සනත් නිශාන්ත පිළිබඳව මෙතෙක් නො ඇසූ බොහෝ කරුණු මේ වනවිට අප අසා හමාරය. සමාජ මාධ්‍ය ජාලා හරහා විවිධ මතවාද පැතිර ගියත් සනත් නිශාන්ත ද මේ රටේ මහජන නියෝජිතයෙක් ලෙස පුත්තලම දිස්ත්‍රික් ජනතාවටත් ආරච්චිකට්ටුවටත් යම් ප්‍රමාණයක හෝ සේවාවක් ඉටු කළ දේශපාලනඥයෙකි. නමුත් දැන් සනත් නිශාන්ත නම් වූ රැඩිකල් දේශපාලන චරිතය අතීතයට මුසු වූ චරිතයක් වී හමාරය.

සනත් නිශාන්ත නම් වූ දේශපාලනඥයාගේ තොරතුරු පිළිබඳ තවදුරටත් ලියා පළක් නැත. නමුත් ඔහුත් ඔහු අනුදත්, ඔහු පිළිගත් ඔහු විශ්වාස කළ දේශපාලනයක් කර තුරුණු වියේ දීම ජීවිතය හැරපියා ගියේ නොසිතූ නොපැතූ පරිද්දෙනි.

සනත් නිශාන්ත උපත ලබන්නේ 1975 මැයි මස 03 වැනිදාය. ඒ ඔහුට වැඩිමහල් සහෝදරියකගේ හා සහෝදරයින් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවා වෙමිනි. පවුලේ කොයි කාගෙත් ආදරය මැද ලොකු මහත් වූ ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනය කාලය තුළ ද ඔහු නායකයකු ලෙස සෙසු ශිෂ්‍යයින් අතර කැපී පෙනුන බව කියන්නේ ඔහු සමග එකට අධ්‍යාපනය ලැබූ අයමය. තරමක් දඩබ්බර ගති ලක්ෂණ තිබුණත් ඔහුගේ සිත ද වරක වෙඬරු පිඩක් සේ උණු වන බව ද ඔවුහු කියති. යම් මතයක එල්ලබ ගත් පසු එය සිය ආත්මය සේ රකින ප්‍රතිපත්තියක් ද ඔහුට තිබිණි. පාසල් අධ්‍යාපනයෙන් පසු දේශපාලනය කෙරෙහි නැඹුරු වන්නට හේතු කිහිපයක්ම බලපෑවේ ඔය අතරය. එදා පටන්ම වාමවාදී දේශපාලන කඳවුරට ළංව සිටි ඔහු ඇතුළු පවුලේ උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මතවාදීව ගැටගැසි සිටි බව ද කියති.

ඒ අනුව දේශපාලනඥයකු ලෙස සිය ගමන ආරම්භ කරමින් සනත් නිශාන්ත 1997 වසරේ දී ආරචිචිකට්ටුව ප්‍රාදේශීය සභාවට තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. නමුත් ඔහුට ප්‍රාදේශීය සභා සභිකයකු වන්නට තරම් මනාප ප්‍රමාණයක් හිමිවූයේ නැත. නමුත් දෛවය හරි පුදුමාකාරය. යමක් ලැබෙන්නට තිබේ නම් එය සක්කරයාටවත් නවත්වන්නට බැරිය. එම වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරට තේරී පත්ව සිටි සරත් හේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්විය. ඔහුගේ හදිසි වියෝවෙන් පසු ඊළඟට ප්‍රාදේශීය සභාවට යන්නට මනාප ලැයිස්තුවේ සිටි සනත් නිශාන්ත පළමු වරට ප්‍රාදේශීය සභා සභිකයකු (මන්ත්‍රීවරයකු) ලෙසට පත්වූයේ ඒ අනුවය. එතැන් පටන් සනත් නිශාන්ත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා බලසීමාව කේන්ද්‍ර කරගෙන දේශපාලනය කරන්නට ගත්තේ පක්ෂ විපක්ෂ ජනතාවගේ සිත දිනා ගනිමිනි. විශේෂයෙන්ම තරුණ පිරිස ඔහු වටා ඒකරාශී වූයේ ජනතා සේවය වෙනුවෙන් නිර්භීතව යම් යම් තීරණ තීන්දු ගත් නිසා බව ද කියවේ.

2004 වයඹ පළාත් සභා මැතිවරණය ආවේ ඔය අතරය. ඒ මැතිවරණය මෙරට පැවැති දූෂිතම මැතිවරණ අතර අංක එකට වැටුණ මැතිවරණයක් බව ද ඉතිහාසයේ ලියැවී ඇත. එම පළාත් සභා මැතිවරණයේදී සනත් නිශාන්ත පළමු වරට පළාත් සභාවට තේරී පත් විය. 2009 වසරේ පළාත් සභා මැතිවරණයෙන් ද ජයගත් ඔහු 2010 වසරේ දී ධීවර හා මාර්ග හා විදුලිබල ඇමැති ලෙස පළාත් සභාවේ කටයුතු කරන්නට සමත් වන්නේ දේශපාලන ගමන්මග නව මාවතකට ගනිමිනි.

2015 දී පළමු වරට පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහු මනාප 80,082ක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ දේශපාලන ගමන් මගේ ඉහළටම යමිනි. එතැනින් නොනැවතුණ ඔහු 2020 වසරේ දී පැවැති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යළි පත්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය බංකොළොත් වී ගියේ ඔය අතරය. රටපුරා පැය ගණන් විදුලිය කපා හැරිණි. ගෑස් හිඟ වී කිලෝමීටර් ගණන් පෝලිම් හැදීගියේ රට අරාජික කරමිනි. ඉන්ධන නොමැතිවී ගමනාගමන කටයුතු නතර වී ගියේ රට ම අකර්මණ්‍ය කරමිනි. නමුත් සනත් නිශාන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන්නට පෙරට ආවේ තරුණ ජවය ද සමගිනි. මේ අතර ගාලු මුවදොර සාමකාමි අරගලයක් ද ක්‍රියාත්මක විය. රට පුරාම උද්ඝෝෂණ, පෙළපාලි විරෝධතා පුවරු මතු විය. “ගෝඨා ගෝ හෝම්” කියන්නට පටන් ගැණිණි. සනත් නිශාන්ත ඇතුළු පිරිසක් දිවිහිමියෙන් ඒ අරගල හමුවේ නොසැලී සිටගත්තේ ඔය අතරය. “අරගලයට” පහර දෙන්නට ආ පිරිස අතර ද මතවාද තිබිණි. අවසානයේ රට ගිනි ගත්තේ පෙර කිසි කලක මේ රටේ සිදු නොවූ දේශපාලන පෙරළියකට පාර කියමිනි. ජනාධිපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරු ගෙදර ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකගේ නිවාස ගිනිබත් වූ පසුවය. සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ නිවස ද ගිනිබත් වී ගියේ ඒ අතරය. නමුත් සනත් නිශාන්ත කිසි කලෙක රාජපක්ෂවරු හෝ පක්ෂය අතහැර ගියේ නැත. ඔහු එම සිද්ධියෙන් පසු කී කතාව ද හරි අපූරු එකකි. “මහින්ද මහත්තයට හෝ මට අත තිබ්බ නම් මම පනහක් සියයක් වෙඩි තියලා මරලා දමනවා” එය තරමක් සැර කතාවකි. කතාව සැර වුවත් ඒ කී කතාව ප්‍රායෝගිකව සිදු නොකළත් සනත් නිශාන්ත යනු යමක් කිවයුතු නම් එය එළිපිටම ප්‍රකාශයට පත් කළ දේශපාලනඥයෙකි. එය ඔහුට වාසි වුවත් අවාසි වුවත් ඔහු කිවයුතු දේ මුහුණටම කියන ජාතියේ දේශපාලනඥයකු යැයි ඔහුට සමීප මන්ත්‍රීවරු කියන දෙයකි.

නමුත් සියලු දේ සැණින් අවසන් වී ගියේ සනත් නිශාන්ත ගමන්ගත් ජීප් රථය කටුනායක අධිවේගී මාර්ගයේ දී බ්‍රහස්පතින්දා (25 දා) අලුයම අනතුරට පත්වීමත් සමගිනි. 1975 මැයි 03 වැනිදා උපන් සනත් නිශාන්ත නම් වූ මේ තරුණ දේශපාලනඥයා 2024 ජනවාරි 25 වැනිදා දින මෙලොව හැර ගියේ නොසිතූ පරිද්දෙනි. වයස අවුරුදු හතළිස් නවයක ආසන්න කෙටි කාලයක් ජීවත් වූ මේ තරුණ දේශපාලනඥයාට විශාල ජනතාවක් ආදරය කළ බව ද නො රහසකි. ඔහුගේ දේශපාලනය ප්‍රතික්ෂේප කළ පිරිස් මොන මොන දේ කීවත් දැන් ඒ සියල්ල හිස් අවකාශයට මුසුව යන කතා බවට පත්ව ඇත. සනත් නිශාන්ත කෙටි කලක් තුළ දිගු ගමනක් ගිය මිනිසෙකි. ඔහුගේ හදිසි වියෝවෙන් තැවෙන බිරිඳ, දරු පැටවුන් සිවුදෙනා “අප්පච්චි එක පාරක් නැඟිටින්න” කියා හඬා වැටෙන හැටි මේ රටේ මිනිසුන්ගේ හද කම්පාවට පත් කර ඇත.

සනත් නිශාන්ත රැගත් ජීප් රථය පැදවූ රියැදුරු වාහනය පදවා ඇත්තේ පැයට කිලෝමීටර් 160ක වේගයකිනි. වේගය වැඩි බව ඇත්තය. “වේගය පිනවයි මරුවා කැඳවයි” කියා පාර දෙපස පුවරු ඇත. රියැදුරු හෝ රථයේ ගිය අය ඒ පිළිබඳව නොතකන්නට ඇත. නමුත් අවාසනාවකට සනත් නිශාන්තත් ඔහුගේ ආරක්ෂකයා ලෙස සිටි අනුරාධ ජයකොඩි (72542) පොලිස් නිලධාරියා මරුවා සමග ගොසිනි. මේ අවාසනාවන්ත ඉරණමින් මියගිය දෙදෙනාගේ පවුල්වල උදවියට මේ දුක දරාගන්නට, අඩුව පිරිමසා ගන්නට නොහැකි බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment