ගුවන් හමුදාව කළ සමස්ත මෙහෙයුමේදී එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනයට හතරවන ඊළාම් යුද්ධයේදී නායකත්වය දුන් එම නිලධාරියා ආණ්ඩුව සලිත කළේය. එසේ නොවුණා නම් එම විශ්‍රාමිකයාට එරෙහිව දේශපාලන මැදිහත්වීමක් තුළ ගුවන් හමුදාව තම හමුදා කඳවුරු තුළට පැමිණීම තහනම් කරන්නේ නැත.

තුයියාකොන්තාගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා විය. විශ්‍රාමිකයා තමන්ට කළ අසාධාරණය රටේ ඉහළම අධිකරණයේ අවධානයට යොමු කළේය. අධිකරණය 2022 සැප්තැම්බර් 07 වැනි දින නීතිපතිවරයට නියෝග කළේ එම විශ්‍රාමිකයාට හිමි සියලු නීත්‍යානුකූල වරප්‍රසාද ලබා දෙන ලෙසයි. එම වසරේ මාර්තු මාසයේ තුයියාකොන්තාට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග ආපසු හැරවීම අනුර කුමාර දිසානායකගේ ඡන්ද ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කළ අතර අනෙකුත් විශ්‍රාමිකයින් දිරි ගැන්වීමක් විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරට පිළිවෙළින් සජබ සහ පොහොට්ටුව නියෝජනය කිරීමට ඇති අයිතිය තුයියාකොන්තාට අහිමි කළ නොහැක.

මේ සම්බන්ධයෙන් ලියුම්කරු විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්වරයාගෙන් කළ විමසීමකදී එතුමා අවධාරණය කළේ විශ්‍රාමිකයින්ට අනෙකුත් පක්ෂවලට බැඳීමේ තිබෙන අයිතිය ජවිපෙ/ජාජබ සම්බන්ධයෙන් ද තිබිය යුතු බවයි. මෙය හමුදා විශ්‍රාමිකයකු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොව යම්කිසි පක්ෂයකට තිබෙන දේශපාලන අයිතිය පිළිබඳව ගැටලුවක් බව අවධාරණය කළේය. රටේ ඉහළම අධිකරණය එම අයිතිය තහවුරු කිරීම සමස්ත මැතිවරණ ක්‍රියාවලියටම සැලකිය යුතු බලපෑමක් කරන බවට ද ප්‍රකාශ කළේය.

ඇත්ත වශයෙන්ම අරගලයෙන් පසුව ඉහළ විශ්‍රාමික නිලධාරීන් ජාජබට එකතුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ විමසිලිමත් විය යුතුය. අවශ්‍යවන්නේ ඔවුන් එලෙස කිරීමට හේතු වූයේ ඇයිදැයි සොයා බැලීමයි. පාර්ලිමේන්තුවට එක කරුණක් පමණක් මතක් කර දීමට කැමැත්තෙමි. එනම් මෑතකදී යුද හමුදාවට නිසි ආහාර වේලක් ලබා දීමට රටේ ආර්ථික පරිහානිය නිසා නොහැකි බවට යුද හමුදාව පාර්ලිමේන්තුවට කළ දැනුම් දීමයි. එහෙව් රටක බලයේ සිටි ප්‍රධාන පක්ෂ පිළිබඳව තවදුරටත් විශ්‍රාමික හමුදා ප්‍රජාවට පමණක් නොව සමස්ත ජනතාවට විශ්වාසයක් නැතිවීම පුදුමයට හේතුවක් නොවේ.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment