රාජ්‍ය රහස් එළියට ගියොත් ලෙඩේ…

210

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ලබන ජුලි පහළොස් වැනිදාට වසරකි. මේ රටේ හැටනව ලක්‍ෂයක ජනතාවක් වසර පහකට ලබාදුන් ජනපති ධුරය වසර දෙකකින් පමණ ඒ අන්දමට හැරදා යන්නට ඔහුට සිදුවූයේ ඇයි.

දැන් ඇතැමුන් අරගලයේ බලපෑම නිසා ගෝඨාභය රාජපක්‍ෂට ඒ ඉරණම අත්වූවේ යැයි කියනු ඇත. එහෙත් ඇත්තටම සිදුවූයේ එයද? නැත. ඔහු එතැනට ඇද වැටුණේ බොරදියේ මාළු බෑ උන්ට අරගලයක් නිර්මාණය කරගනිමින් රටේ තාරුණයය සමඟ ගෝල්ෆේස් දක්වා ගමන් කිරීමට පහසු වන පරිදි ගෙන ගිය අමනෝඥ වූ රාජ්‍ය පාලනය නිසාය.

ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය පාලනය එසේ අමනෝඥ එකක් වීමට වගකිවයුතු එකම පුද්ගලයා ගෝඨාභයද? එකී ප්‍රශ්නයටද අපට දීමට ඇති පැහැදිලි පිළිතුර වන්නේ නැත යන්නය. ඒ ඇයි?

ජනතාවාදී නොවූ තීන්දු තීරණ හමුවේ එදා තෙල්, ගෑස්, විදුලිය සහ පොහොර ටික නොමැතිව සමස්ත රට වැසියන් විඳවනු ලැබූ ආකාරය පිළිබඳ කල්පනා කරනවිට ජනාධිපතිවරයා ලෙසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඒ වගකීමෙන් ගැලවී යා නොහැකිය. එහෙත් එවන් තැනකට ගෝඨාභයව ඇද දමනු ලැබුවේ ඔහු වටා සිටි කේවට්ට රැලය.

අඩසිය වසකටත් අධික කාලයක සිට රට තුළ ක්‍රියාත්මක වූ රසායනික කෘෂිකර්මය එක් රැයකින් කාබනික කරන්නැයි ඔහුට උපදෙස් දුන්නෝ එකී අම්බරුවෝය. ගෝඨාභය රාජපක්‍ෂව ඇලඩින්ගේ පුදුම පහන බවට පත්කරගනිමින් හැම හත්ඉලව්වටම යර්ස් සර් කී ඔහු වටා සිටි කපටි නරිද එදා ගෝඨාභය පාලනය නොමඟ යැවීය.

රටේ ජනාධිපතිවරයා ලෙසින් කරන්නට රාජකාරියක් නැතිවාක් මෙන් රාජ්‍ය ආයතනවලට කඩා වැදී ජනතාව විඳින අපහසුතා දැක රාජ්‍ය නිලධාරීන්ට තරවටු කරද්දී ගෝඨාභයට සිංහ වෙස් ගෙන දීම පිණිස ඒවා වීඩියෝ කරමින් සමාජයට මුදාහැරිය මෝංගල් ජනාධිපති මාධ්‍ය ඔස්තාර්ලා කළේද එයමය.

පෙර රජ දවස රට වැසියාගේ දුක බලන්නට රජා රට තුළ සැරිසැරුවේ වෙස්වලාගෙනය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂයන් ඒ ගමන ගියේ චාම් ලෙස අත්කොට කමීසයකින් සැරසී තමන්ට හිමි හමුදා නිල ලාංඡනද පැළඳගෙනය. එසේ ගිය ඔහු රාජ්‍ය නිලධාරීන්ට බැණ වදිද්දී ඒ මොහොතේම ඒවා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍යවල පළකරවන්නට ඔහුගේ මාධ්‍ය නඩය කටයුතු කළේය.

එසේ කිරීමෙන් වැනසෙන්නේ රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය බව සිතන්නට තරම් මොළගෙඩියක් ඔවුන්ගේ ඔළු තුළ නොතිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් ගෝඨාභය රාජපක්‍ෂ සමඟ උරණ වීමය. එකී විරසකය ඔවුන් මුදාහැරියේ ජනතාව මතටය.

එසේ සිදුවූ සියල්ල හමුවේ මතුවූ අවසානයේ රටිනුත් පලා ගොස් ජනාධිපතිකමද අතහැරීමට ගෝඨාභය රාජපක්‍ෂට සිදුවිය. එහෙත් දැන් එහි වර්ෂ පූර්ණය ආසන්න වෙමින් තිබියදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරමින් සිටින්නේ කුමක්ද?

ඇද වැටුණු තැනින් ගොඩට ගෙන රටට හුස්ම දෙන්නට වෙහෙසෙන අතරේ නැවත වරක් ගෝඨාභය රාජපක්‍ෂ කෙරුවාව රටටත් ජනතාවටත් සිහිපත් කර දෙමින් මුලතිව් කුරුන්දි පිරිවෙන් විහාරයේ දිග පළල මනින්නට රනිල් වික්‍රසිංහ මහතා කටයුතු කළේය.

කාබනික විජ්ජාව සමඟ මහාචාර්යවරයකු වූ හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට ගෙදර යන්නට ගෝඨාභය රාජපක්‍ෂ එදා කටයුතු කළාක් සේම පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට ගෙදර යන්නට මඟ විවර කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ කටයුතු කරද්දී හොල්මන් වී ගියේ ආර්ථික අහේනියෙන් පෙළෙමින් සිටි මේ රටේ බහුතර ජනතාවය. සසළ වූයේ සමස්ත බොදුනු හදවත්ය.

මුලිතිව්හි පිහිටි ඓතිහාසික කුරුන්දි පිරිවෙන් විහාරය යනු බෙදුම්වාදය තුළින් සිංහල දෙමළ හදවත් විරසක කරවමින් යැපෙන දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ට හැමදාමත් සිය බෙදුම්වාදය පෝෂණය කිරීමට තිබෙන හොඳ තුරුම්පුවක් වූ භූමියකි.

එම තත්ත්වය හමුවේ දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදී දේශපාලනඥයන් කුරුන්දි විහාරය මුල් කරගනිමින් මේ වන විට කර ඇති කටයුතුද බොහෝය. වරෙක නඩු පැවරීමක් දක්වාම එකී බෙදුම්වාදී උන්මාදය රැගෙන යන්නට ඔවුහු කටයුතු කළහ. එසේ තිබියදී නැවත වරක් කුරුන්දි විහාරයේ කතාව මෙරට සමස්ත බෞද්ධ සිත් සසළ කරවමින් පෙරට පැමිණියේ ඉකුත් කාලයේ ජනාධිපතිවරයාත් දෙමළ ජාතික සන්ධානයත් අතර පැවති සාකච්චඡාවලින් පසුවය.

කුරුන්දි විහාරය යනු දමිළ බෞද්ධයන් විසින් ඉදිකරන ලද්දක් බව කී ජනාධිපතිවරයා තවත් බොහෝ දේ පවසමින් අවසානයට පුරා විද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේ වහාම දැනට යොදා ඇති මායිම් ගල් ඉවත් කර අදළ ඉඩම් මුදා හරින ලෙසය.

එසේ කටයුතු සිදු කරනවාද නැතහොත් තමන්ම ගොස් එකී මායිම් ගල් ඉවත්කරන්නදැයි යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී උපහාසාත්මක අයුරින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ විමසීය. ඒ ආකාරයට අදාළ සාකච්ඡාව අවසන් විය. ඇතිවූ තත්ත්වය පිළිබඳ බොහෝ සේ නොසතුටට සහ සිත් රිදීමට පත්වූයේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතාය. එකී සිත් රිදීම සේම පුරා විද්‍යා පනත ප්‍රකාරව කළ නොහැකි දෙයක් කිරීමට නියෝග ලැබීම හමුවේ අවසානයේ ඔහු එදිනම සවස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ධුරයෙන් සමුගන්නට ක්‍රියා කළේය.

ගෝඨාභය රාජපක්‍ෂයන් වටා සිටි කේවට්ටයන්ගෙන් එකකු දෙන්නකු මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද සමීපව සිටීම එයට හේතු වී තිබිය නොහැකිද? රටේ ඉතිහාසය අප්ඩේට් කරන්නට ගිය එවැනි අම්බරුවකු කුරුන්දි විහාරයේ උරුමයට දමිළ ආරෝපණයක් සිදුකර එය ජනාධිපතිවරයාට පැවසීම නිසා එසේ සිදු වූයේද?

එය රටට යාන්තමින් හුස්ම වැටෙමින් තිබෙන මේ මොහොතේ අපට නම් බරපතළ ගැටලුවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒවා ගැටලු ලෙසින් වැටහෙන්නේ නම් එය ඉතාම වැදගත් වනු ඇත.

එසේම මෙහිදී ජනාධිපතිවරයා දෙස බලා අපට කියන්නට තවත් දෙයක්ද ඇත. රනිල් විතක්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතාම හොඳය. එසේ ඔහු හොඳ වන්නේ ආර්ථිකය පණගන්වමින් ඇද වැටුණු මේ රටට හුස්ම දෙන්න වෙහෙසෙන ආකාරය හොඳ ධනාත්මක එකක් වී තිබෙන නිසාය. එය ඔහු සිදුකරමින් තිබෙන්නකි. එය රටේ ජනතාවට දැන් දැන් හොඳින් දැනෙමින් ඇත.

ආර්ථිකය ගොඩ නඟා රට කෙළින් කිරීමට හොඳ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ බෞද්ධ උරුමයට අදාළ භූමි වපසරියේ අක්කර ගණන මනින්නට යෑම නම් ඉතාම නරකය. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් එවැනි දේ බලාපොරොත්තු වන්නේද නැත. බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් විවිධ දේ කියමින් නහයෙන් අඬාගෙන තමන් වෙත එන කල්හි ජනාධිපතිවරයා ඔවුන්ගේ කඳුළු පිස දැම්මාට ගැටලුවක් නැත. දේශපාලනයේදී ඒවා අවශ්‍යය. එහෙත් නහයට අත නොතබා සිටීම ජනාධිපතිවරයාගේ දේශපාලන සෞඛ්‍යයට ඉතා හිතකර වනු ඇත.

ජනාධිපතිවරයාත්, දෙමළ දේශපාලනඥයන් පිරිසක් සහ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවතියේ මාධ්‍යයට විවර කිරීමකින් තොරවය. එහෙත් මෙහිදී සිදුවූයේ කුමක්ද? දැනගැනීමට ඇති පරිදි සාකච්ඡාව වීඩියෝගත කළ ජනාධිපති මාධ්‍ය අංශය රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට ඉතිහාසය කියා දෙමින් කළ කී දේ ඇතුළත් හොඳම කොටස කිසිදු විඤ්ඤාණයක් නොමැති අන්දමින් වහා පිටතට මුදා හළේය.

එය සමාජ මාධ්‍යයේ පැතිර ගියේ පසුගිය කාලයේ කොරෝනා පැතිරුණාටත් වැඩි වේගයකිනි. ඒ සමග දේශපාලන පිටියේ ජනාධිපතිවරයා විවේචනයට ලක්කරමින් සිදු කෙරුණු වාද විවාද ද බොහෝ තිබිණි. එහිදී ජනාධිපති විiුත් මාධ්‍ය ඒකකයේ අය ජනාධිපතිවරයාව ඉහළටම ඔසවා තබන්නට අප කටයුතු කළේ යැයි කියමින් සිඟිති ජොලියක් ගත්තාද විය හැකිය. එහෙත් එම වීඩියෝව පිටකරමින් තමන් සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයාව ඉහළට ඔසවා මුරුංගා අත්තකට නැංවීම බව එකී මාධ්‍ය ටිකිරි මොළවලට වැටහුණේ නැත.

රනිල් වික්‍රසිංහ මහතා යනු දැන් මේ රටේ පළමු පුරවැසියාය. එසේම රාජ්‍ය නායකයාය. කඩා වැටුණු රටක් භාර ගනිමින් ඔහු ගමන් කරමින් සිටින්නේ අභියෝග රාශියක් මැදින් වැටුණු මාවතකය. මේ සිදුවීම සිදුවන්නේ එකී ගමන ඉතාම ප්‍රශස්ථ තැනක තිබියදීය.

පුටුවේ සිටිනුයේ මහින්ද ද, මෛත්‍රීද, ගෝඨාභයද, රනිල් වික්‍රමසිංහද කියන එක අදාළම නැත. රටේ රාජ්‍ය නායකයා සුරක්‍ෂිත කරමින් සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීම ඔහු වටා සිටින සහ සමීප පිරිස අතින් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. එය ඔවුන්ගේ මඟහැරිය නොහැකි වගකීමක් වන්නකි.

එසේ කළ නොහැකි අයෙක් වෙත්නම් වහා රාජ්‍ය නායකයා සමීපයෙන් එවැන්නන් ඉවත් කිරීම රටට වැදගත්ය. මේ මොහොතේ එය ඉතා වැදගත්ය. අප එසේ කියන්නේ එවැනි ‘මෝල්ගස්’ නිසා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට මීට වසරකට පෙර සිදුවූ දේ මේ රටේ ජනතාවට තවම අමතක නැති නිසාය. රාජ්‍යයේ රාජ්‍ය නායකයා සුරක්‍ෂිත කරමින් ඔහුගේ ප්‍රතිරූපයට හානි සිදු නොවන සේ කටයුතු කළ හැකි වගකීම් සහිත යාන්ත්‍රණයක් අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා සමීපයේ තිබිය යුතුමය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment