ඇමැතිගේ බලපෑම් මත පොස්පේට් ලොක්කෝ පදවි හැර යති

1816

කොම්පැණි තුනකට වැට් නොගහන්න බලපෑම් කරලා – සේවකයෝ කියති
දෙන්නා අස්වුණේ පෞද්ගලික හේතු මත – සාමාන්‍යාධිකාරී අනුර
දයානන්ද

සීමාසහිත එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ එප්පාවල පොහොර අංගනයෙන් මිලදී ගෙන අපනයනය කරන පොහොර වෙනුවෙන් එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුට හිතවත් සමාගම් තුනක් මගින් රජයට අය කළ යුතු වැට් බදු අය නොකරන ලෙසට එම රාජ්‍ය ඇමැතිවරයා විසින් එහි උසස් නිලධාරියකු හරහා සිදු කර ඇතැයි කියන බලපෑම් හේතුවෙන් මේ වන විට එම සමාගමේ මුදල් කළමනාකාරවරයා සහ ගණකාධිකාරීවරයා සේවයෙන් ඉල්ලා අස්වී ඉවත්ව ගොස් ඇත.

මේ අනුව සීමාසහිත ලංකා එප්පාවල පොස්පේට් සමාගමේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මුදල් කළමනාකරු සහ එප්පාවල කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරිවරයා මෙලෙස සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව එහි සේවකයෝ පවසති.

මේ නිසා මේ වන විට එම සමාගම මුදල් කළමනාකරුවකු සහ ගණකාධිකාරිවරයකු නොමැතිව සිදු කරන එහි කටයුතුවලට බාධා මතුවී ඇති බවත් ඔවුහු කියා සිටිති.

සීමාසහිත ලංකා එප්පාවල පොස්පේට් සමාගම මගින් වැට් බදු ගෙවා පොහොර මිලදී ගෙන තවත් සමාගම් තුනක් මගින් අපනයනය කරන අතර අදාළ රාජ්‍ය ඇමැතිවරයාට හිතවත් සමාගම් තුන විසින් වැට් බදු නොගෙවා පොහොර අපනයනය කිරීමට බලපෑම් කිරීම රජයට සිදු කරන අගතියක් බවත් එහි සේවකයෝ පවසති.

වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කොට වැඩ තහනමකට ලක්ව සිටියදී අදාළ රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි උවමනාව මත එප්පාවල පොස්පේට් සමාගමේ සේවයට බඳවා ගත් උසස් නිලධාරියකු හරහා ඇමැතිවරයා විසින් සෙසු නිලධාරීන්ට මෙලෙස බලපෑම් සිදු කරන බවත් එම සේවකයෝ වැඩිදුරටත් පවසති.

මේ පිළිබඳව සීමාසහිත ලංකා පොස්පේට් රාජ්‍ය සමාගමේ සාමාන්‍යාධිකාරී අනුර දයානන්ද මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී තමාට ඒ පිළිබඳව පුවත්පත්වලට යමක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම ප්‍රකාශ කළේය.

බලපෑම් තිබෙනවා ද යන්න නැවතත් විමසීම් කළ අවස්ථාවේ රජයේ සේවකයින්ට රාජකාරී කරගෙන යන විට විවිධාකාර දේවල්වලට මුහුණ පෑමට සිදුවෙනවා යැයි අනුර දයානන්ද මහතා කීය.

මේ අතර ගණකාධිකාරිවරයා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බවත් නැවත ඔහු සේවයට එක්වීමට අභියාචනයක් මගින් කළ ඉල්ලීම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පිළිනොගැනීමට තීරණය කළ බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවැසීය. මේ අතර මුදල් කළමනාකාරවරයා ද පෞද්ගලික හේතුවක් බව දන්වා සේවයෙන් ඉල්ලා අස්වූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment